Monday, November 20, 2023

692. පුවක් එෂැණිං - 76 - ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු


ඊයේ පැවති ලෝක කුසලාන අවසාන තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට දැක්වූ අනර්ඝ සහයෝගය පිළිබඳව ඕස්ට්‍රේලියානු අගමැතිවරයා තම සාතිශය කෘතවේදිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වෙත පුදකර සිටී..

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඕස්ට්‍රේලියානු අගමැති කාර්යාලය පවසන්නේ එම අකලංක සහයෝගයට කෘතගුණ දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවලින් නොපැමිණෙන ලෙස දන්වා ඕස්ට්‍රේලියානු රජය මඟින් පලකල විද්‍යුත් මාධ්‍ය දැන්වීම් දින තුනක කාලයකට අත්හිටුවන ලෙසද එතුමා උපදෙස් දුන් බවයි..

එලෙසම එම තුන් දිනක කාලය තුල ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සාදරයෙන් පිළිගෙන එරට පුරවැසිභාවය ලබාදී මෙල්බර්න්, සිඩ්නි, පර්ත්, බ්‍රිස්බේන් සහ ඇඩිලේඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණ අසල නොමිලයේ නිවෙස් ලබාදී පදිංචි කීරිමටද කටයුතු කරන ලෙසද අගමැති තුමා උපදෙස් ලබාදුන් බවය.  තවද ඔවුන්හට එම ක්‍රිකට් ක්‍රීඩාංගණවල රැකියාවන්ද ලබා දෙනු ඇත. 

මෙසේ පැමිණෙන්නන් ඕස්ට්‍රේලියාවට සහයෝගය පලකරමින් තමන් විසින් පලකල මුහුණු පොත් පෝස්ටුවල මුද්‍රිත පිටපතක් තමාගේම නිර්මාණයක් බවට  පසුගිය දින සාමදාන විශ්චයකරුවන්/කාරිනියන් ලෙස පත්වීම් ලද  කලාකාරිනියන්/කාරයින් විසින් සහතික කොට  රැගෙන ඒම අනිවාර්ය වේ.. 

ටං..... ටිං..... ටුං

****************************************************

මේ අතර ඊයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමෙන් පසු උද්ගතව ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කීරිමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා ඇත..

ඉන්දියානු කණ්ඩායම පරදවා ඕස්ට්‍රේලියාව විසින්  ලෝක කුසලානය දිනාගනු ලැබූවද මෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට පෙර මෙමෙ ලෝක කුසලාන තරඟාවලියේදීම දකුණු අප්‍රිකා කණ්ඩායමට පරාජය වී ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායමට පරාජය වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම  විසින් නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කල හෙයින් සත්‍යය වශයෙන්ම සහ සාධාරණ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරයින් වශයෙන් නම්කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වේ. 

එබැවින් එම තත්වය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කීරිමට අගමැති දනිස් ගූවාඩන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු අනුකමිටුවක්ද පත් කෙරෙනු ඇත...

යෝජිත අනුකමිටුව පහත සඳහන් සාමාජික/ජිකාවන්ගෙන්  සමන්විත වනු ඇත.

1. කමිටුවේ සබාපති අගමැති දනිස් ගූවාඩන

විදේස ඇමති පදවිය දරන සමයේහි ශ්‍රී ලංකාවට විරුද්ධව මානව හිමිකම් කඩකීරිම සම්බන්ධයෙන් එ.ජා. සංවිධානයේදී යෝජනාවක් සම්මතවූ විට එහිදී ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් සංඛ්‍යාවද ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් ලෙස සැලකිය යුතුයැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් බොරළුගොඩ ප්‍රමේයය යනුවෙන් පෛතගරස් ප්‍රමේහයට අනතුරුව ලොව පුරා ගණිතඥයින්ගේ සම්භාවනාවට ලක්වූ ගණිත ක්‍රමයක් හඳුන්වා දුන් මෙතුමා මෙම යෝජනාවේ ගණිතමය තත්ත්වය පිළිබඳව සොයා බලනු ඇත.

2. හිටපු කීඩා ඇමතිවරයෙක් වන මෛන්දානම්ද  නිව්විලේජ්හවුස් 

2011 ලෝක කුසලාන අවසන් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් විකුණා ඇති බව තම රහස් පර්යේෂණ මඟින් සොයාගත් මෙතුමා වනාහී කුප්‍රකට කිරීඩා විකාරදවරයෙකි.

3. හිටපු කීඩා ඇමතිවරයෙක්ව වන පේසන්න රානටුංග 

අයතා ගනුදෙනු මඟින් මුදල් ඉපයීම පිලිබඳව විශේෂඥ  දැනුමකින් හෙබි මෙතුමා අයිසීසී සංවිදානයට යම් මුදල් අතමිටමෙලවීමක් මඟින් හෝ ලෝක කුසලානය අප රටට ලබාගැන්මට හැකිදැයි සොයාබලනු ඇත.

4. විදේස ඇමති ආලි සබීරි 

හිටපු ජනාපෙතිතුමා ජනාපෙති පදවියට පත්වීමට පෙර ඔහුට විරුද්දව පවරා තිබූ දූසන සහ වංචා නඩු 23 කින් එකද දිනයක් හෝ රිමාන්ඩ් භාරයට පත්වීමට ඉඩ නොදී බේරාගත් දෙස් විදෙස් පතල කීර්තියකින් හෙබි නීති විකාරදවරයෙකු වන සබිරි මහතා ලෝක කුසලානය ලංකාවට ලබාදීමට කරන ඉල්ලීමෙහි තීතිමය තත්වය පිලිබඳව ඉතාමත්ම ගැඹුරින් සොයා බලනු ඇත.

5. නියෝජ්‍ය ඇමතිනී ඩෛනා විලේජ්හවුස් මහත්මිය..

කාන්තා අයිතිවාසිකම් පිලිබඳව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතද නිරන්තරයෙන් හඬ නඟන මෙතුමිය මෑතකදී අනුල්ලංඝනීය කාන්තා අයිතිවාසිකමක් වන පිරිමින්ගේ කලිසං ගැලවීමේ අයිතිය උදෙසා පාර්ලිමේන්තු ලොබිය තුලදීම සටන් කල වීරෝදාර කාන්තාවකි..ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදීම තරඟාවලියෙන් ඉවත්වීමට ඔවුන්ගේ කාන්තා අයිතිවාසිකම් කඩවීම හෝ ඔවුන්ට ත්‍රෛලෝක විජයපත්‍ර  භාවිතා කීරිමට ඉඩ නොදීම හේතුවිනිදැයි මෙතුමිය විසින් සොයාබලනු ලබන අතර මෙම යෝජනාවට අයිසීසී පා ලක මණ්ඩලය එකඟ නොවුවහොත් ඔවුන්ගේ කලිසම් ගැලවීමට ඇති හැකියාව පිලිබඳවද වැඩි දුරටත් සොයා බලනු ඇත.

Friday, November 17, 2023

691. පුවක් එෂැණිං - 75 - වැඩබලන පොලොස්පති පත්කිරීම, ක්‍රිකට් පරාජය සහ ගෝටාබයගේ පෙටි කෑෂ්...



මේක මේ සතියකට දවස් දහයකට විතර කලිං බ්ලොග් එකේ දාන්ට කියල හිතාගෙන ලියපු එකක්..කොහොමහරි මේ දවස්වල අධික වැඩ රාජකාරි හින්ද අමතක මතක බැරි උනා කියහල්ලකො..

****************************************************

හිටපු පොලොස්පතිතුමාම සති තුනක කාලයක් සඳහා නව පොලොස්පති ලෙස පත්කිරීමට අතිගරු ජනාදිපතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී...

මීට පෙර දවරක් මාස තුන බැගින් සේවය දිගු කල නමුත් මෙවර එසේ කිරීමට  ව්‍යාවස්ථා සභාව විරුද්ධවීම නිසා සේවා දිගුව සති තුනකට සීමා කිරීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇත...

සතිතුන අවසානයේ එතුමාම යලිත් පත්කිරීමට ව්‍යවස්ථා සභාව නැවත වරක් විරුද්ධ වුවහොත් සේවා දිගුව සති දෙකකට සහ ඉනික්බිති සති එකහමාරකට , ඉන්පසු සතියකට වශයෙන් සේවා දිගුවන් ලබාදෙනු ඇත..පසුව දවස් තුනකට, දවස් දෙකකට, දවසකට, වරුවකට, පැය හයකට සහ පැය තුනකට වශයෙන් සේවා දිගුවන් ලනාදීමට අතිගරු ජනාපෙතිතුමා තීරණය කොට ඇති බව ජනාපෙති මාජ්ජි අම්සය වැඩි දුරටත් නිවේදනය කරයි..

ටං..... ටිං..... ටුං

****************************************************

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ලබන අන්ත පරාජයන් පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන තම තනතුරින් ඉල්ලා අස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පෞද්ගලික සමාගමේ ලේකම් තනතුරේ කටයුතු කල මොහාම් ඩී සිල්වානෝ මහතා නිර්භයව තීරණය කොට ඇත..තේරීම් කමිටුවක් සහ නොයෙක් නොයෙක් මාදිලියේ පුහුණු කරුවන් ( වේගපන්දු පුහුණු කරුවන්, පාදඟපන්දු පුහුණු කරුවන්, පිටදඟපන්දු පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු රැකීමේ පුහුණු කරුවන්, කඩුල්ල අසල සිට උඩ පන්දු අතහැරීමේ පුහුණු කරුවන් යනාදී වශයෙනි ) රැසක් SLC පෞද්ගලික සමාගමින් වැටුප් ලබාගත්තද ඒ සියලු තේරීම් සහ පුහුණු කටයුතු සිදු කෙරුනේ තමන් විසින් බැවින් සම්පූර්ණ වරද භාරගෙන ඉල්ලා අස්වීමට තීරණය කල බව එතුමා ඉතා හැඟුම් බරව ප්‍රකාශ කලේය..

එලෙසම කෝප්ප කමිටුවේ නිර්දේශ පරිදි මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වදින කණ්ඩායම දිරි ගැන්වීම පිණිස නළු නිළියන් ක්‍රිකට් ආයතනයේ වියදමින් ගෙන නොගිය අතර එම නළු නිලියන් නටමින් ගයමින් සිනාසෙමින් කල දිරිගැන්වීම් මෙවර දක්නට නොලැබීම අපේ කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීමට හේතුවූ බවද ආයතනයේ ඩොලර් 30,000ක් වැටුප් ලබන උසස් දක්ෂතා විශේෂඥතුමා ( High Performance Specialist) පැවසීය..

එසේම 2027 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම උදෙසා ඉන්දීය කණ්ඩායමට එරෙහි තරඟයේදී පන්දුවාර 19.1 තුලදී සියළු ක්‍රීඩකයින් දැවීගිය අවස්ථාවේ සිටම තමන් නවතම සැළැස්මක් සකස් කිරීමට මුල පිරූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සැම්මි සිල්වා මහතා මේ අතර නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී..එහි මූලික පියවර පරිදි 2027 ලෝක කුසලානය පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකාවට යාම සඳහා SLC ආයතනයේ නිලධාරීන් 12 දෙනෙකුට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ තමන්ගේ හිතවත් නළු නිළියන් 6 දෙනෙකුට ව්‍යාපාර පංතියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සහ තරු 5 හෝටල්වල නවාතැන් පහසුකම් වෙන්කර ගැනීමට දැනටමත් කටයුතු කරගෙන යන බව ඔහු ඉතාම හැඟීම් බරව පැවසීය..

ඊට අමතරව 2027 ලෝක කුසලානය ජයග්‍රහණය කොට ලංකාවට ගෙන ආපසු එම කුසලානය මහජන ප්‍රදර්ශණය උදෙසා තැබීමට මනරම් කුටියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඉදි කිරීම සඳහා ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමද ඉදිරි දින කීපය තුල ආරම්භ කිරීමට නියමිතය..

ටං..... ටිං..... ටුං

****************************************************

හිටපු ජනාපෙති ගෝටාබේ මහතා ජනාපෙති මන්දිරය අතහැර පලායද්දි ගෙනයාමට නොහැකිව අත්හැර දමා ගිය  රුපියල් මිලියන 17 ක මුදල ආපසු එතුමාටම භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අල්ලස් කොමිසම තීරණයකරයි..

මෙම මුදල් සම්භාරය තමාට හිමි පෞද්ගලික මුදල් බවටත් තම වියදමින් රට පුරා පැවැත්වූ ගම සමඟ පිළිසඳර වැඩසටහන් සඳහා ඉදිකල පිදුරු සෙවිලිකල මඩු සහ ගස් උඩ නංවා ප්‍රශ්න ඇසීමට සූදානම් කල පාක්ෂිකයින් සඳහා ගෙවීම් කටයුතු කිරීමට Petty Cash ලෙස මෙලෙස ජනාපෙති මන්දිරයේ තබාගත් බවටත් හිටපු ජනාපෙති තුමා කල ප්‍රකාශය පදනම් කරගෙන මෙම තීරණය ගත් බව කොමිසමේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..

තවද අරගලකරුවන් මන්දිරය වටලන විට එතුමා අනුභව කරමින් සිටි පැපොල් පලුවද සොයා එතුමා වෙත භාරදීමට ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යන බවද කොමිසම පවසයි..

ටං..... ටිං..... ටුං

Tuesday, November 14, 2023

690. ජීවිතෙන් බාගයක්...Half Of My Life...


අනුරාධපුරේ ටෙක් එකේ ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එක කරපු 
මගේ බැච් එකේ කට්ටිය -  1982 හෝ 1983


අද මගෙ උපන් දෙනිය..අපෙ බාර්යාතොමෝගෙ පුංචි අක්කගෙ දුව පොඩි කාලෙ කිව්වෙ උපන් දිනේ නෙවෙයි උපන් දෙනිය...

තව අවුරුදු පහක් ගියාම ඒ කියන්නෙ ඒ වෙනකොට ජීවත් වෙලා උන්නොත් "හැටපහත් වයසක්ද නංගී?" කියල ඇහුවැහැකි...හැට කියන්නෙත් කඩඉම් වයසක්..ජේෂ්ඨ පුරවැසියෙක් නොහොත් සීනියර් සිටිසන් කෙනෙක් කියල ආණ්ඩුව නිල වශයෙන් පිළිගන්නෙ හැට පැන්නහම..

අර කලිං තිබ්බ එහෙම හැට පැනපු අයට ස්ථාවර තැන්පත් වලට (ඒකෙ තිබ්බ උපරිම සීමාවක් රුපියල් ලක්ෂ පාලහක්ද කොහෙද?) 20% වගෙ ගාණක් පොලිය විදිහට ගෙව්ව..දැං එව්ව ඔක්කොම නැතිකරල..ඒ තියා FD එකකට මාස් පතා පොලිය ගන්නවනම් දැං ගෙවන්නෙ 8% වගෙ ගාණක්..අපි වගෙ වෙන ආදායම් මාර්ගයක් නැති ඔය පොලියෙන් ජීවත් වෙන්ට හිතාගෙන උන්නු වයසක ඩෑල් වලට ආණ්ඩුව එහෙම කරපු එක මරු පහරක්..ඒත් ඉතිං මක් කොරන්නෙයි? ඔහෙ ගේම ගහගෙන යනව..

හරි ඒ දුක් අඳෝනාව ඇති..මේ වැදගත් දවසෙ මම කල්පනා කලා මගෙ ජීවිත ගමනෙ එක් එක්  උපන්දින වලට සැතපුම් කණු නොහොත් මයිල්ස්ටෝන්ස් පහුවෙද්දි මම කොහෙද හිටියෙ මොකද කලේ කියල පසු විපරමක් කරල බලන්ට..හැම අවුරුද්දෙම ලියන්ට ගියොත් එහෙම හැටක් ලියන්ට එපාය..අනික අවුරුදු 60ක් ගෙවිච්චි මනුස්සයෙකුගෙ ජීවිතේ අවුරුද්දෙන් අවුරුද්ද ඒ තරං බරපතල වෙනස්කම් සිද්ද වෙන්න තියන ඉඩකඩත් අඩුයිනෙ..ඒ හින්ද මම හිතුව අවුරුදු පහෙන් පහට මගෙ ජීවිතේ ගැන ලියන්ට..

1. ඔන්න මගෙ උපන්දිනේ 1963 නොවැම්බර් 14..එදා ගැනනම් ඒ හැටි මතකයක් නෑ..මතක තිබ්බයි කියල බොරු ලියන එකත් හරි නෑනෙ..කොහොම හරි ඒ දවසෙ මම උපන්නෙ බදුල්ලෙ මහ ඉස්පිරිතාලෙ..එහෙම උනේ ඒ වෙනකොට අම්මයි අප්පච්චියි දෙන්න බදුල්ලෙ වැඩ කරපු හින්ද..අප්පච්චි බදුල්ල කච්චේරියෙ ලිපිකරු..අම්ම බදුල්ල ඉස්පිරිතාලෙ හෙදි..

2. අවුරුදු 5 කට පස්සෙ 1968 නොවැම්බර් 14..ඒ වෙනකොට අපි හිටියෙ කෑගල්ලෙ..අම්මයි අප්පච්චියි ස්ථාන මාරුවීම් ලබල රට පුරාම යනකොට අපිත් ඉතිං සබ්බ සකල මනාවම කෝච්චියට පටවල දවස් දෙක තුනකට සෑහෙන්ට රෙදි පෙරෙදි පැදුරු කොට්ට හාල් පොල් එහෙමත් පොඩි ලොරි බාගෙකට පටවල අපිත් නඟිනව කෝච්චියට..එහෙම දවස් දෙක තුනකට සෑහෙන්ට බඩු පොදි ගහ ගන්නෙ ඇයිද කිව්වොත් ඒ අර අපේ ගෙදර ලට්ට ලොට්ට පටවපු කෝච්චිය ගමනාන්තයට එන්ට ඒ වගෙ කාලයක් ගතවෙන හින්ද.

අපේ ගෙදරම හිටිය අම්මගෙ අම්ම, මගෙ අත්තම්මයි අම්මගෙ අවිවාහක වැඩිමහලු සහෝදරයෙකුයි..විස්තීර්ණ පවුලක් කොටින්ම..ඒ මාම තමයි ලොරියෙ එන්නෙ..මාමගෙ නම හීන් බණ්ඩා..අපි කිව්වෙ බණ්ඩ මාමා කියල..අම්මගෙ පවුලෙ සහෝදරයො හත්දෙනයි..සහෝදරියො අම්මත් එක්ක තුන්දෙනයි..දැනට ජීවත්වෙලා ඉන්නෙ බාලම සහෝදරයයි ඊට වැඩිමල් සහෝදරියි විතරයි..මගෙ පොඩි අම්මා සහ පුංචි මාමා..

ඉතිං මම ඔය කිව්ව විදිහට මට අවුරුදු පහක් වෙද්දි අපි හිටියෙ කෑගල්ලෙ නාගොල්ලෙ රජයේ නිල නිවාසවල..මම එතකොට මොන්ටිසෝරි ගියේ..අප්පච්චිත් එක්කම එකට වැඩ කරපු සහෝදර නිලධාරියෙක්ගෙ බිරිඳගේ නංගි විසින් අපේ නිවාස සංකීර්ණයෙ සියළුම පාසල්  නොයන වයසේ දරු දැරියන් සඳහා සමාජ සේවයක් විදිහට නොමිලයේ පවත්වාගෙන ගිය ළදරු පාසලක්..

අර මම කලින් දවසක් ලියපු "අයිසලිපා බ්‍රදල් ජොනා මොරිෆලිඟා ඩිඟා ඩොඟා" ඉන්ග්ලිස් පොයම් එක එහෙම මම ඉගෙන ගත්තෙ ඒ මොන්ටිසෝරියෙදි..මම අයිසලිපා කියල කිව්වට මොන්ටිසෝරිය කරපු ආන්ටි අපිට ඒක කියල දුන්නෙ නම් මෙන්න මේ විදිහට..

Are you sleeping are you sleeping brother John, brother John? 

Morning bell is ringing, morning bell is ringing, Ding Dong Bell, Ding Dong Bell...

ඒ කාලෙ අවුරුදු 5 සම්පූර්ණ උනහම ඉස්කෝලෙ ගිහෑකි..ඒ හින්ද ඊලඟ අවුරුද්දෙ හාහාපුරා කියල සුදු කමිසයයි නිල් කොට කලිසමයි ඇඳල ඉස්කෝලෙ යන්ට දහසක් බලාපොරොත්තු ඇතිව තමයි මගෙ පස්වන අවුරුද්ද ගෙවිල ගියේ..

3. ඊගාවට 1973 නොවැම්බර් 14..මම කෑගල්ල සෙම් මේරිස් නොහොත් ශාන්ත මරියා මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියෙ..පංතිභාර සර් ඇවිල්ල ජයසිංහ සර්..බණ්ඩාර සර්, පුංචි නිළමේ සර්, ජයලත් සර්, ගුණසේන සර් මට මතක ගුරුවරුන්ගේ නම්..රණේ, සමරේ, නීල්, හේමන්ත, කලිංග,ෆවාස්, සනත්, බිමල්,  මා එක්ක එකට හිටිය යාලුවො..

4. 1978.11.14...ඊගාවට... වයස අවුරුදු පාළහ..ඒ වෙනකොට මම නාලන්දෙට ඇවිල්ල..නැවතිල හිටියෙ නාවල පරණ පාරෙ අප්පච්චි එක්ක බොහොම කාලෙකට ඉස්සෙල්ල නමසිය පණස් ගණංවල එකට වැඩකරපු අංකල් කෙනෙක්ගෙ ගෙදර..ටියුෂන් සංස්කෘතිය මුල් බැහැගත්තු කාලෙ..ඒත් හැම වැඩකටම ටුෂන් යනවයි කියල එකක් ඒ කාලෙ තිබ්බෙ නෑ..අමාරු වැඩ වලට විතරයි ටියුෂන් ගියේ..මම ඒ කාලෙ ටියුෂන් ගියේ ෆිසික්ස් වලට විතරයි..සේනාරත්න සර්ගෙ ගංගොඩවිල පාරෙ සුභද්‍රාරාමෙ තිබ්බ ටියුෂන් ක්ලාස් එකකට.. ආ අර ලංකාවටම බලපාපු මහා කුණාටුව සහ ගංවතුර ආවෙ ඒ කිට්ටුව..

5. ඊගාවට වයස විස්ස 1983 නොවැම්බර් 14..ඒ වෙනකොට ජීවිතේ ලොකු වෙනසක් වෙලා..ඒ ලෙවල් දෙපාරක්ම කරල ඇණගෙන මම ඊගාවට කලා අනුරාධපුරේ කාර්මික විද්‍යාලයෙ ආධුනික සැළසුම් ශිල්පී පාඨමාලාව, පූර්ණ කාලීන දිවා එක් අවුරුදු..

ඒකත් මේ අහම්බෙන් උන එකක්..මගෙ ලොකු අම්මගෙ ලොකු පුතා ඒ කාලෙ මහවැලියෙ වැඩකලේ..එච් කලාපයෙ මීගලෑවෙ..ඒ යෝදයා දවසක් අපේ ගෙදර ආපු වෙලාවෙ කිව්ව "මල්ලි ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එක කරන්න බලන්න..මහවැලියෙ හොඳ පඩි ඩ්‍රාෆ්ට්ස්මන්ලට." කියල..

මම ඒ කාලෙ අනුරාධපුර මහජන පුස්තකාලෙට යනව ඔය පත්තර එතකොට ගැසට් එක එහෙම බලන්න මගෙ පුෂ් බයිසිකලේ..පොඩි අමතර කාරණයක්..බහුතරයක් ෆුට් සයිකලේ කිව්වට ඕකට කියන නියම නම ඇවිල්ල පුෂ් සයිකලේ..මුල්ම කාලෙ ඕක තල්ලු කරගෙන ගිහිල්ල සීට් එකට පැනලලු පදින්න පටන් ගන්නෙ..ඒ හින්දයි කියනව ඔහොම නම වැටුනෙ..

ඉතින් අර අයියා අරෙම කියල සති දෙකක් ගියේ නෑ පුස්තකාලෙ ගැස්ට් එකේ දාල තිබ්බ ඩ්‍රාෆ්ට්ස්මන් කෝස් එකට අයදුම්පත් කැඳවල..අනුරාධපුරේ ටෙක් එක තිබ්බෙ අපේ ගෙදර ඉඳල විනාඩි 10න් පයින් යන දුර..මම ඉතිං ඇප්ලයි කරල ඒ කෝස් එක කලා..83 අගෝස්තු කලබල තිබ්බෙ අපිට අවසාන විභාගෙ තියන්ට තිබ්බ කාලෙ...ඒ හින්ද විභාගෙත් කල්ගියා මාස දෙකක් වගෙ..

කෝස් එක ඉවර වෙනකොටම මට ට්‍රේනිං හම්බ උනා අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ.. 83 නොවැම්බර් 14 වෙනකොට මම ඒ ඉරිගේෂන් ඩිපාට්මන්ට් එකේ ට්‍රේනිං යනව..ඒ වෙනකොට මම සංස්කෘතික ත්‍රිකෝණෙ අභයගිරි ව්‍යාපෘතියෙ සැළසුම් ශිල්පී තනතුරට ඉන්ටවීව් ගිහිල්ල හිටියෙ..බඩේ බත් වගේ ඒ ජොබ් එක හම්බවෙයි කියල බලාපොරොත්තුවෙන් හිටියෙ..එතන වෙනස ඇවිල්ල ඉරිගේෂන් එකේ පඩි නෑ..ට්‍රෑංගල් එකේ සේවය අනියම් ඒත් "චෙක් රෝලට දාල පඩි ගෙවන්නං.." කියල එතන ලොක්කා කිව්ව..ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහත්තය....ඉතිං ජීවිතේ පලමු වරට පඩියක් අතට හම්බවෙන රස්සාවක් ගැන සිහින දකිමින් තමයි මගේ විසිවන උපන්දිනේ ගෙවිල ගියේ..

6. ඊගාවට විසිපහ..1988-11-14..ඒ වෙනකොට මම මහවැලි ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සියෙ කාර්මික නිලධාරියෙක් හැටියට වැඩ... ජොබ් එක හම්බ උනේ 1984 දෙසැම්බර් 3....83 විස්තරේ කියද්දි මම කිව්වනෙ එතකොට වැඩකලේ ඉරිගේෂන් එකේය, කල්චරල් ට්‍රෑංගල් එකේ ජොබ් එකක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්ය ඒ කාලෙ හිටියෙ කියල..කිව්වත් වගේම 83 දෙසැම්බර් මාසෙ ට්‍රෑංගල් ජොබ් එක ලැබුනා..අභයගිරි ව්‍යාපෘතියෙ..ඒකෙ හරියටම අවුරුද්දයි වැඩ කලේ මහවැලියෙ වැඩට ගියා..

ඉතිං 88 නොවැම්බර් 14 වෙනකොට මම වැඩකලේ වැලිකන්දෙ මහවැලි බී කලාපයෙ සේනපුර නේවාසික ඉංජිනේරු කාර්යාලයෙ ..ඒ වෙනකොට ජෙප්පො මුලු රටේම භීෂණයක් ඇතිකරල තිබ්බ කාලෙ...ගමනාගමනය පොදු මහජන සේවා ඔක්කොම අඩපණ වෙලා තිබ්බෙ..මහවැලියෙත් වැඩ කෙරුනෙ බොහොම මන්දගාමීව..ඩීසල් එහෙමත් බොහොම සීමිතව ලැබුනෙ..හැබැයි මොනව උනත් අපේ පඩි නම් කලට වෙලාවට ලැබුනා..ගාමිණී මහත්තය අපේ ඇමතිතුමා කියල තිබ්බ කිසිම හේතුවක් හින්ද ඔෆිස් වහන්න එපාය එයා හෙලිකොප්ටරෙන් හරි වෙලාවට පඩි එවනවයි කියල..ඒ කිව්ව වගේම පොර ඒක කලා..

අපි ඉතිං වැඩත් නැති එකේ උදේ නමේ වගෙ වෙනකල් නිදාගන්නව..දහයට විතර අපේ කැම්ප් එක ගඟින්ම ගලාගෙන යන ඇලට ගිහිල්ල නානව..ඊට පස්සෙ ගෙදර ඇවිල්ල උදේට කාල බොන්ඩ පටං ගන්නව..සීල් නං එහෙමයි..සුදුවා නම් එහෙමයි..ආය ඒකෙ ගානක් නෑ..ඔන්න ඔහොම අමර පදමට වැදිල ඉන්දැද්දි ඔන්න ඇහෙනව කොලඹ ඉඳල වැලිකන්දට හෙලිකොප්ටරේ යනව අපේ කෑම්ප් එක උඩින්..අපි දන්නව ඒ යන්නෙ අපේ පඩි කියල..අපි ඉතිං ඩෝප් මරගාතෙම එලියට බැහැල උඩ පැනල අත් වනල ජයගෝසා කරනව.."අම්මට උඩු පඩි ආවා..තව බෝතලයක් ගහමු බං..."

7. ඊගාවට 1993-11-14... මට වයස තිහයි..ඒ වෙනකොට මම වැඩ මහවැලි ආර්ථික ඒජන්සියෙ..කලින් වැඩ කරපු ඉංජිනේරු සහ නිර්මාණ ඒජන්සියයි මේකයි කාර්යභාරය අතිං වෙනස්..කලින් එකේ කලේ ඉදිකිරීම් විතරයි..ආර්ථික ඒජන්සිය මූලික වශයෙන් කලේ මහවැලි ඉඩම්වල පදිංචි කරපු ජානපදිකයින්ගෙ සුබසාධනය සම්බන්ධ කටයුතු..

මම වැඩකලේ මහවැලි ජී කලාපයෙ බකමූණට එහා අත්තනකඩවල කියන හරියෙ...ගිරිතලේ සහ දියබෙදුමටත්  බොහොම කිට්ටුයි..ඒ වෙනකොට මම අපේ භාර්යාතොමෝ අඳුනගෙන හිටියෙ..ඒ ඔය බස් එකේ යද්දි සෙට් වෙලා..ඉතිං අඳුනගෙන අවුරුද්දක් තරම ගෙවිල ගිහිල්ල එයයිලගෙ ගෙදර දොර එහෙම බලන්ට යන්ට ලෑස්ති පිට හිටියෙ ඔය කාලෙ..එහෙම යන්ඩ උනේ ඊලඟ අවුරුද්දෙ ජනවාරි මාසෙ..හරි හරි එව්ව අයිති අනාගතේට..

ඉතිං අත්තනකඩවල ජීවිතේ ගැන කියනවනම් ආය කියල වැඩක් නෑ..තනිකරම ආතල් ලෝකයක්..රෑ තිස්සෙ ගොවියො එනව අපේ ක්වාටර්ස් එකට වතුර නෑ මහත්තය මුඹුර ඔක්කොම හේබාල ගිහිල්ල කියල..ඉතිං අපි තුන්දෙනා (ක්වාටර්ස් එකේ මා එක්ක තව සහෝදර නිලධාරීන් දෙන්නෙක් හිටියා..සුමනේ සහ ආනන්ද..) අපි ඉතිං ආපු එවුං කූල් ඩවුන් කරල තේ එකක් එහෙම දීල යවනව..පහුවදාට ගිහිල්ල කොහොමහරි වැඩේ සෙට්ල් කරනව..

මේ ළමයි..මේක අහනවද?....ජීවිතෙං බාගයක්  ගැන විතරයි ලිව්වෙ..දැනටම සටහන බොහොම දිගට ලියවුනා.. කොටිම්ම කිව්වොත් මාගලක් වගේ උනා..ඒ හින්ද අවුරුදු 30 න් දැනට නවත්තමු..

එහෙනං ඊලඟ අවුරුදු 30න් හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි....

Tuesday, November 7, 2023

165. කඳු මුදුනට නැග බලන්න ජීවිතයේ උස

    සෑම දවසක් ම හොඳ දවසක්. හොඳ ම හොඳ දවසක්. ඒ හොඳම හොඳ දවස, පෝරණුවක දහදිය පෙරාගෙන තැම්බෙන-දැවෙන වේදනාත්මක දවසක් කරන්න යාර 6කට පුළුවන්! ඔව් යාර 6කට පුළුවන්! අද එහෙම දවසක්. සාරියක් ඇඳගෙන දරුවාගේ දෙමව්පිය රැස්වීමට යන්න වුණු දවසක්!



    උදෑසන දරුවන් පාසල් වෙත ඇරලවා, ගෙදර පැමිණ හිතත් සමග යුද්ධ කරමින් යාර හය සිරුරේ දවටාගෙන, පාසල වෙත නැවත ඇදුනෙමි. පුද්ගලික වාහනයේ යන නිසා පහසුවක් වුණත් අන් බොහෝ මව්වරු තකහනියේ යාර හයේ ඒවා අරගෙන පැමිණ තිබුණේ පොදු ප්‍රවාහන සේවයේ පිහිට ලබමින්. 

    නව විදුහල්පතිනියක පත් ව තිබීමත්, දරුවන් කාණ්ඩ විෂයයන් තෝරා ගැනීමේ දී කටයුතු කළ යුතු ආකාරය විස්තර කිරීමට තිබීම නිසාත් රැස්වීම පැය 3ක් දක්වා දිගුවිය. ඉන් අනතුරු ව පංති මට්ටමෙන් රැස්වීම් තිබුනු අතර 12.30ට පමණ පිටතට පැමිණ, පාරෙන් එහා පස පාසලේ සිටින, 12.00ට පාසල් ඇරෙන පොඩි පුතු රැගෙන වාහනයට වී 1.30 වනතුරු සිටියේ දියණියව ද රැගෙන නිවසට යා හැකි නිසාය. තාර පාරේ රස්නයත්, වාහනයේ රස්නයත් මැද, යාර හයේ පෝරණුව ඉස්තරම් ය. වායූ සමනයට ද පාලනය කළ නොහැකි තත්ත්වයක් ලෙස දැණුනේ චූටි පුතාගේ ඉහින් කනින් දහදිය ගලන්න වූ නිසා ය. වායූ සමනය ක්‍රියා නොකරන ලෙසක් දැනී, ඩෑෂ් බෝඩය ද පෝරණුවක් සේ දැනෙන්න වූ නිසා මද වේලාවකින් වායූ සමනය නවතා ජනෙල් විවර කළෙමි. තාර පාරේ රස්නය දරාගෙන මද වේලාවක් ගත වනවිට 1.40ට පමණ දුව පැමිණියා ය. පිටත් වී මීටර 500ක්වත් එන්නට පෙර මෙන්න බොලේ අනතුරු හැඟවීමේ (Warning Light) බල්බයක් දැල්වෙන්නට පටන් ගති!

    වහා ම අයිනකට වී සැමියාට අමතා "හීට් ලයිට් පත්තු වෙලා, මොකද කරන්නේ?"යි ඇසුවෙමි. "ෂුවර් ද? කෝ ෆොටෝ එකක් එවන්න බලන්න" හදිසියේ අයින් කළ නිසා ඒ පටු පාරේ වාහන තදබදයක් ඇති වන්නට ඉඩ ඇති බව පෙණුනි. නැවත හිමින් වාහනය පදවාගෙන මීටර 100-150ක් ගොස් වැඩිපුර වාහන නොයන අතුරු පාරකට හරවා හෙවනේ නතර කර පිංතූරයක් ගෙන යැව්වෙමි.

    "ඔහොම ම ඉන්න. ආයේ ස්ටාර්ට් කරන්න එපා. දැන් සංදීප එනවා. එතකම් පරිස්සමින් ඉන්න"

    “මේ ඉන්න, ෆෝන් එකේ බැටර් 2%යි, අහගන්න මං ඉන්න තැන" කියා ඉක්මනින් ඉන්න තැන කියා ගතිමි.

    යාර හයේ සිල්ක් පෝරණුව යමාමහ පෙළහර පාමින් තිබුණි. පසෙකින් ගිණි පිටවන රස්න ය. ඒ අතරේ දහදියෙන් බත් වෙලා ය. ගිනිත් දියත් එකවර නිපදවන යාර හයේ යමාමහ පෙළහර!

    ඒ අතරේ ම  ෆෝන් එකේ ඕෆ්ලයින් මැප් එකට ගොස් ඉන්න සීමාවේ ස්ක්‍රීන් ශොට් එකක් ගෙන, ඉන්න තැන සළකුණු කර මොහොතකට ඩේටා ඔන් කර සැමියාටත්, මග එමින් සිටි සංදීප මල්ලීටත් වට්ස්ඇප් කෙරුවෙමි. අනතුරු ව සැමියා අමතා ඒ බව දැන්වූවෙමි.



    දරුවෝ දෙන්නාගේ ම බෝතල් වල වතුර අහවර ය. දෙදෙනා එතැන තිබූ පන්සලට යවා වතුර ගෙනෙන ලෙස දැන්වූවෙමි. අනතුරු ව බොනට්ටුව විවර කර වාහනයට යම් සහනයක් සිසිලසක් ලබා දෙන්නට කටයුතු කෙරුවෙමි.

    පන්සල් වත්තේ ඇති ගස් වල සෙවණ නිසා ඇතිවුණු සිසිල් පරිසරය නිසා මදින් මද සහනයක් දැනෙන්නට විය. මුලින් නතර කළ තැන ම ඉන්න වුණා නම් ඌර්ධවපාතනය (ඝණ ද්‍රව්‍ය ද්‍රව නොවී ඝණ වශයෙන් ම වාෂ්ප වීම) වනු ඇත.

    ආපදාවක් වූ විට මේ ආකාරයට සහයෝගයට එන්නට ඕනෑ ම විටෙක කෙනෙකු දෙන්නෙකු ඉන්නා නිසා හොඳයි. එසේ නොවුණා නම් එතරම් අපහසුවෙන් ඉඳිද්දි තව තවත් කෙතරම් නම් අපහසුවට පත්වන්නට සිදු වනු ඇති ද?

    මේ දවස්වල ස්වභාව ධර්මයත් යමාමහ පෙළහර හා කිට්ටු යමක් පාමින් සිටියි. උදේට සෞම්‍ය ව සිටින උන්දෑ දවල්ට ගිණි පුපුරු විසි කරයි. හවස් වද්දි පාරවල් යටකරමින් මොර සූරන වැසි ගෙන එයි. යාර හයේ  නිල ඇඳුමට බැඳුණු කාන්තාවෝ මග දිගට කෙතරම් අපහසුතාවන්ට පත් වනවා ඇති ද?

    ඇයි මිනිස්සු තව කෙනෙකුට ජීවත් වීම අපහසු කරවන්නේ? අමාරුවෙන් අපහසුවෙන් තමන්ගේ ජීවිතය ගෙන යන්න වෙන තැනට තල්ලු කරන්නේ? ඇයි මේ? සාරි පටලැවි මරදාන ස්ටේෂන් එකේ දී රේල් පාරට ඇද වැටුණු කාන්තාවන් පිළිබඳ අසා ඇත්තෙමි. සාරි පොටවල් පාරේ යන වාහන වල පැටලී වුණු අනතුරු අසා ඇත්තෙමි. මගේ ම මම්මා (අම්මාගේ නංගි) සහ මාමා මෝටර් සයිකලයේ යද්දි මම්මාගේ සාරි පොට බයිසිකල් රෝදයේ පැටලැවි ඇඹරි ඉරී වෙන්වුණු නිසා ඒ අය අද යහතින් ජීවත් වෙති. එසේ නොවුණා නම් බයිසිකලය පෙරලී කුමනාකාරයේ අනතුරක් වන්නට තිබුණාදැයි අප දන්නේ නැත.

    සාරි වල මිල ගණන් දන්නෝ දනිති. යට සායවල්, හැට්ට මැහීම්, ඒවාට අවශ්‍ය ලයිනින් ආදිය එකතු වුණා ම යම් ලකයක් ඇති සාරියක් සකසා ගන්නට අඩුම තරමින් රුපියල් 10,000/-ක් 12,000/-ක් වැය වේ. මේ රටේ මිනිස්සුන්ට මේ කාලයේ අඩුපාඩුවකට ඇත්තේ රුපියල් දහ දොළොස්දාහකට සකසා ගත් සාරියක් පමණි.

    සාරියෙන් නම්බුව රැකීම පිළිබඳ කතා පවත්වන මිනිස්සුන්ගේ  මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතිවන විමතියේ නිමක් නැත. හිතන්න හිතන්න විමතිය දලු ලා වැඩේ.

බඩ රවුමක් පෙනේ.

පපුවෙන් පදාසයක් පෙනේ.

පිටෙන් අඩ හඳක් හෝ ඊට වැඩියෙන් පෙනේ.

ඒ රකිනවා කියන නම්බුව රැකේ දැයි සැක සිතේ.

    මරදාන ස්ටේෂන් එක ලඟ උදේ 6.30.-7.30 අතර හිඳ බලන්න. සාරි ඔසරි රූරා වැටි වැටී, ඉරට පෙර දුවන ගුරු මහත්මීන් කොපමණදැයි දැක බලා ගන්න. මොන සාපයක් ද මේ?

    සමහරවිට මේ නිතී පවත්වාගෙන යන්න කාන්තාවන් ම අනුබල දෙමින් සිටින බව ඇත්තකි. ඒ කාරණා කෙසේ වුවත්, දැයේ කාන්තාවට මේ සිදුකරන අනිසි බලපෑම, සාරියෙන් රටේ නම්බුව රකින්න යෑම, නොනවතින තාක් කල් මේ රටට යහපතක් නොවනු ඇත. එය ආවාට ගියාට කී කතාවක් නොවන බව සළකන්න. මා එසේ කියන්නේ,

    මෙවැනි හද්දා මෝඩ නීති මත පිහිටා කටයුතු කරන්න හිතන මොළවල කවදාවත් සැබෑ දියුණුවට වැදගත්වන වටිනා, නව අදහස් නූපදින නිසා ය.

    එවැනි අදහස් උපදින්න තරම් ඒ හිත් නිවහල් නොවන නිසා ය.

    ගෝත්‍රිකත්වයේ තැනිතලාවේ වැජඹෙන ඔවුන්ට දියුණුවේ කඳු මුදුනට නැග ගන්නා ආකාරය නොවැටහෙන නිසා ය.

689. ක්‍රිකට් ලෝක සූරතාව...කෝලි සහ ෂර්මා.....


කෝලිකුට්ටුවා සහ සරමා....

 අපේ මංජුල පීරිස් ලොක්කගෙං බේරෙන්ට බෑ හෙනහුරාදා රෑ දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන්ටෙයි කියල..මොනව උනත් ඕකා හොඳ එකා..ඒ හින්ද මම කල්පනා කලා එහෙම කරමුය කියල..

මේ දවස්වල හැමෝන්ම ලෝක සූරතා ආතල් එකේනෙ ඉන්නෙ..ඒ හින්ද ඒ ගැන ලියපු පොඩි සටහන් දෙකක් මෙන්න..

ආ...තව පොඩි ට්‍රිවියා නොහොත් ටිට් බිට් එකක්..ලංකාවෙ තියෙන්නෙ ඔය V & A කියල අරක්කු ජාතියක්..ඒකට ඔය නම දාල තියෙන්නෙ විරට් ඇන්ඩ් අනුෂ්කා කියන එකෙන්..

*******************************************

වර්ල්ඩ් කප්පෙකේ ඉදිරි තරඟ පැවැත්විය යුතු ආකාරය පිලිබඳව ඉතාම කාලෝචිත සහ බහුසෲත යෝජනා මාලාවක්...

අපරාදෙ ඉන්දියාව ඉතුරු මැච් ගහන එක..නිකං අපරාද වියදමක්නෙ..අනික අනික් ටීම් දෙකේ ක්‍රීඩකයින්ගෙ මහන්සිය..අම්පයර්ල දෙන්නගෙ තර්ඩ් අම්පයර්ගෙ ඉඳල ප්‍රේක්සකයො දක්වා බොරුවටනෙ මහන්සි වෙන්නෙ..

ඊට වඩා දාහක් හොඳයි අපි මෙන්න මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මෙන්න මගේ යෝජනා...

1. ඉන්දියාව නෙදර්ලන්තෙත් එක්ක මැච් එක දිනුවයි කියල හිතාගෙන පොයින්ට්ස් දෙකක් දාගන්නව..නෙට් රන් රේට් එක කොහොමත්ම අදාල නොවේ... මොකද ඉන්දියාව දැනටම ගහපු මැච් අටම දිනල පොයින්ටස් 16 අරං ඉන්නෙ..වෙන කාටවත් ඒ ගාණට එන්න බෑ..ඒ හින්ද NRR is irrelevant.....

2. ඒ මැච් එකේදිම කෝලි කුට්ටුවා  50 වෙනි සෙන්චරියත් දැම්ම කියල වාර්තා පොත් වලට ඇතුලත් කරනව..බුවාගෙ ළකුණු ගාන මෙහෙමයි ගණනය කරන්නෙ..කෝලීස් බාර්යා තොමෝ අනුස්කා නංගිගෙ උපන්දිනේ 1988. 5.1 ඒ දිනේ අංක ටික එකට එකතු කරනව එතකොට 1+9+8+8+5+1 = 32යි..

32 වැඩි කරනව අනුස්කගෙ උසෙං..සෙන්ටි මීටර් 168යි..එතකොට ඒ කියන්නෙ ඩෙසි මීටර් වලින් නම් 16.8යි..32 x 16.8 = 537.60 ආසන්න වශයෙන් 538යි..මේ පාර ඉන්දියාව දිනන්න යන්නෙ උංගෙ 3වෙනි වර්ලඩ් කප් එක..ඒ හින්ද 538 / 3 =179.33 ආසන්න වශයෙන් 179යි..ඒ ගාන ටිකක් වැඩියි වගේ හින්ද කෝලිගෙ වැඩිම ස්කෝර් එක 183 යිනෙ..ඒකෙං කෝලිගෙ වයස අඩු කරනව..183 - 35 = 148යි..ඒකත් වැඩියි වගේ කියල පේන හින්ද ආයම පාරක් අනුස්කගෙ වයසත් අඩු කරනව ( ඒ යෝදිටත් වයස 35යි.. ) එතකොට 148 - 35 = 113යි අන්න ඒ ගාන නං සාදාරණයි වගේ නේ? එහෙනං එතකොට කෝලි නෙදර්ලන්තෙ එක්ක ගැහුවෙ 113යි කියල වාර්තා පොත් වල සටහන් වෙනව..

3. ඊගාවට ඉන්දියාව සෙමි ෆයිනල් එකෙනුත් දිනනව සහ කෝලි ඒකෙත් සෙන්චරියක් ගහනව කියල..එහෙමත් හොඳ නෑනේද? සෙම්චරියක්ම ඕන නෑ..අපි කියමු දෙන්නගෙ වයස එකතු කරල ඒ එන ගාන ගැහුවයි කියල..ඒ කියන්නෙ 35 + 35 = 70යි..ඇති ඇති ඒ ඇති..අනික පයිනල් එකේ කොහොමත් කෝලිකුට්ටුව්ට සෙන්චරියක් අනිවා දෙන්ට එපාය..පයිනල් එකේ කෝලිගෙ ස්කෝ එක තීරණය කරන්නෙ මෙහෙමයි..

4. දැනට ෆයිනල් එකක වැඩිම ස්කෝ එක තියෙන්නෙ ගිල්ක්‍රිස්ට්ගෙ නමට..149 යි..ඒකට අපි එකතු කරනව මෝඩිගෙ වයසෙං හරියටම බාගයක්....ෆයිනල් එක ගහන්න සූදානම් කරල තිබ්බෙත්  මෝඩි ස්ටේඩියම් එකේ හින්ද එහෙම කරන එකේ කිසිම අසාධාරණයක් නෑ..මෝඩිගෙ වයස 73 යි ඒකෙං බාගෙ ඇවිල්ල 73 / 2 = 36.5 ආසන්න වශයෙන් 37 කියල ගන්නත් පුලුවන්..ඒත් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ අන්තිම සාදාරන  විදිහට වැඩ කරන කට්ටියක්..ඒ හින්ද අපි අඩු අගය ගමු 36 කියල..එතකොට 149 + 36 = 185 යි..

5. අන්න දැක්කද? ෆයිනල් එක ඉන්දියාව දිනනව සහ ඒකෙදි කෝලි කුට්ටුවා 185ක් ගහනව..ඇත්තටම වර්ල්ඩ් කප් කියල ඉන්දියාව පුරහම  ඇවිද ඇවිද මහ විසාල වියදමක් කර කර මැච් ගහනවට වඩා මගේ මේ ක්‍රමය ඉතාම සාර්තකයි නේද? 

6. ඒ හින්ද මං ආයාචනත්මකව ඉල්ලා සිටිනව අලුතෙං අපේ රොසාම් ඇමතිතුමා පත් කරපු පා ලක මන්ඩලේ ගරුකටයුතු සබාපති අර්ජුන් රනතුංග මහත්තයගෙං ඔබ තුමාල ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ක්‍රිකට් කීඩාව දියුනු පවුනු කරන්ට කැපවෙල ඉන්නවයි කියල ප්‍රැක්ටිකලි ඔප්පු කරන්ටත් එක්ක මේ යෝජනාවලිය ඉන්දියානු රිකට් පාලක මන්ඩලේට වහාම යවන්ටෙයි කියල..

7. මේ යෝජනාව ඉන්දියන් බෝඩ් එක පිලිගන්නවට ආය කිසිම සැකයක් නෑ.. අර්ජුන මහත්තයෝ..ඔබ තුමාම ඒකෙ ගහුරවේ ගන්ට..මගෙ නමක්වත් කියන්ට ඕමනා නෑ..96 අවුරුද්දෙ ලෝක සූරතාවෙ දිනල අපිට ලබාදුන් අප්‍රමාන සම්තෝසෙ වෙනුවෙන් මම ඒ හෞරවය ඔබතුමාට කොන්දේසි විරහිතව පරිත්‍යාග කරනව..

8. අන්න එහෙමයි අපි..අන්න එහෙමයි අපේ අම්මල තාත්තල අපිව හදල තියෙන්නෙ..තෙරුණෙයි?

**********************************************

මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ මැච් එකේ අපේ මැතිව්ස් ගොබිල විනාඩි තුනක් ඇතුලත බැට් කරන්න ආවෙ නැහැය කියල පොර අවුට් කියල අම්පයර් තීරණය කරපු සීන් එකෙන් පස්සෙ..එහෙම Timed out  කියල International Cricket වල අවුට් වෙච්චි පලවෙනි එකා ඔය මැතිවුසාලු..

Timed Out and Groin Tickled  Out...                                                

තව එකම එක ක්‍රමයක් තියනව මීට කලිං කවුරුවත් එහෙම අවුට් වෙල නැති.....

ඒකෙං කියන්නෙ බැටර් (දැං ගෑණු උදවියත් ක්‍රිකට් ගහන හින්ද බැට්ස්මන් කියන්නෙ නෑ..දෙගොල්ලන්ටම පොදුවෙ බැටර් කියලයි කියන්නෙ...) තමංගෙ පිත්තෙන් අම්පයර්ගෙ කිරිපල්ල කුචි කැව්වොත් එයා දැවීගිය ක්‍රීඩකයෙක් විදිහට සලකනවයි කියල..

Types of Dismissals - No 12 

The batter shall be ruled  out if he/she tickles or attempts to tickle  Umpire's groin using his/her bat... The dismissal should be called Groin Tickled Out...

එහෙම අවුට් වෙනවට කියන්නෙ Groin tickled out   කියල..අපේ තව විකට් තුනක් තියන එකේ ඒකත් ට්‍රයි කරල බලන්ටයි තියෙන්නෙ..එකම ඉනිමකදි ලෝක වාර්තා දෙකක්ය කියන්නෙ සෙල්ලමක්ද?

Saturday, October 14, 2023

164. සිසිර අයාලයෙනි

 (පසුගිය වසරේ ලියන ලද සටහනකි)


සිසිර අයාලයෙනි,

නුබ කුස සිසාරා

දින සති සැරිසරා

මදක් රැඳෙන ගිමන් හරින

නුඹ නොදත්

බෝ අනතුරු

මෙහි වෙත්


ඔයාකාර සැහැල් සැරුම්

නූස් පඳුරු මුදුන් මත රැඳුම්

නොමනාය මෙබිම මත

කල්පනාවෙනි... පරිස්සමෙනි...


සිසිර අයාලයෙනි!

අප හිඳින්නේ

බෝ ආලයෙනි

යලිත් මතු දිනෙක

නුඹලා දකිනු රිසියෙනි


 මේ සිටින්නේ සයිබීරියානු ස්ටෝන්චැට් විහඟ මහතා ය. ඒ මහතාගේ මැතිණිය අපි නුදුටුවෙමු. විහඟ සංක්‍රමණ සංචාර ඇරඹී ඇති බැවින් අපිදු කාර්යය බහුල වී සිටිමු. පසුගිය දා ලංකාවේ පළමු වරට වාර්තා වූ විහඟ යුවලක් කෙරවලපිටියේ සිටින බවට ලද තොරතුර මත එහි ගිය ද අපට ඔවුන් මුණ ගැසුනේ නැත. කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා.

 ඉතිං අපට ඒ යුවල මුණ නොගැසුණත් මේ පුංචි දඟ විහඟ හමුවිය. දැනට ලංකාවේ වාර්තා වෙලා තිබෙන්නේ 4 වාරයක් වැනි සුළු ප්‍රමාණයක්. සෑහෙන පිරිසක් වට වෙලා, විවිධ වර්ගයේ විවිධ ප්‍රමාණයේ කැමරා මානාගෙන ඉන්නා හැටිය යස ප්‍රබෝධයක් ගෙන ආවා වාගෙයි එයාගේ හැසිරීම එදා. ඒ පඳුරු මුදුනින් මේ පඳුරු මුදුනට! බිමට! කම්බි තුඩක් උඩට! නැවතත් පඳුරු මුදුනකට! හරියට ‘මෙහෙම හොඳයි ද? මෙහෙමත් හොඳයි නේ ද? මෙහෙමත් එකක් ගනිමු නේ?‘ කියලා අපෙන් අහනවා වගේ. අපිත් ඉතින් එයා කියන කියන විදිහට ශටර් කවුන්ට් එක සට පට හඬින් වැය කරමින් සිටියෙමු.

 සයිබීරියානු ස්ටෝන්චැට් එහෙමත් නැත්නම් ආසියානු ස්ටෝන්චැට් (Saxicola maurus)... එයාට එහෙම නම ලැබෙන්නේ තිරිවානා කැට දෙකක් එකිනෙක ගැටීමෙන් නැගෙන හඬ හා සමාන හඬ කොටසක් එයාගේ නාදයේ තිබෙන නිසයි. උවමනා නම් වෙබ් සර්ච් කර හඬ හොයාගෙන අහන්න ඔයාලට පුළුවන්.

 එදා දවසේ ඒ භූමිය පුරා සැරි සරපු එයා පසුදා හිටියේ නැහැ.

 කුරුල්ලෝනේ! පියාපත් ඇත්තෝ නේ! එහෙම හිතන්නයි අපි කැමති. එයාලා කොහේ හරි යහතින් ඉන්නයි උවමනා. ඒත් මෙයාගේ තිබුණු කුලෑටිකම අඩු සැහැල්ලු හැසිරීම නිසා හිතේ කුකුසක් නැතුවා ම නෙමෙයි






සිසිර අයාලයා: සාමාන්‍යයෙන් සිසිරය එළඹෙද්දි සංක්‍රමණය අරඹන කුරුල්ලන්ට නිශ්චිත ගමනාන්ත ඇත. ඒ වගේ ම අයාලේ යන අය ද නැත්තේ නොවේ. ඒ සඳහා විවිධ හේතු තිබේ. සමහර කෙනෙක් රංචුවෙන් මග හැරෙන්න පුළුවන්. තව කෙනෙක් කෙලින් ම ගමනාන්තය නොගිහින් තැන් තැන් වල සැරි සරා ගමනාන්තයට යනවා වෙන්නත් පුළුවන්. මග වැරදුණු කෙනෙකුත් අහම්බෙන් හෝ ඉන්නත් පුළුවන්.

Photos taken : October 2022

Wednesday, May 10, 2023

688 - ඉල්ලංකෑමේ ජාතකය - තොරණේ විස්තරය...



ශ්‍රද්ධාබර බැතිබර සැදැහැවත් සුපින්වතුනි..

අද මේ දෙදහස් විසිතුන්වන වසරේ වෙසක් මස නමවන කුජදින ගාලුමුවදොර ආසන්නයෙහි  භෛර වාපී ඉවුර අසබඩ ඔබ වෙනුවෙන්ම ප්‍රදර්ශනය වන්නාවූ දැවැන්ත මහා තොරණ් රාජයාගෙන් නිරූපණය වනුයේ සාම්ප්‍රදායික පන්සිය පණස් ජාතකයන්ට එකතුවූ නවතම ජාතකයයි...එනම් ඉල්ලං කෑමේ ජාතක කථා වස්තුවයි.....


ඉල්ලංකෑමේ ජාතකෙ තොරණෙ විස්තරේ අහන්න,
අයිය අක්ක මාම නැන්ද ඔක්කොම මේ ලඟට එන්න..

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,

ඔන්න පින්වතුනි, පලවෙනි කොටුවෙන් පෙනෙන්නෙ නාකි මෛනගෙ ගෝලබාලයෝ මැයි නම වෙනිද උදේ මෛනගෙ අරලිය මැදුරට රැස්වී කාල බීල ජොලි කරනව...රට පුරා ආන්ඩු විරෝදී උද්ගෝසන වැඩි වෙනකොට ගොට්ට මල්ලි හිතුවෙ අනික් ඔක්කොම බිල්ලට දීල හරි මම බේරෙන්නම්ය කියල..ඒ කරල මෛනටත් කිව්ව අගමැති කමෙන් ඉල්ලා අස්වෙන්යට කියල..මෛනා අකමැත්තෙන් උනත් ඒකට කැමති උනා..

ඒත් ඊට පස්සෙ උගෙ ගොං පුතාලයි කසිප්පු ජොන්ටියයි තව ඔය අර පුත්තං බූරුවයි වගෙ රස්තියාදුකාර මැරයො එක්ක එකතුවෙලා මෛනා යටිං ගේමක් ප්ලෑන් කලා. එදා මැයි නම වෙනිද උදේ මෛනගෙ ගෝල බාලයො පක්කලියො ඈත ගම්නියම්ගම් වලින් පවා බස් වලින් පටවාගෙන ඇවිත් මෛනට කිව්වෙ මෛනෝ උඹ ඉල්ලා අස්වෙන්ට එපා..දිගටම කාගෙන ඉඳහන් කියලයි..මෛනා කලින්ම ගේම ප්ලෑන් කලෙත් එහෙමයි..ඒ මැරයො උසිගන්නල මෛනාගෝගමයි ගෝටාගෝගමයි ඉන්න අරගලකාරයින්ට ගහල පැන්නුවම ප්‍රස්නෙ ඉවරයි..ඊට පස්සෙ පහුවදා ඉඳල ආයෙත් උංට ඕන විදිහට රට පාලනේ කොරන්ට පුලුවෙනිය කියල..

බලන්න පින්වතුනි සසර පුරා පැවත එන අධික තණ්හාව සහ ඉහවහ ගිය බල ලෝභය හින්ද  අල්ලජ්ජි නාකි මෛනා මේ කරපු විනාසය..


ඉල්ලා අස්වෙනව කියලා පොරොන්දු නං උන මල්ලිට,
නමුත් උඹල කියනවනම්  ඉන්නම්කෝ  මම  දිගටම,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


අන්න පින්වතුනි දැං අපි ආවා දෙවෙනි කොටුවට..ඒකෙන් පෙන්නන්නෙ මයිනාගෝගම බොහොම සාමකාමී විදිහට විරෝධතාවයේ නිරත වෙලා උන්නු අරගලකාරීන්ට නාකි මෛනාගේ කාලකන්ණි මැරයින් අමානුෂික ලෙස පහරදෙනව..පොලු තමයි බොහෝවිට යොදාගන්නෙ..මේ දරුණු ප්‍රහාරය හමුවේ මුහුණ දිය නොහැකි නිරායුධ අරගල කරුවන් හිස් ලූ ලූ අත පලායනව...

අනේ බලන්න පිංවතුනි මෙහෙම අහස පොලව නුහූලන අපරාධයක් සියැසින් දකින්න තරම් ඔබත් මමත් පූරුවෙ කොපමණ පවක් කරල තියෙන්න ඇත්ද? ශෝචනීයයි පිංවතුනි..ඉතාම ශෝචනීයයි..


රට පුරාම ඉඳල ආපු පොහොට්ටුවේ දස බල්ලෝ,
පොලු අරගෙන කොනක ඉඳල නෙලුවෙ වගේ යම පල්ලෝ,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


ඔන්න පින්වතුනි ඊලඟට තමයි අපූරුම සිදුවීම වෙන්නෙ..ඒ කියන්නෙ ගෝල් පේස් එකේ මේ වගෙ මහා  අපරාධයක් සිද්ධ වෙනව කියන ආරංචිය රටපුරාම ලැව්ගින්නක් වගේ පැතිරිලා යනව..

එතකොට ගෝල් පේස් අවට ආණ්ඩුවෙ කාර්යාලවල සේවක සේවිකාවො, රෝහල්වල කාර්ය මන්ඩලය, ඒ එක්කම බස් වලින් තමන්ගෙ අනේක රාජකාරි කරගන්ට කොළඹට එමින් හිටි පොදු ජනතාව, එතකොට බේරේ අවට වාසය කරන ජනතාව "අන්න අපේ එවුන්ට ගහනව..යමල්ල යන්ට එතනට ඔවුන්ට හොඳ වැඩක් කරමු...එහෙම කොහොමද පොහොට්ටු කාලකන්නි ඇවිල්ල කොළඹ පාට් දාන්නෙ?" කියල අතට අහු උන අහු උන පොලු කෑල්ලක් හරි කමක් නෑ අරගෙන ගෝල් පේස් එකට දුවගෙන එනව..ඒ අති උද්වේගකර අවස්තාව තමයි පිංවතුනි ඊලඟ කොටුවෙන් පෙනෙන්නෙ..


අපේ එවුන්ටයි ගහන්නෙ පොහොට්ටුවේ කාලකන්නි,
යමව්  ගෝල් පේස් එකට ගලවන්නට උංගේ රෙදි,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


අනේ කියන්නත් කණගාටුයි පිංවතුනි..මෛනගෙ මැරයො තුං හිතකිංවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ...උං හිතුවෙ ඔය ඉන්න කොල්ලො තිහ හතලිහට නකතං වෙන්ට නෙලල ..පොලීසියෙං බයවෙන්ට දෙයක් තිබ්බෙත් නෑ...මෛනා කලින්ම කියල තිබ්බ පොලිස් ලොක්කා දෝසබිංදුවට මයෙ කොල්ලන්ට අතක්වත් තියනව එහෙම නෙවෙයි කියල..

ඉතිං පොහොට්ටු කාලකන්නි හිතුවෙ කොල්ලන්ට අම්බානක නෙලුව..කූඩාරං ගිනි තිබ්බ..ඒ එක්කම ආව වගේම විසිරිල ගියා..කිසි කෙනෙක් දන්නෙ නෑ මොකක්ද උනේ කියල..ඒත් කියන්ට සෝචනීයයි පිංවතුනු වැඩේ වැරදුනා..හතර අතිං ආපු මහ සෙනඟට මැදිවෙච්චි පෝට්ටු මැරයො හරියට කොටියගෙ කටටම අහු උන මුව පැටවෙක් වගේ අසරණ උනා..දැං ඔය ඊලඟ කොටු තුනේ පෙනෙන්නෙ පෝට්ටු මැරයින්ට අත්වුනු අති සෝචනීය ඉරණම..ගුටි කෑම..රෙදි ගැලවීම සහ බේරේ වැවේ ජල ක්‍රීඩාව..


කට්ටියකගෙ රෙදි ගැලවුන..තවත් මැරයො ගුටි කෑවා..
බේරෙ වැවේ දිය කෙලින්ට තවත් අයට සිද්ද උනා..

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං


ඔන්න පිංවතුනි අන්තිමට සිද්ද වෙච්චි දේ..නම්බු පිටිං ඉල්ලා අස්වුනා නම් නාකි මෛනට දෙයියනේ කියල ආයම චාන්ස් එකක් ගන්ට තිබ්බ..හැබැයි ඒ යකාගෙ අසීමිත බල ලෝභය හින්ද තමංගෙ ගෝල බාලයින්ටත් කෙලවල එදා රෑම මෛන තිරිකුණාමලේට ගිහිල්ල හැංගුනා..


ගෝල බාලයො කැන්දල යස කෑමක් උංට දීල,
මෛන ගිහිං වහං උනා  ට්‍රිංකො නේවි කෑම්ප් එකේ,

රකට ටකට ටකට ටකං,
ටං ටං ටං ටකිටු ටකං,


ඉතිං දයාබර පිංවතුනි ඉල්ලං කෑමේ ජාතක කතා වස්තුවේ විස්තරය මෙතෙකින් සමාප්තයි..චිත්තප්ප්‍රීතියෙන් යුතුව සැදැහැසිතින් තොරණේ විස්තරේට සවන් දුන් ඔබ සැමට ස්තූතියි..

මෙම මහා තොරණ් රාජයා මින්පසු සෑම වසරකම මැයි මස නවවන දින ප්‍රදර්ශණය කිරීමට බලාපොරොත්තුවන බැවින් ඒ සඳහා ඔබට හැකි පමණ ආධාරයක් කරන මෙන් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් කරුණා සිත් පෙරදැරිව ඉල්ලා සිටිමි. 

ස්තූතියි!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...