Wednesday, November 16, 2011

60. දොන් නන්දසිරි .......නොහොත්.......





දොන් නන්දසිරි....දොන් නන්දසිරි විජේවීර........නොහොත් ලොව පුරා ප්රසිද්ධ වූ ලෙස රෝහණ විජේවීර

ලාංකික දේශපාලනයේ පෙර නොවී වීරූ පෙරළියක් කල, නව දේශපාලන සංස්කෘතියක් අපට හඳුන්වාදුන් අසමසම පුද්ගලයෙක්,.....මේ හැඳින්වීමම විවාදාත්මක බව මම හොඳින්ම දනිමි.....ඒ සමඟම විජේවීර කියන පුද්ගලයා පිළිබඳව අපක්ෂපාතව කල්පනා කරන ඕනෑම යතාර්ථවාදියෙක් මා සමඟ එකඟ වේ කියා ද මම සිතමි.

1971.......බලයේ සිටින රජයක් පෙරලා දැමීමට උත්සාහ කල විප්ලවවාදීන් පිරිසකගේ ආයුධ සන්නද්ධ අරගලයක අත්දැකීම ප්රථම වරට ලාංකිකයින්ට විඳීමට ලැබුණු කාල වකවානුව......

කාල තුවක්කු, මැෂින් තුවක්කු සහ ගුවනින් බෝම්බ හෙලීම් වලට එරෙහිව ගෘහ කර්මාන්ත ලෙස නිපැයුණු ටින් බෝම්බ සහ අත් තුවක්කු වලින් සටන් වැදුනු හිරිමල් යොවුන් තරුණයින් කණ්ඩායමක්...ඔවුන්ගේ නිශ්ඵල උත්සාහය අමන එසේම කළුගලේ ඔලුව ගසා ගැනීමකැයි එක් අර්ථ කථනයක් ...ඔව්, සර්ව සාධාරණ අර්ථ කථනයක් නිසැකයෙන්ම..........අනෙක් අතට ලෝකය ඉදිරියට යන්නේ කළුගල් දෙස බලා කිසිවක් නොකොට ඉවත ගිය මිනිසුන්ගෙන් නොව සිදුවන දේ දැන හෝ නොදැන කළුගලේ හිස ගැසූ මිනිසුන් නිසාමය.

ඔවුන් එක් අර්ථයකින් මෝඩයින් වනවා සේම තවත් අර්ථයකින් පුරෝගාමීන් ද වේ.1971 අප්රේල් කැරැල්ල නමින් හැඳින්වුණු තරුණ නැඟිටීම මර්දනය කිරීමෙන් අනතුරුව එහි ප්රධාන සැකකරුවන්ට විරුද්ධව පැවැත්වුනු නඩු විභාගය පිළිබඳව පුවත්පත් වල පලවූ වාර්තා එකල කුඩා දරුවකුව සිටි මම බොහෝ උනන්දුවෙන් කියවීමි.එහි අවසන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ විනිසුරු මඩුල්ල අමතා විජේවීර කල කථාව එකල මට එතරම් වැටහීමක් නොවූ නමුදු කරුණු වැටහෙන වියට සපැමිණි කල දැඩි ආශ්වාදයක් ගෙන දුන්නේය.

/ අන්න ඒ නිසා මේ සියළු දුර්භාග්යයන්ගෙන් තොර , මිනිසාට අද මෙන් තිරිසනකු මෙන් නොව ,මිනිසාට මිනිසකු මෙන් ජීවත් වීමට ඉඩ සලසන මාවත් විවෘත කරන, ඔහුට සතුට සැපත හා සෞභාග්ය උදා කරන ,පෞද්ගලික දේපළ ක්රමයකින් තොර , මිනිසකු විසින් මිනිසකු සූරා කෑමෙන් තොර , සතුරු පංති බෙදීමකින් තොර , නව සමාජ ක්රමයක් ගොඩ නැගීම සඳහා ක්රියාකාරි වීමට අපට සිදු වී තිබේ.” /

උපුටා ගැනීම -
වඳින්නට හෝ බනින්නට නොව
- ඇට මැස්සාගෙ අඩවිය

1989 ධවල භීෂණය යනු කුමක්දැයි යන අවබෝධය අත් විඳීමට ශ්රී ලාංකිකයින්හට සිදුවූ දුර්භාග්යමත් සමය.....රටම අරාජිකව එක් රජයක නොව රජයන් දෙකක අණසක යටතේ දිවිගෙවීමට සිදුවූ ඒ සමය.....එකල දඹදිව විශාලා මහනුවර පැවතියායයි පැවසෙන දුර්භික්ෂ සමය පිලිබඳ පොත පතින් කියවූදේ ඇස් පනාපිට දකින්නට තරම් අප අවාසනාවන්ත වූ සමයක්.

මේ සියලු බරපැන විජේවීර පිට පවරා දෑත් සෝදා ගැනීමට බොහෝ දෙනෙකු කැමැත්තේ නමුදු ඒ එතරම් පහසු නැත.එකල සිදු වූ ඝාතන, මහජන දේපල විනාශ කිරීම් වලට වග කිව යුත්තේ කවුරුන්ද යන්න පහසුවෙන් තීරණය කල නොහැකි තරමට වාතාවරණය වියවුල් සහගත විය.කවුරුන් කුමක් කරන්නේදැයි කිසිවෙකු දැන නොසිටියෝය.මේ කිසිසේත්ම විජේවීර සර්ව නිර්දෝෂී කිරීමේ අරමුණින් පවසන්නක් නොව ඇත්ත ඇති සැටියේ පැවසීමක් පමණි.

ජේ. ආර්. ජයවර්ධන මහතා ගත් රටේ විනාශයට හේතු වූ තීරණ රාශියක් අතර මගේ මතය අනුව ප්රමුඛස්ථානය දියහැකි තීරණ තුනකි.

1. ද්ර.එ.වි.පෙ. පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම මෙමඟින් ඔහු ජන වාර්ගික අර්බුදයට සාමකාමී විසඳුමක් කරා ළඟා විය හැකි අවසන් අවස්ථාව අහිමි කර ගත්තේය.

2. 1982 වසරේ මැතිවරණය කල් දැමීමට පැවැත්වූ කුප්රකට ජනමත විචාරණය ප්රපජාතන්ත්ර ප්රවාහයට පිවිස සිටි ජ.වි.පෙ කිසිදිනක රජය තමන්ට ජනතා නියෝජනයක් ලබාගැනීමට ඉඩ නොදෙන බවට තමන් තුල වූ හැඟීම මින් ස්ථිර කර ගත්තේය.

3.1983 කළු ජූලිය ආයුධයක් කොට ගෙන ජ.වි.පෙ. තහනම් කිරීම.මින් සිදුවූ විනාශය සුලු පටු නොවේ.

ජ.වි.පෙ.රට පුරා ඇතිකල භීෂණය පිලිබඳ පුවත්පත් කලාවේදියකු නැඟූ පැනයකට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ( මේ අවස්තාවේ නම මතකයට නො ඒ ) දුන් පිළිතුර මෙසේය " මනුස්සයෙක්ගෙ අතපය බැඳල ළිඳකට දාල ඒ මනුස්සය මරු විකල්ලෙං ජීවිතේ බේර ගන්ඩ දඟලනකොට ඕයි තමුසෙ මොකෝ ඔය ළිඳ බොර කරන්නෙ? කියල අහනව වගේ ප්රශ්නයක්නෙ ඔයා ඔය අහන්නෙ"

මුඛරිකම සහ අවස්ථාවාදය පමණක් උරුම කරගත් පසු කාලීන ජ.වි.පෙ. නායකයෙක් පැවසුවද එහි යම් ගත යුත්තක් ඇති බව මගේ හැඟීමයි.

කිසිම වැදගැම්මකට නැති තුට්ටු දෙකේ දේශපාලනඥයින්ගේ ජීවිත කථා ලියවෙද්දී විජේවීර පිළිබඳව ඔහුගේ හැකියාවන් මෙන්ම දුර්වලතා පිළිබඳවද පූර්ණ විශ්ලේෂණයක් මෙතෙක් නොවීම කණගාටුවට කරුණකි.

************************************

විජේවීර මියගොස් නොවැම්බර් 13 වන දාට වසර 22 සපිරුනි.

12 comments:

  1. අපොයි මට නම් බෑ දේශපාලනේ ගැන කියවන්ට. මම දේශපාලනේට තරයේම විරුද්ධයි...:D

    ReplyDelete
  2. "කිසිම වැදගැම්මකට නැති තුට්ටු දෙකේ දේශපාලනඥයින්ගේ ජීවිත කථා ලියවෙද්දී විජේවීර පිළිබඳව ඔහුගේ හැකියාවන් මෙන්ම දුර්වලතා පිළිබඳවද පූර්ණ විශ්ලේෂණයක් මෙතෙක් නොවීම කණගාටුවට කරුණකි."

    ඕක ලියවුනත් ඒක ලියන උන් කරන්නෙත් උන්ට ආයේ පාරක් විජේවීර විකුණගෙන ඉහලට යන්න පුළුවන්ද කියලාබලන්න විතරයි.. ඒ හින්දා දැන්මනං හරි විදියේ කියවීමක් විජේවීරට ලැබෙයිද මංදා..

    එක අතකින් අළුතින් හිතන්න එක්තරා කොටසකට උගන්නපු ගුරුවරයෙක් උනත් අනිත් පැත්තෙන් සමාජයට ලොකු පිළිලයක් උන මනුස්සයෙක්...මේ මගේ කියවීම...

    ReplyDelete
  3. @ පොඩ්ඩි,

    දේශපාලනයට විරුද්ධ උනාට වැඩක් නෑ පොඩ්ඩි, අපි ගන්න හුස්ම පොදක් ගානෙ තියෙන්නෙ දේශපාලනය...අපිට ඒකෙන් ගැලවෙන්න බෑ.

    ReplyDelete
  4. @ චතුෂ,

    එකඟයි මලේ....අවසානෙදි විජේවීර රටටම පිළිලයක් උනා...ඒත් අන්තිම කාලෙ ඇත්තටම උනේ මොකක්ද කියල අපි කවුරුත් දන්නෙ නෑ....මිනිස්සුන්ගෙ ඉරණම කියන එක වළක්වන්න බෑ.....විජේවීරගෙ ඉරණම තමයි ඔය....

    ReplyDelete
  5. මට නම් ඔහු ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්.
    කිව්වත් වගේ අනිත් මිනිසුන්ට නොපෙනුනු දෙයක් එයා අස්සේ තිබුනා. මනුශ්ශයෙක් විදියට අගේ කරන්න බොහෝ දේ ඔහු ළඟ තිබුනා. අර අන්තිම කාලේ මාධ්‍ය වලින් මවපු කෙනා නම් නෙමෙයි ඔහු කියලා මට විශ්වාසයි. ඊට පස්සෙ පක්ශ දේශපාලනයෙන් ආව හෙන්චයියලා ටික ඉතුරුවෙලා තිබ්බ මනුශ්ශයාවත් විනාශ කලා.

    ReplyDelete
  6. මම මේ මෑත කාලෙකදි බැරි බැරි ගාතෙ කියෙව්ව.... සති අන්ත පත්තරේක තිබුන එයා ගැන ලිය උන ලිපි වගයක්...එයාව අල්ලගත්ත හැටි..මරපු හැටි දක්වා....ඇහින් දුටු කෙනෙක් ඒ තොරතුරු පිටට දීල තිබ්බෙ..මට විශ්වාසයි ඔයත් මේක දැක්ක කියල....මගෙ හිතේ මහා වයිරයක්,පිළිකුලක් ඇති උනා..''ඒ මිනිස්සු'' ගැන..............................මම දේශපාලනේ ගැන නම් කිසිම දෙයක් දන්නෙ නැහැ...ඒත් ඉස්සර ලංකාවෙදි අපේ තාත්ත නම් කිව්වෙ...''වඳුරො එනවා..පස්සෙ රිළව් එනවා..ඒත් දෙගොල්ලොම කරන්නෙ කාල යන එක..'' කියල.....අනේ මන්ද......

    ReplyDelete
  7. A book about Lional Bopage is out.
    Check at Vijitha Yapa.

    http://efacmemories.blogspot.com/2011/11/rebellion-repression-and-struggle-for.html

    Hopefully, this book will have a lot of Wijeweera as well.

    ReplyDelete
  8. විජේවීර ගැන මගේ මතයත් ලංකාවෙ ඉදිරිගමන මදකින් හෝ පස්සට දාපු පිළිලයක් කියලා තමා................

    89 භීශනය එතකොට කොලුගැටවු වුන අපිට ආශ්වාදයක් උනාට පහුකාලීනව රැකියාව උදෙසා දකුණු පලාතේ ජීවත් වෙනකොට ආස්‍රය කරපු මිනිසුන්ගෙ කතා ඇහුවම ඔය දේට මුල් වුන අය ගැන මහ කළකිරීමක් ඇති උනේ.
    ඒ වගේම ව්‍යාපාරිකයො වෙච්ච අපි අත්දැක්කා මිනිස්සු කෑම බීම ගන්න වින්ද දුක පෝලින් ගානෙ හිටගෙන. මොකක්ද ඇති ඵළය?

    ReplyDelete
  9. 71 මම වයස 18 ක කොලු ගැටයෙක්, මගේ මිතුරන් කීප දෙනෙකුම කැරැල්ලට සහභාගී වුනා. එයින් දෙන්නෙක් විජේවීර බේරගන්න යාපනේ හිර ගෙදරට ප්‍රහාරයක් එල්ල කරන වෙලාවෙ පොලිසියට කොටුවුනා.
    එයින් එක්කෙනෙකුගේ ඥාති සම්භන්ද කම් වගයක් නිසා දෙන්නම පොලිසියෙන් හමුදාවෙන් මැරුම් නොකා, දීර්ඝ කාලයක් කඳවුරු වල ලැග්ග. තව එක්කෙනෙක් ගුවන් හමුදා භටයෙක් ඒ කාලේ. කටුනායක ගු.හ. කඳවුරේ වතුර ටැංකියට වස දාන්න යනකොට අහුවුනා කියල ආරංචි වුනා. එයත් මැරුම් නොකා කොහොම හරි බේරුනා. මම දැනගෙන හිටිය එක්කෙනෙක් වත් අහු වුනාට මැරුම් කෑවෙ නැහැ. ඒ වුනත් 71 තරුණයෝ දහස් ගානක් මැරුම් කෑව.

    80 ගණන් වල අග හරියෙ භීෂණ සමයෙ තමා, භීෂණය හරියටම අත් දැක්කෙ. ඒ වකවානුවෙ මම වැඩ කලේ ලංගම අලව්ව ඩිපෝවේ . විස්තර වෙලාවක පොස්ට් එකක් හැටියට ලියන්නම්, මටත් ජීවිත තර්ජන එල්ල වුනා, හැබැයි ජ.වි.පෙ. න් නෙමේ. ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න එන්න අවස්තාව ලැබුන වෙලාවෙ, දෙපාරක් හිතන්නේ නැතුව එන්න තීරණය කිරීමට ප්‍රධාන හේතුවක් වුනා ඒ ආව තර්ජන.

    ReplyDelete
  10. විජේවීර ලාංකීය දේශපාලන, සමාජීය ඉතිහාසයෙ අයිකන් එකක්. ඔහුට වරදින්න ඇති ඒත් ඒ නැඟී සිටීම එදා ලාංකීය සමාජය ඉල්ලා සිටිය එකෙක් නෙමෙයි නම් පරාජයක් නළලේ කොටාගෙන හරි නැඟීසිටීමක් වෙන්නෙ නෑ මොකද මහජන සහයෝගයකින් තොරව දේශපාලන කුමත්‍රණයක් මිසක් ජනතා කැ‍රැල්ලක් සිහිනයක්ම විතරක් නිසා.

    දේශපාලන වාසි තකා ඉතිහාසය විකෘති කිරීමේ මහා වැ‍රැද්ද නිසා විජේවීර අද මිණීමරුවෙක්.

    ReplyDelete
  11. @ Il mondo di una povera pazza

    @ වින්චැට් කිරිල්ලී,

    @ නිශ්,

    @ Observer,

    @ නවම්,

    ස්තූතියි ඔබ සැමගේ අදහස් දැක්වීමට, මගේ මතය විජේවීර කියන්නෙ එනිග්මා එකක් කියලයි, The most enigmatic personality in sri lankan politics todate.

    ReplyDelete
  12. @ කතන්දර,

    ස්තූතියි කතන්දර ....කියවන්නම ඕන පොතක්,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...