Tuesday, May 14, 2013

186. කිරුළ සහ සෙනෙහස…..


මම කාලෙකට ඉස්සර ලිව්ව කතාවක් මේ. පොඩි කුමාරිහාමි වියුණුවේ පලවූ විජය සහ කුවේණි කතාවට මගේ ඌණ පූර්ණය විදිහට.ඒ කතාව මම එදා ඉවර කලේ නෑ. තව දිගට ලියන්ට ඉඩ තියාගෙන කතාව නතර කලා.මේ ඒ කතාවට සංශෝධන කීපයක් එකතු කරල අලුතෙන් ලියපු කතාව.. 

අපේ ඉතිහාසයෙ පුරුෂයින් සම්බන්ධව බොහෝ දුරට අගතිගාමී විදිහටයි ලියවිල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ. මේ විජයගෙ කතාව මට හිතෙන විදිහට. 

පොඩ්ඩි..බොහොම ස්තූතියි. ඔයාගෙ වියුණුවෙ ලියාපු සටහන් වලට ප්‍රතිචාර විදිහට තමයි මා අතින් බොහොමයක් රසවත් කතා ලියවුනේ. වියුණුවක් ලියන්නට පටන් ගත් මුල්ම කාලෙ ඒ සටහන් වලට ලැබුණු හෘදයාංගම ප්‍රතිචාර මෙතෙක් දුරක් ආ ගමනට සවිමත් අත්වැලක්වූ බව අනිවාර්යයෙන් කියන්නම ඕන...ආයෙමත් ස්තූතියි පොඩ්ඩි...:) 

****************************************************

මධ්‍යම රාත්‍රිය ඉකුත්ව හෝරාවකට ද මඳක් අධික කාලයක් ගෙවී ගොස් තිබුණද, ලංකාපුරයේ රාජ මාළිගයේ ඇතුළු ගැබෙහි කැකුණ තෙල් විලක්කු දැල්වී තිබුනේ රාජ සභාව තවමත් රැස්ව ඇති බැවිනි. 

ආරෝහ පරිණාග දේහයෙන් යුතු පුරුෂයකු දෑත විදාහල කල්හි අතැඟිලි අතර වූ දුර ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ දිගකින් සහ ඉන් තවත් තුනෙන් එකක් පමණ උසකින් යුතු වූ හුණුගල් සහ බොරළු මුසු අඳුරු කසාවන් පාෂාණ පදම් කොටගත් හුඹස් මැට්ටෙන් කුස්තුර කවා බැඳගත් මාළියගෙහි රළු බිත්ති හුණු කපරාරුවෙන් ආවරණය නොවීය. 

තවමත් ළදරු අවදියෙහි පසුවන ලංකා රාජ්‍යයෙහි චිරස්ථිතිය උදෙසා ඉටු කල යුතු වෙනත් ඉතා වැදගත් බොහෝ කාර්යයන් අතරේ සුව පහසු ශ්‍රී විභූතියෙන් පිරි මාළිගයක් ඉදිකිරීම විජයගේ සිතෙහි කිසිවිටෙක ප්‍රමුඛස්ථානයක් නොගත්තේය. 

පිටිනුවර ලෝකුරුවන් විසින් කිහිරඟුරු මතුයෙහි තලා නිමැවුනු අයෝමය විලක්කු රඳවන අඳුරුවන් බිත්තියෙහි පියවර සොළොසකට ආසන්නවූ පරතරයෙන් සවිකොට තිබූයේ පුරුෂයකු අත පොවන මානයේය. ඒ උස ප්‍රමාණය එසේ වූ හේතුව ඔබට පැහැදිලි ඇතැයි හඟිමි මා ප්‍රිය සහෘදය / සහෘදිනිය. 

ඒ අයෝමය ධාරකයන්හි රැඳි විලක්කු වලින් නික්මුණු මලානික ආලෝකය විසල් රාජ සභාවෙහි දසත පැතිරගත් අඳුරු සෙවණැළි එක පැහැර දුරු කිරීමට සමත් වූයේ නොවේ. 

එහෙත් විජය හෝ සොළොස් දෙනෙකුගෙන් සමන්විත ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් හෝ ඒ පිළිබඳව කිසිදු තැකීමෙක් නොකළෝය.සන්ධ්‍යා සමයෙහි හිරු බැස යාමටද ප්‍රථම රැස් වූ රජ සභාව තීරණයකට එළඹිය නොහැකිව මේ ගත කරනුයේ දසවන හෝ එකොළොස්වන හෝරාව විය යුතුය. තීරණයකට එළඹීම උගහට වූයේ හුදෙක් අමාත්‍ය මණ්ඩකයේ බහුතර මතයට එකඟ වීමට විජය ප්‍රතික්ෂේප කිරීම හේතුකොටගෙනය. 

සිහසුන් අරා හුන් විජයගේ ගතට දැනුනේ අපමණ විඩාවකි. ඊටත් වඩා ඔහුගේ සිත පිරී තිබුනේ තියුණු සැතකින් ඇඟ මස කීතු කීතු ඉරාලන්නාක් මෙන් වූ දැරිය නොහැකි වේදනාවකිනි. 

" රජතුමනි, මේ කාරණය පිළිබඳව අප හෙට පහන් වන තුරු සාකච්ඡා කලද කිසිම පලක් නොවන බව තව හෝරා කිහිපයකින් හිරු පායා එන්නේ යම්සේද එලෙසම ස්ථිරයි. එලෙසම පැහැදිලියි. අපගේ තීරණය කිසිම ලෙසකින් වෙනස් නොවන බව නැවත වරක් මතක් කිරීමට මට අවසර. ඔබතුමා අනිවාර්යයෙන් මදුරාපුර රජ කුමරිය හා විවාහ විය යුතුමයි," 

හිස ඔසවා අනුරාධ දෙස තම විඩාබර දෑස යොමුකල විජය නැවත වරක් හිස පහත් කොට රාජත්වය සංකේතවත් කල පේරැස් මුද්ද මැදගිල්ලේ පැළඳි සුරතින් සිය පුළුල් නළලත සෙමෙන් පිරිමදින්නට විය. 

සොළොස් දෙනෙක් ගෙන් සමන්විත ඇමති මණ්ඩලයේ විජයගේ කුළුපඟම ඇමති වරයා වූ උපතිස්ස දෙස විජය අසරණ වූ දෑසින් යොමු කල බැල්මට උපතිස්ස පිළිතුරු දුන්නේ තොල් තදින් පියාගත් මුවින් යුතුව සෙමින් හිස දෙපසට සැලීමෙනි. 

කිසිදු බලාපොරොත්තුවක් ඉතිරිව නැති බව පසක් කල විජය සිහසුනෙහි සෘජුව හිඳ ආයාසයෙන් මවාගත් ගැඹුරු හඬකින් රාජ සභාව ඇමතීය. 

" මා හිතවත් ඇමති වරුනි, රටේ ජාතියේ යහපත පිණිස හිතට කිසිසේත් එකඟ නොවන, එසේම හෘදය සාක්ෂිය කිසිසේත් අනුමත නොකරන තීරණ ගතයුතු වන බව මාපිය සිංහබාහු රජතුමා වරක් පැවසූ බව මේ මොහොතේ මා සිහියට නැඟේ. එහෙත් එය මෙතරම් අසීරු බව මම සිහිනෙනුදු නොසිතුවෙමි.වන්නාටය, සියල්ල සිදු වන්නේ දෛවයේ නැතහොත් ඉරණමේ ලියවී ඇති පරිදිය. මළ පුඩුවක බැඳුනු මුව පොව්වකු වරපටින් මිදෙනු උදෙසා කොපමණ තැත් දැරුවද උහු තවත් තදින් පාශයෙහි බඳෙනු විනා කිසිදු ගැලවුමක් නැති. මේ මගේ කර්මය නම් ඊට එරෙහිව මා කුමක් කරන්නද? හිස නමා මම එය පිළිගනිමි. රාජසභාවේ කැමැත්ත පරිදි කටයුතු කිරීමට මම තීරණය කලෙමි. බහුතර කැමැත්ත පරිදි කටයුතු කිරීමට බහුතරයට හිස නැමීමට මම තීරණය කළෙමි.ඔබ සැමට ස්තූතියි....මාගේ ඇමතිවරුනි," 

සිහසුනෙහි දෙපස දෑත් රඳවාගැන්ම උදෙසා රන්කම් කොට නිමැවූ සිහ හිස් මත දෑත වාරුකොට නැඟීසිටි විජය හිඳ සිටි අසුන් වලින් එකෙණෙහිම නැඟීසිට හිස් නවාගත්වනම පසුවූ ඇමති මඬුල්ල දෙස නොබලාම, ආයාසයෙන් මවාගත් ගාම්භීර විලාශයකින් රාජසභාවෙන් පිට විය. 

පිටවන අතර ඔහුට පමණක් පෙනෙන අයුරු විජය සුරතින් කල සංඥාව අනුව, තැනින් තැන කාණ්ඩ වශයෙන් එකතුව පහත් හඬින් මන්ත්‍රණයෙහි යෙදෙන අනෙකුත් ඇමතිවරුන් දෙස නෙත් කොණින් නීරීක්ෂනය කල උපතිස්ස ඔවුන් කිසිවකුගේ හෝ අවධානය තමා හෝ විජය කෙරෙහි යොමුව නොමැතිබව තිර කොට ගත්තේ කිසිදු හදිසියක් නොවූ සැහැල්ලු පියවරින් රාජසභාවෙන් පිටවූයේ මාළිගයේ නැගෙනහිර අංගනයේ බිහිදොර අබියස දී විජයට එකතු වූයේය. 

සඳරැසින් නැහැවීගිය රජ මාලිග අංගනයේ නැගෙනහිර අන්තයේ පිහිටි විසල් නුග රුක සෙවනේ පනවා තිබූ ගල් අසුනකට විජය බරවූයේ දිගු සුසුමක් හෙළමිනි. තමන් අසලම අසුන් ගන්නා ලෙස උපතිස්සට සන් කල ඉක්බිති මෙතෙක් එකත්පස්ව පසෙක සිටි හිතවත් ඇමතිවරයාද අසුන් ගති. 

" උපතිස්ස.....මම තීරණයක් ගත්ත.....ඒක හරි, ඒත් ඒක මගෙ හදවතට එකඟව ගත්තු තීරනයක් නෙවෙයි කොහෙත්ම.......උපතිස්සත් ඒක හොඳාකාරවම දන්නව.....දැන් මම ලෑස්තිවෙන්නෙ ඒ තීරණය වෙනස් කරන්න. මට විකල්ප දෙකක් තියනව.එක..... කුවණ්ණා අවාහ කරගෙන රාජසභාව විසුරුවල ඇරල රට පාලනය කරන්න.දෙක..... රජකම අත ඇරල කුවණ්ණයි දරුවොයි එක්ක වන ගත වෙන්න. " 

" හරි දැන් මට උපතිස්ස කියන්න මම මේ විකල්ප දෙකෙන් එකක් අනුගමනය නොකල යුත්තේ මන්ද? අද මේ මොහොතේ මම තීරණයක් ගන්න ඕන.....ඒ නිසා කතාකරන්න උපතිස්ස , කතාකරන්න," 

" රජතුමනි, ලාට රට සිට පිටුවහලුන් සේ නැව් නැඟි දා සිට ඔබගේ සෙවණැල්ලසේ උන් මිතුරා මමයි. තම්බපණ්ණියෙන් ගොඩ බැස කුවණ්ණා කුමරිය මුලින්ම හමු වනවිට ඔබ අසල සිටියේ මමයි. යක්ෂ ගෝත්‍රිකයන් පරදවා ලංකාවම යටත් කරගන්නවිට ඔබ අසල අවි දරා සිටියේ මමයි. එසේම මේ මුළු මහත් ලංකා පුරයේම ඔබගේ හොඳම මිතුරාද මමයි. එහෙත් සමාවන්න, මේ අවස්ථාවේ මට ඔබට උපදෙස් දීමට සිදුවී ඇත්තේ ඔබේ මිතුරා නොව ඔබගේ ජේෂ්ඨතම ඇමතිවරයා ලෙසය. ඒ පිළිබඳව පලමුව සමාව අයදිමි.

විජය නොඉවසිල්ලෙන් අතින් සන්කලේ ඒ පිළිබඳව ගැටළුවක් නැතිබවය. 

විජයගේ වේදනා බර දෑස දෙස එක එල්ලේ බැලීමේ අපහසුව නිසාම උපතිස්ස කතාකලේ සුදුවැලි තලය මත සඳ කිරණ අඳිනා සිතුවම් දෙස නෙත් යොමාගෙනය. 

" රජතුමනි, ඔබගේ විකල්ප දෙකම එක සේ හානිකර බව පහදාදීමට මට අවසර. පළමුවන විකල්පය- ඔබ කුවණ්ණා අවාහ කරගෙන රාජ සභාව විසුරුවා හැර රට පාලනය කිරීම වර්තමාන දේශපාලන තත්වය අනුව කිසිසේත් ප්‍රායෝගික නොවන්නේය.. ඔබතුමා දන්නව අපේ ප්‍රත්‍යන්ත ජනපද වලට විටින්විට යක්ෂ ගෝත්‍රිකයො තවමත් ප්‍රහාර එල්ල කරන බව. ඔවුන් මැඩ පැවැත්වීමට අනිවාර්යයෙන්ම අපිට රාජ සභාවේ ඇමති වරුන්ගේ සේනා බලය අත්‍යාවශ්‍යයයි.ඔබ තුමාට මම අමුතුවෙන් කියන්ට අවශ්‍ය නැහැ, කෙළින්ම ඔබ යටතේ ඉන්නෙ සුළු පිරිසක් පමනක් බව. බහුතර භට පිරිසක් තවම පිළිපදින්නෙ ඔවුන් මෙරටට රැගෙන ආ ඇමතිවරුන්ගේ අණ. ඒ නිසා කොහොමත් ඔබ තුමා අසීරු තත්වයකට පත්වෙන එක වලක්වන්ටම බැහැ. ඊට අමතරව ඔබ ක්ෂත්‍රිය කුමරියක අවාහ කර නොගතහොත් නිළ වශයෙන් ඔබට මෞලි මංගල්‍යයක් පැවත්විය නොහැකියි.......එහි අනිවාර්‍ය ඊළඟ ප්‍රතිඵලය ලංකා රාජ්‍යය ඉන්දියාවේ රජවරුන් පිළිනොගැනීමයි. අමතක කරන්න එපා ඉන්දියාවේ රාජසභා බොහොමයක තවම බලය හිමි බ්‍රාහ්මණ වංශිකයින්ට බව. ඔබ යක්ෂ ගෝත්‍රික කුමරියක විවාහකර ගතහොත් ඔවුන් කිසි දිනක ඔබට සමාවක් දෙන එකක් නෑ. ලංකා රාජ්‍යය තවම ළදරු අවස්ථාවේ පවතින්නක්. මව් රටේ ආධාර නොමැතිව අපට රාජ්‍යය පවත්වාගත් නොහැකි බව සක් සුදක් සේ පැහැදිළියි රජතුමනි." 

මොහොතක් නිහඬ වූ උපතිස්ස දෙනෙත් ඔසවා විජයගේ මුහුණ බැලීය. 

තමන්ගේ අසරණ බව හැඟවීමට අත්ල පිටතට පිහිටන පරිදි දෑත විදහාලූ විජය " හරි ඔය කරුණු ඔක්කොම හරි, උපතිස්ස, දැන් දෙවෙනි විකල්පය.......මම කුවණ්ණා විවාහ කරගෙන රාජත්වය අත ඇරල වන ගත උනොත්............." උපතිස්සගේ දෑස දෙස එක එල්ලේ බලමින් විමසීය. 

" වඩාත් භයානක විකල්පය ඒකයි රජතුමනි......එහෙම උනොත් ඔබ සිව් දෙනාගෙම ජීවිත පවා දැඩි අනතුරකට පත්වෙනවා. ඔබ දන්නවා කැළෑ ගතව සිටින යක්ෂ ගෝත්‍රිකයින් ඔබ සමඟ,ඔබටත් වඩා කුමරිය සමඟ සිටින්නේ බද්ධ වෛරයකින් බව. ඔබ සියළුදෙන ඔවුන් අතින් මරණයට පත් වනවා සිකුරුයි වැඩි කලක් ගත නොවී..." 

" කමක් නෑ උපතිස්ස....ජීවිත කාළයම සිතින් වද විඳිමින් මැරි මැරී උපදිනවාට වඩා මට රුචියි කුවණ්ණයි දරු දෙන්නයි එක්ක සුළු කාලයක් පවා සිත සතුටින් ගත කොට මිය යාම....මම තීරණය කලා හෙට අළුයමට පෙර කුවණ්නයි දරු දෙදෙනයි සමඟ වනගත වෙන්න." 

අසුනින් නැඟී සිටි උපතිස්ස වහා පහත්වී රජුට වැඳ වැටුනේය. 

" රජ තුමනි, මෙතෙක් මම කතාකලේ ඔබගේ ප්‍රධාන ඇමති වරයා ලෙසයි. දැන් මම කතා කරන්නේ ඔබගේ හොඳම මිතුරා ලෙසයි. ඔබගේ තීරණය එයනම් කමෙක් නෑ. මමත් ඔබ සමඟ වනගත වීමට එනවා........ඔබට හිමිවන ඕනෑම ඉරණමක් මටද හිමි වේවා......" 

කඳුළු පිරුනු දෑසින් උපතිස්සගේ දසරුවෙන් අල්ලා ඔහු නැඟිටුවාගත් විජය ඔහු වැළඳ ගත්තේය. 

" උපතිස්ස ඔබ මෙය කලයුතු නෑ උපතිස්ස.මහ ඇමති වශයෙන් ඔබයි ඊළඟට රජකමට පත්විය යුත්තා. ඔබ මා සමඟ පැමිණීමට අවශ්‍ය නෑ සබඳ," 

" නෑ රජතුමනි ඔබ මේ පියවර ගන්නේ ඔබෙ හෘදය සාක්ෂිය සමඟ ජීවිත කාලයක් සටන් කිරීමට ඔබට නොහැකි නිසා සේම මමද මේ පියවර ගන්නේ එම හේතුව නිසාමයි.මටත් මගේ හෘදය සාක්ෂියට විරුද්ධ විය නොහැකියි." 

අංගනය වටා බැඳුනු බඹ දෙකකට ආසන්න උසකින් යුතු ගල් පවුරේ පොළව මට්ටමේ සිට බඹයකට ආසන්න උසෙකින් වූයේ පවුර නිම වූ ඔප මට්ටම් කල ගල් කුට්ටි අතර වූ කුස්තුරයන්ට රිංගවූ අයෝමය මුදුය. ඒ සෑම මුදුවකම රැඳුනේ කැකුණ තෙලින් දැල්වෙනා විලක්කුවකි. පවුරෙහි ඇතුළු පස වූ සලපතල මළුවක් බඳු වූ පෙත් මඟෙහි රාත්‍රි කාලය පුරාම නිරතුරු සක්මනෙහි යෙදෙනා ආරක්ෂක මුර භටයින් වූ නමුදු උපතිස්ස බිහිදොර පියමං කරන්නාහා සමඟම ඔවුන්ගේ නායක විධායක සෙබළා හට පහත් හඬින් කල විධානයක් අනුව මේ වන විට ඔවුහු සියල්ලෝම මාලිගා අංගනයෙන් ඉවත්ව ගොස් සිටි බැවින් පහත් හඬින් මන්තරණයේ යෙදීමක් කිසිසේත්ම අවශ්‍ය නොවූ නමුදු ඔවුහු දෙදෙන කථා කලේ මන්ද ස්වරයකිණි. 

රාෂ්ට්‍ර පාලක රජු සහ ඔහුගේ මහ ඇමති අතර රජ මාළිගාංගනයේ වන සතර කන් මන්ත්‍රණයක් පවා මුර භටයින් ඉවත් කොට කිසියම් මංපැහැරීමක් සැලසුම් කිරීමෙහි යෙදෙනා සොර දෙටුවන් දෙදෙනෙකු මෙන් පහත් හඬින් කලයුතු වීම එදවස ලංකාපුරයෙහි පැවැති අවිනිශ්චිත දේශපාලන තත්වය මොනවට කියා පෑවේය. 

එසේමය. එදවස ලංකාපුරයෙහි පැවතියේ එපමණ අවිනිශ්චිත සහ කිසිදු අයුරකිනුදු පුරෝකථනය කල නොහැකි දේශපාලන තත්වයකි. විජය තම පෞරුෂයෙහි බල මහිමයෙන් රාෂ්ඨ්‍ර පාලකයා වශයෙන් සිහසුන් අරා කටයුතු කලද ඒ කොයි මොහොතේ මහා චන්ඩ මාරුතයකින් ඇද වැටෙන යෝධ වනස්පතියක් මෙන් රාජ්‍ය බලය අහිමිවේදැයි නිරතුරු චකිතයකින් ද පෙලෙමිනි. 

ඊට ප්‍රධාන හේතුව වූයේ විජය සමඟ පැමිණි සෙනෙවියන්, එනම් වර්තමාන රාජ සභාවෙහි ඇමති වරුන් ස්වකීය අණ පමණක් පිළිපදින සේනාවන් තවමත් පවත්වාගෙන යාමය.එසේම ඔහු මෙතෙක් නිල වශයෙන් මෞලි මංගල්‍යයක් පවත්වා චාරිත්‍රානුකූලව කිරුළු පැළඳීමට අපොහොසත් වීමද ඇමතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාවන්ට දැඩිව හේතු වූයේය. 

" එසේනම් උපතිස්ස මම ඔබේ තීරණයට ගරු කරනවා. තව හරියටම හෝරා දෙකකින් රාජ අංගනයේ උතුරු පස බිහි දොර අසලදී හමුවෙමු. අසුන් තිදෙනෙක්, අවශ්‍ය ආයුධ සහ ආහාර ස්වල්පයක් පමණක් රැගෙන එන්න." 

" එසේය රජතුමනි," 

" මම තව දුරටත් රජතුමා නෙවෙයි උපතිස්ස. මේ කෙහෙල්මල් රජකමට පත්වීමට පෙර මට ආමන්ත්‍රනය කල පරිදි විජය කියා මා අමතන්න," 

පියවරක් ඉදිරියට තැබූ විජය දැඩි සෙනෙහසින් උපතිස්ස වැලඳගත්තේය. 

" උපතිස්ස වසර ගනනකින් නොදැනුනු සැහැල්ලුවක් මට දැනෙනවා උපතිස්ස......ජීවිතේ ඉදිරියට ගත කරන්ට තියෙන්නෙ කොපමණ කෙටි කාලයක් වුවත් මේ සැහැල්ලුව ඒකට හිලව්වට හොඳටම වටිනවා. හරි හරියටම හෝරා දෙකකින් හමු වෙමු. කුවණ්ණාට මේ සුබ ආරංචිය දැනුම් දෙනතෙක් මට ඉවසුමක් නෑ." 

මෙසේ පැවසූ විජය රජෙකු ලෙස නොව ආදරණීය පෙම්වතකු, සදාදර ස්වාමියකු ලෙස කුවණ්නා කුමරිය හමුවීමට ගියේ සැහැල්ලු උද්දාමයට පත් වූ සිතකිනි. 


මතු සම්බන්ධයි...... 

46 comments:

  1. මම සිත්තමීගේ 'ගිම්හානය නිමාවිය'ට කමෙන්ට් එකක් දැම්මා මම අනාගතය හා වර්තමානයට වඩා අතීතයට කැමතියි කියලා. ඒ එක්කම මාව අතීතයට ගෙනියන තවත් පෝස්ට්ටුවක් රවිගෙන්. රවිටත් ගොඩක් ස්තූතියි රවි මේ විදියට අතීතය දෙස ආපහු හැරීමක් කලාට. වලව්වේ පරණ කතා බලපුවාම ඒ කතා අද තවත් වැඩියෙන් රසවත් වෙලා පේනවා. ඒ වගේම ඒ කාලය තමා අද මාව මෙතනට ගෙනත් තියෙන්නේ. මට කවදාවත් ඒක අමතක වෙන්නේ නෑ.

    ඔන්න ඉතින් කමෙන්ට් එක. ඔතන තුන්වෙනි විකල්පයක් තිබුනානේද? රජකම තමන්ගේ සහෝදරයට දීලා ඉවත්වෙන එක. එතකොට එයාට තිබුනා ඉන්දියානු කුමරියක් එක්ක විවාහ වෙලා රාජ්‍යය පාලනක කරන්ට. විජයට ඉතින් වනගත නොවී, රාජ්‍ය ආරක්ෂාව යටතේ කුවේණී සහ දරු දෙදෙනා එක්ක හොඳින් ඉන්ට තිබුනනේ. පිරිමි ඉතින් කොහොමත් පිරිමි තමයි. හහ්. :D:D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      / ඔතන තුන්වෙනි විකල්පයක් තිබුනානේද? රජකම තමන්ගේ සහෝදරයට දීලා ඉවත්වෙන එක. /

      කොහෙද අනේ සහෝදරයෙක් හිටියෙ? විජය ලංකාවට ආවෙ තමන්ගෙ සගයො එක්ක විතරනෙ. අනික සහෝදරයෙක් ගෙන්න ගත්ත උනත් එදා තිබ්බ තත්වෙ හැටියට මම හිතන්නෙ නෑ ප්‍රාදේශීය පාලකයො හැටියට හිටපු ඇමතිවරු නම්මගන්න පුළුවන් වෙයි කියල. විජයට විතරයි මට හිතෙන්නෙ ඒ අවස්ථාවෙ රටේ බල අරගලයක් ඇතිනොවෙන විදිහට පාලනයක් ගෙනියන්න පුළුවන් මට්ටමේ පෞරුෂයක් සහ පිළිගැනීමක් තිබ්බෙ.

      / පිරිමි ඉතින් කොහොමත් පිරිමි තමයි /

      හරි, එහෙමනං පිරිමි කරන කිසිම දේකිං දුක්වෙන්නවත් හිත රිදවගන්නවත් එපා..හරිය මැඩම්.....ආ, පිරිමි කොහොමත් එහෙම තමයි කියල හිත හදාගන්නකො…:) :)

      Delete
    2. රට ගෙනියන්ට ළමයෙක් නැති උණාම නම් සහෝදරයෙක් ගෙන්නගන්ට ඒ ඇත්තට පුලුවන් උණානේ. අනේ අපි නොදන්න විජේ. කොයි වෙලාවෙද කුවේණි එලවන්නේ කියලා ඇඟිලි ගැන ගැනලු හිටියේ.:D

      හැබැයි ඉතින් ඉතිහාසය වෙනස් කරලා ලියලා තියෙන හැටි අගෙයි.

      Delete
    3. පොඩ්ඩි,

      මේ යෝදියෙ....මේක අහගං....විජය මැරුණෙ අවුරුදු 38ක් රජකම් කරලා. ඒ වෙනකොට ලංකා රාජ්‍යය අභ්‍යන්තර අවුල් වියවුල් මැකිල ගිහිල්ල බොහොම සාමකාමී තත්වයෙ තිබුණෙ. ඉතිං විජයගෙ සහෝදරයගෙ පුතාට ( පඬුවස්දෙව් ) ඇවිල්ල මෙහෙ රජවෙලා අවුලක් නැතුව රට පාලනය කරගෙන යන්ට හැකියාව තිබුනා. ඒ තත්වය මම මේ කියන වකවානුවෙ තිබුනෙ නෑ කියන එකයි මම මේ කියන්නෙ. විජයගෙ මරණින් පස්සෙත් පඬුවස්දෙව්ට මෙහාට එන්ට අවුරුද්දක් ගියා.ඒ දවස්වල එහෙම තමයි. රුවල් නැව් වල එනකොට එහෙම කල් ගත වෙනව. විජය සහෝදරටය ඇවිල්ල රජකම භාරගන්ටෙයි කියල කුවේණි එක්ක වනගත උනා නම් වෙන්නෙ සහෝදරය මෙහෙ එනකොට වෙන්ට ඕන හරිය වෙල ඉවරයි.ඇමති වරු තමන්ගෙ ප්‍රාදේශීය රාජධානි පිහිටුවාගෙන රටේ තව කොටසක් යක්ෂ ගෝත්‍රිකයො ආයෙම අල්ලගෙන....ඔන්න ඔහොම දෙයක් තමයි බොහෝවිට වෙන්ට තිබුනෙ.

      සාමාන්‍යයෙන් වෙන්නෙ එහෙම තමයි. හැමෝගෙන පක්ෂපාතිත්වය ගෞරවය දිනාගන්ට හැකියාව තියෙන ප්‍රබල නායකයෙක් නැතිඋනාම ප්‍රබල අධිරාජ්‍ය උනත් බිඳ වැටෙනව...උදාහරණ - චින අධිරාජ්‍යයය - කුබ්ලායි ඛාන්ගෙන පසුව බිඳ වැටීම රෝම අධිරාජ්‍යය - ජුලියස් සීසර්ගෙන් පසුව බිඳ වැටීම - කාර්තේජය හැනිබාල්ගෙන් පසුව බිඳ වැටීම

      විජය ගොයිය එදා අකමැත්තෙං හරි එහෙම නොකලනං ලංකාව කියල රටක් කොහොම වෙතත් හිංගලයො කියල ජාතියක්නම් අද වෙනකොට නැතිවෙන්ටත් තිබ්බ..ආන්න අහගං දන්නෙ නැත්තං මගෙං...

      බොලා ඉතිං ඔය කිසිදෙයක් තර්කානුකූලව හොයල බලන්නෙ නෑ.. අර මිනිහව සුප් හදල බොන්ටමයි තනන්නෙ..

      Delete
    4. මයෙ අම්මේ! මූ කියන බොරූ.......

      අඩේ කොහෙද බං රෝම අධිරාජ්‍යය ජුලියස් සීසර්ගෙන් පස්සෙ බිඳ වැටුනෙ.!? රෝම අධිරාජ්‍යය ආරම්භ වුනෙත් ජුලියස්ට පස්සෙ හිටපු ඔගස්ටස් සීසර්ගෙන්.. ඔගස්ටස් තමා පළමු අධිරාජයා.. ජුලියස් කොන්සල් ජෙනරල් කෙනෙක් විතරයි.. රෝම අධිරාජ්‍යය බිඳවැටෙන්නෙ ඔගස්ටස්ගෙ කාලෙටත් අවුරුදු 400කට පස්සෙ..

      කාර්තේජ් වැටෙන්නෙ හැනිබාල්ගෙන් පස්සෙ නෙවෙයි.. පියුනික් යුද්ධවලින් පස්සෙ.. හරියටම කියනවානම්, තුන්වෙනි පියුනික් යුද්ධෙ අන්තිම සටන වෙච්චි කාර්තේජ් සටනින්..

      කුබ්ලායිගෙන් පස්සෙ බිඳ වැටෙන්නෙ චීන අධිරාජ්‍යය නෙවෙයි, මොන්ගෝලියන් අධිරාජ්‍යය.. කුබ්ලායි තමා අලුත් චීන අධිරාජ්‍යයේ (චින් රාජ වංශය) පළවෙනි අධිරාජයා..

      මං හිතන්නෙ උඹ ඉතිහාසය ට්විස්ට් කරන විදියට විල්බර් ස්මිත් තියා ඩෑන් බ්‍රවුන්වත් ඉතිහාසය ට්විස්ට් කරන්නෙ නෑ.. :D

      Delete
    5. බූරාස්,

      හරි, හරි...බාං මම මේ බැලුවෙ උඹව ටිකක් කුල්මත් කොරල ගන්ට...මොකද ටික දවසක ඉඳල උඹ නිකං ඈලි මෑලි දුබල ගතියෙං කමෙන්ට්ස් දාන්නෙ..වචනයයි නැත්තං දෙකයි....හෙහ්, හෙහ්..මොකෝ බං?...මේ දවස්වල ෆුල් බිසීය?

      අනික බුදු බනෙත් තියනවනෙ බාං, චේතනා පරිශුද්ධ වේ නම්......අඩේ වෙරි සොරි ඒක නෙවෙයි....චේතනා බික්කවේ කම්මං වදාමී කියල...ඒ කියන්නෙ චේතනාවම කර්මය වේ..ඉතිං කිසිම අවුලක් ගැටළුවක්..පවක් නෑ...දත්ත ටිකක් ඔහෙ එහෙ මෙහෙ උනාට මෙතනෙ මයෙ චේතනාව ඇවිල්ල ඉතාම පරිසුද්දයි. මොකක්ද?... අර ලඳ බොලඳ මහගෙට විජය ගොයියගෙ කිරියා පටිපාටිය ලංකා ඉතිහාසයට කොච්චරනම් වැදගත් උනාද?...කොච්චර නම් බලපෑමක් කලාද කියල ඒත්තු ගන්නන එක..

      අනික ඔය රෝම අදිරාජ්ජෙ ගැන උඹ කියල තියන එක බලමු. මල්ලි, නම් වලින් ඕන එකක් කිව්වැහැකි. ඒත් සීසරය පිහි ඇණුම් කනකොට තිබ්බෙ රෝම අධිරාජ්‍යයක් තමයි. බුරූටා පිහියෙං දමල ඇන්නෙත් ඒ නිසාමනෙ බං...සීසර් රෝම ජනරජය වෙනුවට අධිරාජ්‍යයක් පිහිටුවල ඒකෙ අසහාය අධිරාජයා වෙන්ට යනව කියන එකනෙ සෙනේට් එකේ නැඟුනු චෝදනාව...නම් ඉතිං ඕන එකක් කියන්ට බැරිය. වෙන මොකවත් ඕන නෑ..ලංකාවෙ නිල නම මොකක්ද?...ශ්‍රී ලංකා ප්‍රජාතන්තාන්ත්‍රික සමාජවාදී ජනරජය...හෙහ්, හෙහ්, දැං හිතල බලාපං...ලංකාවෙ අද කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයක් වත් සමාජවාදයක් වත් තියෙන්නෙ කියල. අනික ජනරජය කියන කෑල්ල ගමු.

      ජනරජය කියන වචනෙ නිර්වචනය මෙහෙමයි.

      A republic is a form of government in which the country is considered a "public matter" (Latin: res publica), not the private concern or property of the rulers, and where offices of state are subsequently directly or indirectly elected or appointed rather than inherited. In modern times, a common simplified definition of a republic is a government where the head of state is not a monarch.

      දැන් මේ කියන අංග ලක්ෂණ වලින් කොව්වද ලංකාවෙ තියෙන්නෙ කියාපං බලන්ට?

      අන්න ඒ නිසා නම කියන්නෙ නිකම් නමක් විතරයි. A name is just a name. there is no other significance attached to it. Its just a word that we have invented to label something. That’s all there is.

      ප.ලි. - අඩේ විල්බරයට මොකවත් කියනව එහෙම නෙවෙයි ඇහුණද?..මයෙ අතිජාත මිත්තරය...:)

      Delete
  2. කතාව ලස්සනයි.... ඒත් යථාර්ථය මේ තරම් ආදරණීයයි, සංවේදීයි කියල නං හිතන්න අමාරුයි...

    කොහොම උණත් කුවේණියට සාධාරණයක් උණා වෙන්න නම් බැහැ.... මේ තරම් ආදරයක් තිබුණා නම් කුවේණියගේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියල හිතෙනවා... ''පිරිමි ඉතින් කොහොමත් පිරිමි තමයි'' පොඩ්ඩිගෙ කතාව ඇත්ත....

    මේ දවස්වල මම සුනේත්‍රාගේ බුද්ධදාසි කියවමින් ඉන්නවා.. ඒ අතීතය මැවෙන විදියට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තරුරසී,

      / ඒත් යථාර්ථය මේ තරම් ආදරණීයයි, සංවේදීයි කියල නං හිතන්න අමාරුයි /

      මට මේ හිතාගන්නම බැරි දෙයක් තමයි ඇයි මේ හැමෝම යථාර්තය කටුකයි, නීරසයි කියල හැම වෙලේම හිතන්නෙ කියල. ඉතිහාසයෙ දුෂ්ඨයො, අසත්පුරුෂයො, ගුණමකුවො කියල හංවඩු ගැහිල ඉන්න පිරිමි, පිරිමි විතරක් නෙවෙයි ඇත්තටම ගැහැණුත් එහෙම තත්වයකට පත් උනේ තමන්ගෙ බලවත් අකමැත්ත මතය වෙන විකල්පයක් තිබ්බෙ නැතිනිසාය කියල හිතන්න බැරි ඇයි හැබෑටම?

      / කොහොම උණත් කුවේණියට සාධාරණයක් උණා වෙන්න නම් බැහැ.... මේ තරම් ආදරයක් තිබුණා නම් කුවේණියගේ ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියල හිතෙනවා /

      දෛවය, ඉරණම කියන්නෙ අපිට වෙනස් කරන්න බැරි දෙයක්. අපි කාටවත් අපේ දෛවයට විරුද්ධව යන්න බෑ. ඒ ඇවිල්ල කුවේණිගෙ දෛවය වෙන්න ඇති.

      / මේ දවස්වල මම සුනේත්‍රාගේ බුද්ධදාසි කියවමින් ඉන්නවා /

      සුනේත්‍රා නෝනා මහත්මිය එක්ක මගෙ ආශ්‍රය බොහොම පරණයි. එතුමිය සඳුන් ගිර ලියන්නත් කලින් මට මතක විදිහට විදර්ශී කියල මාසික සඟරාවක් කලා. අන්න ඒ කාලෙ ඉඳලමයි එතුමිය මගෙ හිතවතියක් උනේ. ( Metaphorically speaking only )

      බොහොම ස්තූතියි තරුරසී...:)

      Delete
    2. සුනේත්‍රා නෝනා මහත්මිය ඉස්සරම කාලෙ සඟරාවලට, පත්තරවලට කතා ලිවුවා.. අර ශ්‍රී සඟරාවෙ 'මහ දිග කතාව' එහෙම.. ආන්න ඒ කාලෙයි මං ඉස්සරෝම උන්දැව අඳුනගත්තෙ.. මටනම් එතුමියගෙ ඒ කාලෙ කතා දැන් ඒවට වඩා රහයි..

      Delete
    3. මටත් මතකයි බූර්ස්...:) :)

      ඔය අර ශ්‍රී සඟරාව ඩ්‍රෝයිං පොතක්වගෙ පළලට වැඩිය දිගට තිබ්බ කාලෙ තමයි මහ දිග කතාව ගියේ අන්තිම පිටු හත අටේ...ශ්‍රියා රත්නකාර නෝනා තමයි සංස්කාරක හිටියෙ.ඔය මහ දිග කතාවෙ ඒ කලෙ ගියා පස්සෙ නවකතා විදිහට බොහොම ජනප්‍රිය වෙච්ච හුඟක් කතා. ජයකොඩි සෙනෙවිරත්නගෙ පතිනි, රණ තිසරු, රන් කුසලාන මට මතක කතා තුනක්. රන් කුසලාන ඒ කාලෙ අපෙ ජනප්‍රියම කතාව. ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි ඒකෙ කතා නායකය.ඒ නිසා අපිට අල්ලලම ගියෙ ඒ කතාව.

      Delete
    4. ලෑන්ඩ්ස්කේප්, පෝට්‍රේට් ෆෝමැට් දෙකේම මහ දිග කතාව ගියා බං.. අපේ ගෙදර තියෙනවා ඔය ජාති දෙකෙන්ම සඟරා..

      Delete
    5. Bura,

      ශ්‍රී පෝට්‍රේට් මොඩල් කාලෙ මම කියෙව්වෙ නෑ බොල.... අපි ඇවිල්ල ශ්‍රී ලෑන්ඩ්ස්කේප් කට්ටිය....

      උඹට කියන්ට ශ්‍රී සඟරාව ගැන මගෙ අමතක නොවෙන මතකය මොකක්ද දන්නවය?...1973 වගෙ මට මතක ශ්‍රී එකේ ලිපියක් පළවුනා ජීන් ඩික්සන් ගැන. අනාවැකි කියන අමරිකානු කාන්තාවක්..ඒකෙ තිබ්බ ඇය පැවසුවාය කියල වසර දෙදහට ඉස්සෙල්ලා සෝවියට් දේශය කෑලි කෑලි වලට බිඳිල යනවයි කියල.නිකමට හිතපං මලේ හැත්තෑව දශකයෙ මුල් භාගයෙ තිබ්බ ලෝක තත්වය අනුව එහෙම දෙයක් හීනෙන් වත් හිතන්ට පුළුවන්ද? ඒ මනුස්සයට අද්භූත බලවේගයක් තිබුණද නැද්ද කියන්ට නම් මම දන්නෙ නෑ..ඒත් ඒ කතාව ඒ කාලෙ ශ්‍රී සඟරාවෙ පලවුන එක නම් ඇත්ත.

      Delete
    6. සුනේත්‍රා නෝනගෙ පොත් නම් දැන් ටිකක් ඒකාකාරීයි වගේ මට....

      Delete
    7. @රවි,

      ඇයි බං ඔය යෝදි කියලා තියෙනවා නෙවැ චීනෙ කොමියුනිස්ට් වෙනවා කියලත්.. ඒ ඇවිල්ලා චීනෙ කොමියුනිස්ට් වෙනවා තියා හිතලාවත් නැති කාලෙ.. ඕක අහපු හැමෝම මෙයාට හිනා වෙලා.. මෙයා ස්ථිරවම කියලා තියෙනවා, "චීනෙ කොමියුනිස්ට් වෙනවා, කවදාහරි බටහිරට ලොකුම හිසරදේ වෙන්නෙ සෝවියට් දේශය නෙවෙයි, රතු චීනය" කියලා..

      එතකොට කෙනඩි ඝාතනය, චර්චිල් දෙවෙනි ලෝක යුද්ධෙ කාලෙන් පස්සෙ තිබ්බ පළවෙනි ඡන්දෙන්ම ගෙදර යන එක, පළමුවෙනි චන්ද්‍රිකාව උඩුගුවනට යවන එක... ඔය වගේ සිරා අනාවැකි ගොඩක් කියලා තියෙනවා මෙයා.. මම ඔය ගැන ලිපියක් කියෙවුවෙ මුතුහර සඟරාවකින්ද මන්දා..

      @තිසර,

      ඒක තමා මාත් කියන්නෙ.. එතුමියගෙ ජීවන අත්දැකීම් ඔක්කොම ටික ඉවරද මන්දා, මහ ඒකාකාරී රටාවක් දැන් තියෙන්නෙ.. ඒ කාලෙ එහෙම නෙවෙයි, මාර රහයි ලියවිල්ල..

      Delete
    8. බූරා,

      ඩික්සන් යෝදි පට්ට බොරුත් කියල තියෙනව සෑහෙන්න ඉස්සොරෝම හඳට මනුස්සයෙක් යවන්නෙ රුසියාවය. 1958 දි තුන්වන ලෝක යුද්දෙ ඇතිවෙනවය.1967 දි පිළිකාවට ප්‍රතිකාරයක් හොයාගන්නවය.2000 දි මුළු ලෝකෙටම ස්ථිර සාමය උදාවෙනවය..ඔව්ව කියල තියෙන්නෙත් එයාම තමයි. අනාවැකි ප්‍රකාශ කරද්දි වැරදෙන අනාවැකි යට ගහල හරියන එව්ව උලුප්පල දක්වන එකට The Jeane Dixon effect කියල නමකුත් පටබැඳිල තියෙන්නෙ.

      The Jeane Dixon effect - John Allen Paulos, a mathematician at Temple University, coined the term "the Jeane Dixon effect," which refers to a tendency to promote a few correct predictions while ignoring a larger number of incorrect predictions. Many of Dixon's predictions proved false, such as her claims that a dispute over the offshore Chinese islands of Quemoy and Matsu would trigger the start of World War III in 1958, that American labor leader Walter Reuther would run for President of the United States in the 1964 presidential election, that the second child of Canadian Prime Minister Pierre Trudeau and his young wife Margaret would be a girl (it was a boy), and that the Russians would be the first to put men on the moon.

      මේ යෝදි තව කියපු බොහොම වැදගත් අනාවැකියක් තියනව. 1962 පෙබරවාරි 5 වෙනිදා මැද පෙරදිග උපන් බොහොම ඥානවන්ත පුද්ගලයෙක් අලුත්ම ධර්මයක් දේශනා කරල මුලු ලෝකෙම ඒ ධර්මය පිලිගන්නවයි කියන එක. ඒකෙ හැබෑ බොරු තව ඉස්සරහට තමයි බලාගන්න තියෙන්නෙ.

      Delete
  3. "පිරිමි ඉතින් කොහොමත් පිරිමි තමයි"

    "ගෑනු ඉතින් කොහොමත් ගෑනු තමයි"

    මොකටද ළමයිනේ රණ්ඩු කරන්නේ........ :D

    ReplyDelete
    Replies
    1. අහන්ට අමතක වුනා, ඈ බං රවියො, අර කුවන්නා සුදු පාට රෙද්දක්ය ඇඳන් ඉන්නෙ..?? මං අහලා තිබ්බෙ 'රෝස පාට' එකක් ඇඳන් හිටියයි කියලා.. පහුගිය කාලෙ පත්තරවල නම් තිබ්බෙ එහෙමය කියලා.... ;)

      Delete
    2. Bura,

      එහෙමද බොල?...කුවණ්ණා දැං තෝත පාට සේලයක්ද ඇඳගෙන ඉන්නෙ?...අනේ මංද බං.. Vijaya & Kuveni කියල Google Images වල සර්ච් කලාම ආපු එව්වයිං මට හිතට ඇල්ලුවෙ ඔන්න ඕක...ගොඩක්ම තිබ්බෙ අර පිච්චර් එකේ එව්ව.

      Delete
    3. ඇයි බං, දැන් ඔය ගූගල් සර්ච් කලාම ආවය කිවුව පින්තූරවල තිබුනෙ නැද්ද තෝත පාට එකක් ඇඳන් ගලක් මුදුනෙන් පහළට පනින එකක්.. :D

      Delete
    4. හරි හරි ඒක රෝස පාටයි තමයි... ඉතිං සුදු රෙද්ද ගලවලා බලන්ඩයැ...

      Delete
    5. බූරා සහ තිසර,

      හෙහ්, හෙහ්, ඔන්න දැන් නෙව මතක් උනේ..අර විජේ-කුවෙනි පිල්ම් එකේ එහෙම මොකද්ද සීන් එකක් තිබ්බයි කියල පත්තරවල තිබ්බ නේද? මෙතන නම් එහෙම තෝත පාට එකක් තිබිල නෑ වගෙ. එහෙම තිබ්බනම් බොලව් සුදු සේලෙ යටින් පේනව යස අගේට.අර සුදු සේල අගින් වැසු නීල ...කියලත් කියන්නෙ .කවුද මේ විල්බට් ඇන්තනි නේද?....ඒ කියන්නෙ ඔය ඔහොම කේස් එකක් ගැනනෙ. සුදු සේලය යට නිල් පාට....;)

      Delete
    6. සුදු සේල අගින් වැසු නීල .... ?

      හපෝ මේ අයියල ටිකට වඩා හොඳයි අර කවුද බෝයි එකේ ඉන්න අයියල ටික.

      මොනවා උනත් අර රෝස පාට කතාවනම් ඇත්ත. මම දැක්කා වීඩියෝ එකත්.

      Delete
  4. විජය මෙහෙම හිතුවා කියලා පුරුෂයෙක්ගෙන් අහන්න ලැබිච්ච එකත් සතුටුයි නොවැ..!!

    ReplyDelete
    Replies
    1. රූ,

      තමංගෙ මැට්ටං තම්මැට්ටං කියල පුරුසයෙක් නැතුව එහෙනං වෙන කවුද ඉදිරිපත් වෙන්නෙ විජේ ගොයිය වෙනුවෙං?

      ඔය ඉස්තිරීං ටික බලාගෙන ඉන්නෙ එවුන්දැ මරාගෙන කන්න නෙව...ගුණමකුවයි අසප්පුරුසයයි,ද්‍රෝහියයි, තව රටේ නැති නං වනං කිය කිය...

      Delete
  5. අපි අහලා තියෙන විදියට සැර පරුෂ ගති තිබුණා කියන පිරිමියෙක් තුලින් ආදරණිය හැඟීම් ඉස්මතු කරන්න දරන උත්සාහය අගෙයි.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. සඳා,

      අපි අහන දේවල් කියවන දේවල් ඔක්කොම ඇත්ත නෙවෙයි සඳා...හෙහ්,හෙහ්,

      මම ලියන්නෙත් මට හිතන දේ..ඒකත් ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්....අනික ඔහොම විජය කුවේණි කියල දෙන්නෙක් හිටියමයි කියලත් අපි හරියටම දන්නෙ නෑනෙ...

      ස්තූතියි ඔයාට..:)

      Delete
  6. ඔය විජය එන්න කලින් ලංකාවෙ රාජ සභාවක් තිබුනෙ නැද්ද ? විජය-කුවේණි කතාවෙ අලුත්ම වර්ශන් එකක් වගේ කියවන්න යන්නෙ. මීට කලින් මෙහෙම කතාවක් අහලා තිබුනෙ නෑ.. විජය කුවේනිවයි දරු දෙන්නවයි ගහලා පැන්නුවා කියලා තමා අපිට කියලා දීලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      / ඔය විජය එන්න කලින් ලංකාවෙ රාජ සභාවක් තිබුනෙ නැද්ද ? /

      සිරීසවත්ථු පුරය කියන්නෙ විජය මෙහි පැමිණීමට පෙර යක්ඛ ගෝත්‍රිකයින්ගේ පාලන අගනගරය. විධිමත් පාලන තන්ත්‍රයක් තිබුණනම් අනිවාර්යයෙන් රජ සභාවක්ම නොවුනත් ඒ හා සමාන ආයතනයක් තියෙන්න ඇති.

      / විජය-කුවේණි කතාවෙ අලුත්ම වර්ශන් එකක් වගේ කියවන්න යන්නෙ. මීට කලින් මෙහෙම කතාවක් අහලා තිබුනෙ නෑ.. විජය කුවේනිවයි දරු දෙන්නවයි ගහලා පැන්නුවා කියලා තමා අපිට කියලා දීලා තිබුනෙ. /

      අපේ ඉතිහාසය කියල අපිට කියල දෙන්නෙ මහාවංශයෙ සඳහන් කාරණානෙ. එතකොට මහා වංශෙ ලියවිලා තියෙන්නෙ ක්‍රි.ව. 500 විතර. ඔය විජය ලංකාවට ආවයි කියන කාලෙට අවුරුදු 1000 කට විතර පස් සෙ. එතකල් ඔය ඉතිහාසය ඇවිල්ල තියෙන්නෙ මුඛ පරම්පරාගතව. එහෙම කටින් කට එද්දි මොන තරම් වෙනස් කම් වෙන්න පුලුවන්ද නොදැනුවත්ව?..ඒ වගේම මොන මොන වෙනස්කම් කරන්න ඇත්ද තමන්ගෙ මතය සහ හිතවත්කම් , රුචිකම් අනුව?

      අන්තිමට මහාවංශය ලිවෙ මහානාම හාමුදුරුවොයි කියලනෙ කියන්නෙ. එතුමා එතුමගෙ රුචිය අනුව මොන මොන වෙනස්කම් කලාද කියල කවුද දන්නෙ?...පොතක පතක ලියවෙච්චි දෙයක් ඓතිහාසික සාධක අනුව ස්ථිර වෙනව නම් මිසක පිළිගැනීම යථාර්තවාදී වෙන්නෙ නෑ කියන්නෙ අන්න ඒකයි.බුදු හාමුදුරුවො පිරිනිවන් පාපු දවසෙ විජය ලංකාවට ආවය කියන එක, එතකොට පස් සෙ කාලෙකදි භද්දකච්චානා කුමරියට බුදු හාමුදුරුවන්ට ඥාතිත්වයක් ආරූඪ කිරීම, බුදු හාමුදුරුවො තුන් වරක් ලංකාවට වැඩම කලාය කියන කතාව මට හිතෙන්නෙ ලංකාව බුදු හාමුදුරුවන්ගෙ ආශීර්වාදය ලත් භූමියක්ය කියල ඒත්තු ගන්වන්න ප්‍රබන්ධ කරපු කතා කියලයි.

      දැං ඔන්න මලේ නිකමට හිතාපං ඔය මහා සිංහලේ වංශ කතාව ඉදිරිපත් කරපු මනුස්සය වගෙ සට්ටඹියෙක් වර්තමාන ඉතිහාසය ලිව්වොත් එහෙම කොහොමට ලියයිද?

      ඔය විජයගෙ කතාව සම්පූර්ණ අතේ රෝලක් කියන එකයි මගෙ පෞද්ගලික අදහස. මම ලියන්න කල්පනාකලේ ඇත්තටම එහෙම දෙයක් උනානම් මේ විදිහට වෙන්න බැරිද කියල හිතලයි...:)

      Delete
    2. විජයගෙ කතාව අතේ රෝලක් කියන එක මටත් කාලෙක ඉඳන් හිතිච්ච දෙයක්. ඒක සනාථ වෙන ඒවා එහෙන් මෙහෙන් කියවන්න, දකින්නත් හම්බුනා.

      ලංකාවෙ මිනිස්සු එන්නෙ විජය ඇතුලු පිරිසගෙන්නම්, සිංහල භාෂාව ඉන්දියාවෙත් ඔය කොහෙ හරි මුල්ලක හරි යාන්තම්වත් ඉතුරු වෙලා තියෙන්නෙ එපැයි කියලා මට හිතෙනවා.

      Delete
    3. //එතකල් ඔය ඉතිහාසය ඇවිල්ල තියෙන්නෙ මුඛ පරම්පරාගතව. එහෙම කටින් කට එද්දි මොන තරම් වෙනස් කම් වෙන්න පුලුවන්ද නොදැනුවත්ව?..ඒ වගේම මොන මොන වෙනස්කම් කරන්න ඇත්ද තමන්ගෙ මතය සහ හිතවත්කම් , රුචිකම් අනුව?//

      එකෙන්ම එකඟයි. අපේ වර්තමානය ඉතිහාසයක් වෙච්ච දවසටත් ඔය ටික ඔහොම්මමයි වෙන්නේ. මට හොඳටම සුවර් අපේ මහින්ද මාමා දුටුගැමුණු රජතුමාගේ ගේ තත්වෙට උස්සලා ඉතිහාසේ ලියවෙනවා.

      @ සෙන්නා

      සිංහල භාෂාව විජයගේ භාෂාව නෙමෙයි. විජයගේ භාෂාවයි ඒ වෙද්දී ලංකාවේ තිබුන භාෂාවයි අනුගත වෙලා සිංහල භාෂාව හැදිච්ච හැටි හරි ලස්සනට පැහැදිලි කරපු ලිපියක් මම දැක්කා. මම ලියපු "විජයාවතරණය හෙවත් කිරි මුට්ටියට මුහුම් දැමීම" කියන එකේ ඔය භාෂාව ගැනත් පොඩ්ඩක් ලිව්වා මතකයි.

      ලක් දිවට ආවේනික භාෂාව කෙටි අක්ෂර භාවිතා කරන එකක්. ඉතින් විජයත් සමග ආපු භාෂාවේ බොහෝ වචන අර භාෂාවත් එක්ක අනුගත උනාලු. උදා: හැටියට චන්ද්‍රයා - සඳ, චිවරය - සිවුර ආදී වශයෙන්...

      ඒ වගේම ලංකාවේ මිනිස්සු කියන්නේ විජයගේ මිනිස්සු නෙමෙයි නේ. ඔවුන් ගෝත්‍රිකයින් එක්ක මුහු වෙලා බිහි උන මිනිස්සු. භාෂාව, සංස්කෘතිය හැම දෙයක්ම මුහු වෙලා අනුගත වීමක් වෙන්න ඇති. හරියට කිරි මුට්ටියට මුහුම් දැම්මා වගේ තමයි :)

      Delete
    4. යෙෂ්, ෂයුරි ඊෂ් ඇබ්ෂොලියූට්ලි කොරෙක්ට්....එහෙම තමයි වෙන්න ඇත්තෙ..විජය සහ කස්ටිය ඉන්දියාවෙන් ආවයි කියල ඉන්දියාවෙ කොහේ හරි සිංහල බාසාව කතාකරන ජන කොටසක් ඉන්නම ඕන නෑ. එයාල ලංකාවට එද්දි කතා කරන්න ඇත්තෙ මේ අද අපි කතාකරන බාසාවම නෙවෙයි ඊට යම් සමාන කමක් ඇති වෙනත් බාසාවක් වෙන්න ඕන. දැන් ඔය කේරලයෙ කතාකරන බාසාවට සිංහල හුඟක්ම සමානයි කියල කියනවනෙ. කේරලයිට්ස්ල ගැන අපේ කට්ටිය කොච්චර අපැහැදීමකින් හිටියත් බොහෝවිට අපේ ළඟම නෑදෑයො මලයාලි අය වෙන්නත් පුළුවන්...හෙහ්, හෙහ්,අනික් අතට ඒ සමානකම භාසා දෙකම බිඳිල ආපු මුල් භාසාව ( සංස්කෘත වෙන්න ඕන ) එකක් වීම නිසා වෙන්නත් පුලුවන්.

      Delete
    5. නැහැ රවි, මලයාලම් කියන්නෙ ආර්ය භාෂාවක් නෙවෙයි, ඒක ද්‍රවිඩ භාෂා පවුලට අයිති (අනාර්ය)එකක්.. මලයාලම් වල සංස්කෘත වචන දකින්නට ලැබුනට, ඒකෙ මාතෘ භාෂාව සංස්කෘත නෙවෙයි..

      Delete
    6. ස්තූතියි බුරා...ඔබ හරි.....මලයාලම් අයිතිවෙන්නෙ ද්‍රවිඩ භාෂා කාණ්ඩයට..සිංහල ඉන්දු ආර්ය කාණ්ඩයට...ඒත් මලයාලම් සහ සිංහල භාෂාවල බොහොම සමාන වචන තියෙනව. මොකක් හරි මූල භාෂාවක සම්බන්ධයක් තියෙනව කියලයි මට හිතෙන්නෙ...

      Delete
  7. දෙපාරක් විතර කියවන්න පටන් ගත්තා... හැබැයි මූඩ් එකට එන්න බැරි උනා. මේ සැරේ දත්මිටි කාලා හිතාගත්ත කියවලා මිස මෙතැනින් නොනැගිටිමි කියලා... පහු ගිය කාලෙ පඳුරු තැලිලි කියවලා, මේ වගේ එකක් කියවන්න හිතහදා ගන්න අමාරුයි වගේ...

    ඉතිහාසය මගේ ප්‍රියතම විෂයක් නෙමෙයි. හැබැයි, විජය කුවේණි කතාව ඉතිහාසයේ ලියවිලා තියන විදිහට අභියෝග කරල වෙනස් වර්ෂන් එකක් ලියන එක ගැන මම හරි කැමතියි. ඔය සේරම ඉතිහාස කතා, බොහෝ වෙලාවට, ඒවා ලියූ අයගේ කාලයේ දේශපාලන වතාවරණය අනුව, ඒ අයගේ පෞද්ගලික මතයන් අනුව ලියවුණ ඒවානෙ. ඉතිං මූලික කතාව අරගෙන ඒකෙ නොදුටු පැත්තක් ලියන එක හොඳ දෙයක්. කොහොමත් අපිට උගන්නලා තියන, අර පොතේ මේ පොතේ තියන ඉතිහාසය මතම එල්බගෙන ඉන්නෙ නැතුව මෙහෙමත් වෙන්න තිබ්බා නේද කියලා මිනිස්සුන්ව හිතන්න පුරුදු කරන්න පුළුවන් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තිසර,

      ආන්න ඒකනෙ කියන්නෙ..එහෙම බොලාව ටිකක් හොල්ලල කරල ගන්නත් හිතාගෙන තමයි මෙහෙම එකක් ලියන්ට හිතුවෙ...හෙහ්,හෙහ්..

      ඉතිහාසය තිසර මගෙ නම් ප්‍රියතම විෂයයක්...:)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      අයින් කරපු කමෙන්ට් එකේ තිබ්බ ටික ඔන්නම් මම කියන්නෙයි? …:)

      රවි, ඔබ ලියන මේ විජය කුවේනි පුවත කොතරම් සාර්ථකව ඔබ ලියා ඇත්ද කිව්වොත් මේ මහ දවල් මගේ රොමෝද්ගමනය වී ගියේ අනායාසයෙනි.එක් වරම මම ලංකා පුරයෙහි විජය සහ උපතිස්ස බිහිදොර අබියස හිඳ සාකච්ඡා කරමින් සිටින අසල සිට ඒ අසා සිටින්නේයයි මට සිතුනි.

      එලෙසම පාෂාණිභූතව කොපමන වේලා ගත කලාදැයි මම නොදනිමි. " අම්මී මොකද අම්මි මේ? You look like you have seen a ghost...." පාසැල නිමවී පැමිණි ලොක්කිගේ හඬිනි මම පියවි ලෝකයට පැමිණියේ.

      විජය සමඟ ගොස් කුවේණිය හමුවී ඇය පවසන්න දැන ගැන්මට පුල පුලා සිටින්නෙමි.

      දැං මම කියන්නද වෙච්ච වැඩේ. මේ කමෙන්ට් එක දැම්මයෙං පස් සෙ ඔහෙට හිතුන මෙහෙම.." යකෝ මෙහෙම මේ මනුස්සයට ප්‍රසංසා කලාම අර අස්සයට අං ආව වගෙ තියෙයි. මේ යකා මීට පස්සෙ ඉතිහාස කතාම ලියන්ටත් බැරිනෑ අර වාං පතුල් කතාව අතෑරලම දාල." එහෙම හිතල ඔහේ කමෙන්ට් එක ඩිලීට් කලා. නෑ කියන්න නම් එපා හොඳද? :) :)

      Delete
  9. අම්මපා දෙකක් කියන්නත් හදල ඔන්නොහෙ නිකා හිටියා ...

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්.....

      Delete
  10. Replies
    1. සිත්තමී,

      මොකද බොල ඇති යාන්තං?.....හෙහ්, හෙහ්, මටත් උඹ ගැන කියන්ට තියෙන්නෙ ඒකම තමයි...අප්පේ ඇති යාන්තං!!!!!!

      Delete
  11. හරිම ලස්සනට ටුවිස්ට් කොරලා තියනවා විජය කුවේණි කතාව :) හෙහෙ...හොඳයි හොඳයි. පොඩ්ඩි එහෙම ලියද්දි රවී අයියා මෙහෙම ලිව්වම මක් වෙනවද..ඔහොම යමු ඔහොම යමු.

    හැබැයි ඉතින් විජයට වෙන ඔප්ෂන් එකක් තිබුනෙම නැද්ද මන්දා. ;)

    ReplyDelete
    Replies
    1. සයුරි,

      ඔන්න ඕකනෙව කියන්නෙ..එතකොට මම තමයි කතාව ට්විස්ට් කොරල තියෙන්නෙ?..එහෙමයි එතකොට ඔහෙගෙ අදහස නේද?...හරි මෙහෙම වෙන්න බැරිද?....කතාව ඇත්තටම උනේ මම කියන විදිහටයි..ඒක ට්විස්ට් කලේ මහානාම හාමුදුරුවො....හරි මම එහෙම් කිව්වොත් ගරු කටයුතු සයුරි මැතිණියනි..ඔබ තුමිය මොකද කියන්නෙ?

      Delete
  12. ඒකත් එහෙමය් උනෙ කිව්වලු.. බලමුකො ඉතුරු කෑල්ලත් කියවලා..මටනම් හිතෙන්නෙ ඔන්න විජය කුමරය කුවෙනි එක්ක යන්න කලින් ඇමතිල ටික කලබල වෙලා ගෙනාවලු මදුරා පුරෙන් කුමාරි..එයාව දැක්ක කමන් විජයට පිස්සු හැදිල කුවෙනිත් අමතක උනාලු..ආඉ සුපුරු ලෙස කතාව ඉවර උනාලු..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව්ව..ඔන්න කිව්ව...අඩේ ඉස්තිරියාවක් දැකල පිස්සු හැදෙන්ට විජය මොකෙක් කියලද උඹ හිතාගෙන ඉන්නෙ?

      Delete
    2. ආයි වෙන මොකෙක්ද? සාමාන්ය පුරුශයෙක්ම තමා ඉතින් :p - MeKuWi

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...