Tuesday, January 6, 2015

298. කළගුණ සැළකීමේ ආදීනව.....



 

ඉහත මාතෘකාව කියවූ විගස ඔබ විපිළිසරවන බව මම දනිමි.ආදීනව යන වදනෙහි 
අර්ථය නම් විපාක යන්නයි. නො එසේනම් නරක ප්‍රතිඵල යන්නයි. මෙතෙක් 
ආදීනව යන වදන යෙදුනේ පාපිෂ්ඨ ක්‍රියා යනුවෙන් සම්මතවුනු ක්‍රියාවන් 
සම්බන්ධයෙනි. කාමයේ වරදවා හැසිරීමේ ආදීනව, අවේලාවේ වීථි සංචාරය 
කිරීමේ ආදීනව, ප්‍රාණඝාතයෙහි ආදීනව ආදී වශයෙනි.

මේ ජනාධිපතිවරණයෙහිදී තුන්වන වරටත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති 
ලෙස පත්කොටගත යුත්තේ කුමන හේතුවක් නිසාද යනුවෙන් තර්කානුකූල 
බහුතරයට පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කිරීමෙහිලා අපොහොසත්ව 
වික්ෂිප්තව දෙයියන්ගේ හාල් කැවුණාක් මෙන් එහෙ මෙහෙ දුවන සන්ධානයේ 
මැතිවරණ කථිකයෝ අවසාන තුරුම්පුව ලෙස පිටියට දමනුයේ කළගුණ සැළකීමේ 
තර්කයයි.

යහ පාලනය පිළිබඳ තුරුම්පුව ශිරානි බණ්ඩාරනායක සහ ක්‍රිස් නෝනිස් විසින් 
අවලංගු කෙරිනි.

නීතියේ ආධිපත්‍යය පිළිබඳ තුරුම්පුව තමන්ම ස්ව කැමැත්තෙන් ගස් බැඳි රජයේ 
සේවකයා,හම්බන්තොට නගරාධිපති සහ දෑතින්ම වෙඩි තැබිය හැකි ඇමතිතුමා 
එකතුව විනාශකොට දැම්මෝය.

විරෝධය පෑමේ අයිතිය සුරැකීමේ තුරුම්පුව අවලංගු කෙරුනේ ජයතිලක බණ්ඩාර, 
ලක්ෂ්මන් විජේසේකර සග සමනලී ෆොන්සේකා අතිනි.

දූෂණය පාලන තත්ත්‍රය තුල මුල්බැසගෙන ඇති බවට පුරවැසියන් තුල පැතිර තිබූ 
මතය ස්ථිර කරවමින්  රටේ නායකයා යනු පල්හොර මුලක නායකයා බවට  
එතුමෝ තමන්ටම  චරිත සහතිකයක් ප්‍රධානය කොට ගත්තෝය.ඒ කුප්‍රකට ෆයිල් 
නොඇදීමේ කථාව මඟිනි. දූෂණය මැඩ පැවැත්වීමේ තුරුම්පුවද ඒ හා සමඟම 
ස්වයංක්‍රීයව අහෝසිවිනි.

උද්ඝෝෂණ පවත්වා නිරුපද්‍රිතව තම අඹු දරුවන් හෝ දෙමාපියන් දැකීමට  ආපසු 
නිවෙසට යෑමේ අයිතිය ආරක්ෂා කිරීම නම් වූ තුරුම්පුව රතුපස්වලදී, කටුනායක 
ආයෝජන ප්‍රවර්ධන කාලපයේදී මෙන්ම හලාවතදීද ගැලූ රුධිරයෙන් අවලංගු 
කෙරිණි.

මේ සියලු තුරුම්පු අවලංගුවූ ඉක්බිති රටක නායකයෙකුට, රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට 
ඉතා වැදගත් වන්නාවූ තම පුරවැසියන්ගේ ගෞරවය නම්වූ තුරුම්පුවද ඔහු 
අහිමිකොට ගත්තේ  අහස පොළව නුහූලන අසත්‍යයන් වේදිකා මත සිට 
ප්‍රසිද්ධියේ පැවසීමෙනි. මාස අටක් වයසැති තවමත් බහ නොතේරූ  නොදරුවකු 
අම්මා තාත්තා යයි කීමටත් පෙර ඔහුගේ මුහුණ දෙස දෑස් ලොකු කොට බලාසිට 
ජයවේවා!! ජයවේවා!! යයි පැවසූයේයයි කුප්‍රකට අතේ රෝල එබන්දකි.

රාජ්‍ය නායකයකුගෙන් අප බලාපොරොත්තුවනුයේ එබඳු බොළඳ ප්‍රකාශයන්ද? 
මේ නාඩගමෙහි කූට ප්‍රාප්තිය වූයේ ඔහුට ආධාර පිණිස සල්මන් ඛාන් ගෙන්වීමෙනි.
ඡන්ද ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ නූගත්කම මෙන්ම අත්තනෝමතික 
මූඪ භාවයද යලිත් වරක් සනාථ කරමින් සල්මන් ඛාන්ගේ ආගමනය ඔහුටම 
පාරා වළල්ලක් වූයේය.

මේ සියලු තුරුම්පු අවලංගු වූකල ඔහුගේ පිලේ කථිකයන්ගේ ප්‍රධාන තුරුම්පුව 
බවට පත්ව තිබෙන්නේ කළගුණ සැළකීමේ තුරුම්පුවයි. 31 වනදා රාත්‍රියේ 
නිදහස් මන්දිරයේ සිට විකාශය කෙරුනු දේශපාලන කතිකාවත අවසානයේ 
විමල් වීරවංශ නම් අන්තේවාසිකයා  මෙසේ පැවසීය. " තවම යුද්දෙ ඉවරවෙලා 
යන්තං අවුරුදු පහයි ගියේ..මම හිතන්නෙ නෑ මේ රටේ කළගුණ දන්න 
ජනතාව එතුමට පිටුපායි කියල...."

මෙලෙස හිටපු ජනාධිපතිතුමා අලෙවි කල හැකි සියලු සාධක නිෂේධනය වී ගිය 
සඳ K.G.S. සාධකය නොහොත් කළගුණ සැළකීමේ සාධකය අද පෙරමුණට 
පැමිණ ඇත.

මේ K.G.S. සාධකය ප්‍රමුඛස්ථානයේ තබා තුන්වන වරටත් මහින්ද තෝරා
පත්කරගන්නැයි ඉල්ලන අතවැසියන් අප තව කීවරක් K.G.S.  වෙනුවෙන් 
මහින්ද පත්කරගතයුතුද යන්න නොපවසති. වන්නාටය. අප සියලු දෙන 
සාමූහිකව කරන ලද පෙර අකුශල කර්මයක් හේතුකොටගෙන මෙවරද 
නැවත මහින්ද පත්වුනේයයි මොහොතකට උපකල්පනය කරමු. නැවත 
මෙසිරිලක ජනාධිපතිවරණයක් පැවැත්වෙනුයේ වර්ෂ 2022 දීය. එවිටද මේ 
සට්ටඹියන් මෙසේ පවසනු ඇති බවට සැක නැත. " වසර තිහක් පැවති 
යුද්ධය නිමාකරල තවම අවුරුදු 13ක් පමනයි ගත වුනේ. මම හිතන්නෙ 
නෑ මේ රටේ ජනතාව එපමණ ගුණමකු පිරිසක්ය කියල " නො එසේනම් 
මෙසේ පවසනු ඇත. " වසර තිහක් රට විනාශ කල යුද්ධය නිමා කල ඒ මහා 
වීරයාගේ පුත්‍රරත්නයට ඡන්දය නොදීමට තරම් මේ රටේ කළගුණ දන්නා 
ජනතාව ගුණමකුවේයයි මම හිතන්නේ නෑ.."

ක්‍රි.ව. 2040 දී ඔවුහු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ වීරයාගේ මුණුපුරාට ඔබගේ 
කැමැත්ත  ලබාගනු උදෙසා ඉදිරියට එනු ඇත. එසේ වනු ඇත්තේ ඒ වනවිට 
ශ්‍රී ලංකාව යනුවෙන් රටක් ඉතිරිව ඇත්නම් පමණක් බව වෙසෙසින් පැවසිය 
යුත්තක් නොවේමය.

කළගුණ සැලකීම යනු  පුරුදු පුහුණු කලයුතු ඉතා අගනා ගුණ ධර්මයකි. 
කිසිසේත්ම එහි අගය බාල කිරීම හෝ ඒ පහත්කොට සැළකීම මගේ අරමුණ 
නොවන බවද කිවයුතුමය. එහෙත් කළගුණ සැළකීමේ අගනා ගුණ ධර්මයට 
මුවාවී මේ නටන නාඩගමට එක හෙලා විරුද්ධ විය යුතුමය.

ගයාවෙහි ඇසතු රුක මුල වැඩ හිඳ බුද්ධත්වය ලබාගත් සිද්ධාර්ථ ගෞතමයෝ 
සත් සතියක් එතැන්හිම වැඩ වාසය කළෝය. ඉන් දෙවන සතිය ගත කළේ 
බුදුවන කල්හි සෙවණ දුන් ඇසතු රුක දෙස අනිමිස ලෝචනයෙන් බලා හිඳිමිනි.
එතැන සත් සතිය ගතකල ඉක්බිති උන්වහන්සේ ලෝ වැඩ පිණිස මිනිසුනට 
දම් දෙසනු වස් එතැනින් නික්ම ගියෝය. එසේ නික්ම යන කල්හි ඇසතු 
රුකෙහි ශාඛාවක්  සිඳ  උර මත තබාගෙන ගිය වගක් මම බුද්ධ චරිතයෙහි 
කිසිදාක කියවා නැත.

K.G.S.  සාධකය ගැන තොරතෝංචියකින් තොරව මරු කියවන මහින්දගේ 
ඇම්බැට්ටයන්ගෙන්  2010 ජනාධිපතිවරණයෙන් පසු රජය ජෙනරල් සරත් 
ෆොන්සේකාට කළගුණ සැළකූ අන්දම ගැන විමසීමට පමණ කශේරුකාව 
සෘජු එකද පුවත්පත් කලාවේදියකුවත් නොසිටීම ජාතියේම අවාසනාවකි.
ජනාධිපතිවරණය නිමවූ වහාම යුද්ධ ජයග්‍රහණයේ නියමුවා කුදලාගෙන 
ගොස් දඟගෙයි ලෑමෙන් ජනාධිපති ප්‍රමුඛ ඇම්බැට්ටයෝ තමන් කළගුණ 
සැළකීමෙහිලා කෙළපැමිණියන් බව මුළු ලොවටම ඔප්පු කලෝය.
එසේ කොට කිසිදු විලි ලජ්ජාවක් නොමැතිව " අපේ හාමුදුරුවනේ..මම ඔය 
කිසි කෙනෙකුගෙන් පළිගන්න මිනිහෙක් නෙවෙයිනෙ ..." යනුවෙන් මහානායක 
හාමුදුරුවන් හමුවේ වැඳ වැටී පැවසීමද එතුමාට ඉතාම සුළු දෙයකි.

K.G.S. සාධකය පිලිබඳව තවත් යමක් පැවසීමට මට ඉඩ දෙන්න.ජනාධිපතිතුමා 
ත්‍රස්තවාදය අවසන් කල බව සැබවි. ඒ පිළිබඳව කිසිදු විවාදයක් ද නැති. එහෙත් 
එතුමා ඉටුකලේ ව්‍යවස්ථාවෙන් රටේ නායකයා / නායිකාවට පැවරුණු කටයුත්ත 
විනා ඊට වැඩි යමක් නොවේ. ශ්‍රී ලාංකිකයින් බහුතරය ඔහුට තම කැමැත්ත 
ප්‍රකාශකොට තම නායකයා ලෙස ඔහු පත්කොට ගත්තේ ජනාධිපති පදවියට 
නියමිත රාජකාරි ඉටු කිරීමටය. අප පාරිභෝහනයට ගන්නා සියලු ද්‍රව්‍ය උදෙසා 
ගෙවන අසීමිත බදු මුදලින් ඔහු, ඔහුගේ අඹු දරුවන්, ඥාති පරපුර සහ 
අන්තේවාසිකයින් නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි.පුරා වසර නවයක් තිස්සේ 
අප ඒ බර දැරූවෙමු. තමාට පැවරුණු වගකීම ඉටුකිරීම වෙනුවෙන් කලගුණ 
සළකන ලෙස ඉල්ලා සිටීම කොපමණ සදාචාරවත්ද යන්නම ගැටළුවකි.

ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාහට බියෙන් තොරව  දිවිගෙවිය හැකි වන පරිදි නිසි 
ආරක්ෂාව සහිත දේශයක් සහ පරිසරයක් පවත්වාගැනීම රාජ්‍ය නායකයාහට 
පැවරෙන අනිවාර්ය එමෙන්ම පැහැරහැරිය නොහෙන වගකීමකි. රට පෙලන 
ත්‍රස්තවාදයක් පවතිනුයේනම් ඒ මුලිනුපුටා දමා සාමය පවත්වාගැන්මද ඊටම 
අයත්ය.ජනතාව ඉදිරියේ දිවුරා සපථකල තම වගකීම එමෙන්ම මහජන මුදලින් 
වැටුප් ලබන රාජකාරිය ඉටුකිරීම වෙනුවෙන් කළගුණ සැළකියයුතුයැයි 
ඔබ සිතනවාද?

වසර තිහකට පෙර මහ වන මැද රාජකාරි කල සමයේහි දිනෙක උදෑසන මම 
අවදිවූයේ සහළවා උණෙන් පෙළෙමිනි. දහවල් වනතුරු කල අත් බෙහෙත්වලින් 
කිසිදු සුවයක් නොවූ පසු සවස මම පොළොන්නරුව රෝහලට ඇතුල් වුනෙමි. 
එහිදී රෝග නිර්ණ තීරණය වූයේ උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයෙන් මම පෙලෙන බවකි. 
රෝගය උත්සන්න් අවස්ථාවකට ළඟාවී තිබූ බැවින් වහාම ශල්‍යකර්මයක් 
කරනු ලැබීය. එවේලෙහි රාත්‍රියෙහිම ඒ ශල්‍යකර්මය සිදුනොකෙරුනි නම් 
බොහෝවිට මගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වීමට අවකාශ තිබුනු බව 
පසුව මම වෛද්‍යවරයකුගෙන් දැනගතිමි.

එදින මගේ ජීවිතය ගලවාගත්තේ ඒ වෛද්‍යවරුන් බව නිසැකය. එහෙත් ඉන්පසු 
කිරිහට්ටියක් සහ පැණි මුලක් වැන්නක් රැගෙන ඔවුන් බැහැදැක කළගුණ 
සැළකීමට  කිසිදු දිනෙක ගිය බවක් මට මතක නැත. එසේ මම එසේ පැමිණ 
කළගුණ සළකනු ඇතැයි ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූවාටද 
සැක නැත.

පින්වතුනි/පින්වතියනි..අද දුරුතු පොහෝදා ධර්ම දේශනයේ මාතෘකාව වූයේ 
කළගුණ සැලකීමේ ආදීනව.......එබැවින් සාවධානව ධර්ම දේශනයට සවන්දී ඒ 
හොඳින් වටහාගත් මේ වාසනාවන්ත පින්වතුන් / පින්වතියන් තව දින කිහිපයකින් 
එනම් ලබන බෘහස්පතින්දා එළඹෙන්නාවූ ඒ තීරණාත්මක දිනයේදී ඔබේ 
අනාගතය, එමෙන්ම රටේ අනාගතය පිළිබඳ විනිශ්චයකට එළඹීමේදී කළගුණ 
සැළකීමෙහි ආදීනව හොඳින් වටහාගෙන සාධනීය වෙනසක් අලුත් රටක් අලුත් 
හෙටක් උදෙසා බුද්ධිමත් තීරණයක් ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු 
වන්නෙමි. ඔබ සැමට සෞභාග්‍යමත් හෙට දිනක්! නිවහල් අනාගතයක්!!

27 comments:

  1. ඡන්දය කියන්නේ රටක දේශපාලන දිශානතිය තීරණය කිරීමේ ක්‍රමවේදයක් මිසක, කලගුණ සැලකීමේ ක්‍රමවේදයක් නෙමෙයි. යුධ ජයග්‍රහණයේ ඉඳලා අද දක්වා ඇවිත් තියන ගමන ගැනයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගමන යන්නේ කොයි අතටද කියන එක ගැන ඔය කලගුණ සලකන්න කියන අයවත් කතා කරන්නේ නෑ... හැමෝම දන්නවා මේක යන්නේ ඒකාධිපතිවාදී, දූෂිත, වියරු පාලනයකට කියලා... මිනිහෙකුට ආණ්ඩුවට විරුද්ධව බය නැතුව වචනයක් කතා කරන්න බැරි... දෙකට නැමිලා ජීවත් වෙන්න සිද්ධවෙන රාජාණ්ඩුවක් තමයි මේකෙ ප්‍රතිඵලය.

    දැන් තව ඇහෙන දෙයක් තමයි, මෛත්‍රී ආවහම ඔක්කොම හරි යනවද කියලා... නෑ එහෙම වෙන්නේ නෑ. මෛත්‍රී කඳවුරේ ඉන්න අනෙක් ප්‍රධාන පුද්ගලයෝ ඔක්කොම වගේ ෆේල් අය. නමුත් මෙතන වෙනස තියෙන්නේ මෛත්‍රීව පොදු අපේක්ෂකයා කරන්න රටේ එකතු වුණු බලවේග. කලාකරුවන්, සිවිල් පුරවැසියන්, විවිධ පක්ෂ වලිත් යුත් ඉතා පුළුල් පරාසයක බලවේග මෙතැනට එකතු වෙලා ඉන්නවා...

    මේක 94දි චන්ද්‍රිකාට, 2005දි මහින්දට ලැබුණටත් වඩා පුළුල් එකක් කියලා මට හිතෙන්නේ... අපි ඔය දෙන්නා ගැන හිතුවොත්, රට හදන්න ඒ දෙන්නටම හොඳ අවස්ථා තිබ්බා... නමුත් කලේ නැහැ. කවුරු හරි කියනවා නම් මෛත්‍රීත් ඔය ටිකම තමයි කියලා, ඒක එකපාරට ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි අද රටේ ප්‍රධාන වෙනසක් තියනවා. දේශපාලන දූෂණ, කුපාඩිකම්, මැර ක්‍රියා ඉස්සර වගේ හංගන්න බැහැ. ෆේස්බුක්, බ්ලොග් හරහා රටේ සන්නිවේදනයේ වෙනසක් ඇතිවෙලා තියනවා. කැපුවත් නිල්, කැපුවත් කොල කට්ටිය හැරුණහම, ඡන්දයක් දිනවීමේ තීර්ණාත්මක සාධකය වෙන "ඡන්දය නිවැරදි අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන අය" මේ සන්නිවේදනය ගැන අවධානයෙන් ඉන්න පිරිසක් කියන එකයි මම හිතන්නේ.

    මහින්ද දිනුවොත් රට යන අත අපි දන්නවා... යුධ ජයග්‍රහණය කියන්නේ අවසන් වූ ක්‍රියාවලියක්... ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලන්න කෙනෙකුට හැකියාවක් නෑ... අනෙක් අතට රටේ සාමය ආරක්ෂා කිරීම කියන්නේ පත්වෙන ඕනෑම ජනාධිපතිවරයෙකුට පැවරෙන කාර්යභාරයක්. මේ වෙලාවේ ලොකුම අවශ්‍යතාවය තමයි රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගන්න තියන පොඩි හරි ඉඩකඩ විවර කරගන්න එක. ඒකෙ නියම ආරම්භය සිද්ධවෙන්නේ 8 වෙනිදා... ඊට පස්සෙ තමයි අමාරු කොටස... නමුත් ඒක විතරයි අපිට ඉතුරු වෙලා තියන එකම විකල්පය...

    ReplyDelete
    Replies
    1. එකගයි තිසර........

      Delete
    2. තිසර,

      නිර්මාල් රංජිත් දේවසිරි මම හිතන්නෙ...කියල තිබ්බ මහින්දට කළගුණ සලකන්න ඕනම කියල හිතෙනව නම් අපි හැමෝම අලුත් අවුරුද්දට කිරි හට්ටිය ගානෙ අරගෙන මැදමුලන කාල්ටන් බංගලාවට යන එකයි කරන්න ඕන...එහෙම නැතුව මේ පිස්සු කෙලල හරියන්නෙ නැතය කියල....:)

      Delete
  2. මමනම් යුද්දය දිනාගැනීමේ ගව්ර්වය මහින්දට පමණක් නොදෙන්නෙමි , ඔහුද එහි කොටස් කාරයෙක් පමණි , වන් ඩේ ක්‍රිකට් තරඟයකදී දිනුම සඳහා ලකුණු 200ක් අවැසි වෙලාවක තමන්ගේ පිලේ ලකුණු 198ක් තිබෙන මොහොතක , අවසාන පන්දුවට 4 රේ පහරක් ගසා තරඟය ජය ගත්තම එම 4 පහර ගැසූ ක්‍රීඩකයා ටම ප්‍රසාදය හිමිවිය යුතුද ? සමහර විට තරඟයේ වීරයා වෙන්නේ එම කණ්ඩායමේම පන්දු 36 කට මුහුණදී ලකුණු 91 වගේ රැස්කළ ක්‍රීඩක යා යි .
    මෙට පෙර වඩමරාච්චි මෙහෙයුමේදී ඉන්දියාව මැදිහත් වුනේ නැතිනම් එදා ප්‍රභා විනාස වෙනවා , යුදයේ මුල් වකවානුවේදී ඉන්දියාව අනවශ්‍ය ලෙස මැදිහත් වුනා , අපිට යුද කරන්න වෙලා තිබුනේ , ඉන්දියාව සමගයි .

    අප මෙවරත් කළගුණ සැලකීමට මහින්දට චන්දය දුන්නොත් , ඔහු අපිටද නොමසුරුව කාලගුණ සලකනවා ඒ කෙසේද යත් , 19 වන ව්‍යවස්ථා සංශෝදනය මගින් පරපුරෙන් පරපුරට රජකම පැවරෙන ක්‍රමය ලබාදී , මැතිවරණ සඳහා විනාස වන මුදල්ද ඉතිරිකර දීමයි . එවිට අපි දන්නවා ඊ ළඟ රජු නාමල් කුමරා බවත් , ඔහුගෙන් පසු යුව රජු කුමරු හෝ නාමල්ගේ පුත් කුමරු බවත් ,
    එවිට විමල්, ජැකා ලා , හ ඩ් ඩා , වගේ වුන්ට කියන්න පුළුවන් පර සුද්දා නැතිකරපු අපේ රාජ්‍ය පාලන ක්‍රමයත් මහින්ද මහා රජු විසින් ස්ථාපනය කෙරුවා කියලා .sf

    ReplyDelete
    Replies
    1. Fernando Surendra.

      ඔබ හරි..මේ මනුස්සය බැරිවෙලාවත් දිනුවොත් එහෙම ඊළඟට කරනදේ හිතාගන්ට වත් බැරිවෙයි ඔන්න..

      Delete
  3. //ඒ මහා වීරයාගේ පුත්‍රරත්නයට// එහෙනං... එහෙනං... තව නෑකම් 4 ක්ම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Madhumadhavi,

      නෑකම් ද .....නෑදෑයොද?

      Delete
  4. අනේ මන්ද... මං කතා කරපු අපේ තාත්තයි එයාගෙ වයසෙ කීපදෙනෙක්මයි කිව්වෙ මේ රටට හරියන්නෙ රාජාණ්ඩුවක් තමයි කියල.. එහෙම නැතුව මේ රට හදන්න බෑලු.... ඒකාධිපතියෙක් නැතුව මේ රටේ වැඩක් කෙරෙන්නෙ නෑලු....

    ඕවට තර්ක කරන්න තරං අපි ඉතිහාසය දන්නෙ නෑලු... ඒ ඉතිහාසය අපි ඉගෙන ගත්තෙ නෑ ලු.. ඒක නැති කළේ ජේ ආර්ලු...

    පහුගිය කාලෙ එකෙක් එක්ක තරහට අනිත් එකාට කිය කිය, අරෑට වඩා මූ අපිට කරයි කියල හිත හිත, හොරුන්ටයි තක්කඩින්ටයි ඡන්දෙ දුන්න මිනිස්සු එක්ක දේශපාලනේ කතා කරනවට වඩා හොඳයි බීරි අලි ටිකක් ගෙනල්ල සර්කස් පෙන්නන්න ඉගැන්නුවනං...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ක්‍රියාත්මකවන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අඩුපාඩුකම් නිසා මහජනයා රාජාණ්ඩුවක් හෝ benevolent dictator කෙනෙක් හොඳයි සිතීම ස්වාභාවිකයි. එහෙත් මෙවැනි රටක රජු හෝ ආඥාදායකයෙක් දිගුකාලීනව හොඳට සිටී යයි අපේක්ශාකල නොහැක. ඔහු නරක් වූවිට ඔහු අයින් කිරීම මේ අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ වුවද පාලකයෙක් වෙනස් කිරීමට වඩා ඉතා දුෂ්කර ලේ වැගිරෙන ක්‍රියාදාමයක් වේ. එනිසා මේ ජරා ප්‍රජාතන්ත්‍රවාදය ටික කලකට සොඳුරුයයි සිතෙන රාජාණ්ඩුවකට වඩා අන්තරාදායක බවින් අඩුය.
      අනිත් එක ඔය රාජාණ්ඩු හොඳයි කියල අපිට හිතෙන්නේ දැන් ඉන්න හොර තක්කඩි දේශපාලකයන් නිසා නම් ඒකේ වරද ක්‍රමයට වඩා ඒ අයට චන්දෙ දෙන මහජනයා අතෙයි. පහල මට්ටමේ චන්දයකදී නම් හොර චන්ද වැටෙන්නේ නොසැලකියයුතු සංක්යාවක්. එතකොට හොර තක්කඩි දිනන්නේ කොහොමද?
      හොඳ රජෙක් හිටියත් අපේ මිනිස්සු ඉක්මනට රජාව නරක් කරයි. මිනිස්සු quality conscious වෙලා කොලිටි ඩිමාන්ඩ් කරනකම් කොලිටි ලැබෙන්නේ නෑ. අපි කොයිතරම් මෙතන පණ්ඩිත කතා කිව්වත් ලංකාවෙ බහුතර ජනතාව කොලිටි කියන්නෙ මොකක්ද කියලවත් හිතනවද? :-D

      Delete
    2. Hiru,

      / අනේ මන්ද... මං කතා කරපු අපේ තාත්තයි එයාගෙ වයසෙ කීපදෙනෙක්මයි කිව්වෙ මේ රටට හරියන්නෙ රාජාණ්ඩුවක් තමයි කියල.. එහෙම නැතුව මේ රට හදන්න බෑලු.... ඒකාධිපතියෙක් නැතුව මේ රටේ වැඩක් කෙරෙන්නෙ නෑලු.... /

      තාත්තල ඒ කියන කතාවෙ පොඩි ඇත්තක් තියනව. සිංහල මිනිස්සු සාමාන්‍යයෙන් බලය පාවිච්චි කලේ නැත්නම් ස්වේච්ඡාවෙන් නිවැරදිදේ, සාධාරණ දේ කරන කොට්ඨාශයක් නෙවෙයි. එහෙම ජෙනරලයිසේෂන් එකක් කරන එක එක අතකින් බැලුවම වැරදි වගෙ පේන්න පුලිවන්. ඒත් මම මේ කියන්නෙ මගෙ ශත වර්ෂ භාගයක ජීවන අත්දැකීම් වලින්.ලී කුවාන් යූ වගෙ ඒකාධිපතියෙක් සම්ටයිම්ස් ලංකාවට හරියයි. ඒත් තාත්තට කියන්න මේ මනුස්සය නම් කොහොමවත් ඒ රෝල් එකට හරියන්නෙ නෑ කියල.

      ඒත් ප්‍රා කියන කතාවට මමත් එකඟයි..මොනතරම් නරක ප්‍රජාතන්ත්‍රවාදයක් උනත් ආඥාදායකත්වයකට වඩා අනිවාර්යයෙන්ම හොඳයි වෙන්න ඕන..ඒකෙ ආය දෙකක් නෑ.

      Delete
    3. Pra,

      Democracy cannot succeed unless those who express their choice are prepared to choose wisely. The real safeguard of democracy, therefore, is education. - Franklin D. Roosevelt

      Delete
  5. හම්මේ ඡන්ද ප්‍රචාරක කටයුතුත් නැවතිලා හින්දා සෑහෙන දවසකින් වාඩි උනා බ්ලොග් ටිකක් පිලිවෙලට බලන්න කියලා හිත හදාගෙන.. නමෝ විත්තියෙන් අත තිබ්බා විතරයි මෙන්න යකෝ මෙතනත් හෝ ගාලා මැතිවරණ නීති උල්ලංඝණය කොරනවා.. :D
    මේක හරි යන්නේ නැහැ... අපිත් බලන්ට ඕන හිමිං සීරුවේ ඡන්ද නීති උල්ලංඝණය කොරන්ට... :D :D :D

    ReplyDelete
    Replies
    1. මාර්ස්,

      / නමෝ විත්තියෙන් අත තිබ්බා විතරයි මෙන්න යකෝ මෙතනත් හෝ ගාලා මැතිවරණ නීති උල්ලංඝණය කොරනවා.. :D /

      අනේ නෑ බං..මම මේ පෝස්ට් එක රෑ 12 ට කලින් දාන්න තමයි හිටියෙ. ඒත් මොකක්ද අවුලක් වෙලා හරියට පබිලිස් වෙන්නෙ නැතුව ගියා. ඒ පාර බොහොම අමාරුවෙන් දත කාල තමයි ඔය දාගත්තෙ...:)

      Delete
  6. සින්හල බොග් අවකාසේ My3 ට පක්ශව සූ ගල පොස්ට් සහ කොමෙන්ට්ස්!!!

    මහින්ද මාම ගේ පැත්තට කවුරුත් පොඅස්ට් දමන්නෙ නැති හැඩයි...

    මෙන්න මගේ නිදහස් සිතිවිල්ල:

    ස ර ස වන මා නම් කැත නැතිව ලබන අට වෙනිදට මහින්ද මාමට චන්දේ දානවා

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      / ස ර ස වන මා නම් කැත නැතිව ලබන අට වෙනිදට මහින්ද මාමට චන්දේ දානවා /

      අවුලක් නෑ සරස, තමන් කැමති කෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කිරීමේ වගේම තමන් අකමැති කෙනෙකුට විරෝධය ප්‍රකාශ කීරිමේ අයිතියත් හැමෝටම තියනව. අඩු ගණනෙ අර අපේ මේ උතුම් දිවයිනට විරුද්ධව පැය විසිහතරෙම කුමන්තරන කරන බටහිර අදිරාජ්ජවාදීන්ගෙ ප්‍රජාතන්තර වාදෙ අනුවනම් එහෙමයි.මහින්දට චන්දෙ දුන්නය කියල කවුරුවත් ඔහෙගෙ යටි බඩට පයිං ගහන එකක් නෑ, මූණ පුරවල ගල් පාරක් දෙන එකක් නෑ, බිම දාගෙන ගුටි ගහන එකකුත් නෑ, වෙඩි තියන එකකුත් නෑ.

      ඔබට සුබ අනාගතයක්!!!

      Delete
  7. //උණ්ඩුකපුච්ඡ ප්‍රදාහයෙන් මම පෙලෙන බවකි// වැරදිලාවත් මෙතුමා ඔය සැත්කම කරපු රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිළධාරියා වෙලා හිටියනම්.. හෙහ් හෙහ්.. එහෙනම් වීරවංශ අනිවාර්යෙන්ම රවි අයියට බලපෑම් කරනවා මෙතුමට කළගුණ සලකන්න එතුමාට හිතෙන හිතෙන වෙලාවට රවී අයියා එතුමට උණ්ඩුකපුච්ඡය ප්‍රධානය කල යුතුයි කියල.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / එහෙනම් වීරවංශ අනිවාර්යෙන්ම රවි අයියට බලපෑම් කරනවා මෙතුමට කළගුණ සලකන්න එතුමාට හිතෙන හිතෙන වෙලාවට රවී අයියා එතුමට උණ්ඩුකපුච්ඡය ප්‍රධානය කල යුතුයි කියල.. /හැක් හැක්.. 

      අම්මාපල්ල ඔය හැල ගෙම්බා ඔය K.G.S. කෑල්ල කියන විදිහ තමයි බලන්ට වටින්නෙ. අත මිට මොලවල උඩට උස්සනවා, රැවුල පුම්බනව, රැවුල් ගස්වල අක්ෂය මූණෙ අපිචර්මයට ලම්බකව උද්දීපනය වෙනවා.ජෙල් ආලේපිත කේස දාතු ක්‍රමාකුංචනය වෙනවා. ලැන්ගර්හැන් දීපිකා සලිත වෙනවා. ජඝන ඵලකාස්ථිය ප්‍රකම්පනය වෙනවා. ලීබර්කූන් ලෙන් අනුනාද වෙනවා. කොටිම්ම සකල ලෝක ධාතුවම අකම්පාල වෙනවා. අවසාන වශයෙන් පොළව මහී කාන්තාව තෙවරක් සාදු කාර දෙනවා.කොහොමද සෙල්ලම?

      Delete
  8. මේ අවස්ථාවෙ කළගුණ සැලකිය හැකි හොඳම විදිය තමයි ඉතිරිවෙලා තියෙන ගෞරව ඇබින්දවත් බේරගෙන දෙයියනේ කියල ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න මහින්දට විරුද්ධව කතිරය ගහන එක...

    නැත්නම් ඉදිරියෙදිත් අපට බලන් ඉන්න සිද්දවෙනවා බලය නිසා උද්දච්ච උන්මාදයකට පත් වුණු රජ කෙනෙක්ගෙ වියරුව. ඒක රටටත් රජුටත් විශාල හානියක්...

    ReplyDelete
    Replies
    1. තරුරසී,

      ඔබ හා එකඟයි.......:)

      Delete
  9. @ වැව් ඉස්මත්ත. තෝ තැපැල් ඡන්දෙ දාලා ඉවරනම් කටපියන් හිටු. රටේ නායකයාට විරුද්ද්ව ඇරලි නොගහා

    ReplyDelete
  10. මම මේ කේ ජී එස් කතාව තේරුම් ගන්න බැරිව බොගෙ අමේ බ්ලොග් මඟුල දහ පාරක් විතර කියෙව්වා රවියෝ.
    උඹට නම් හොඳටම පිස්සු. ඕවා ලියනකොට අපි වගේ අහිංසක පොඩි එවුන් මේ බ්ලොග් කියවනවා කියලා මතක තියාගෙන ලියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. Rangi,

      / මම මේ කේ ජී එස් කතාව තේරුම් ගන්න බැරිව බොගෙ අමේ බ්ලොග් මඟුල දහ පාරක් විතර කියෙව්වා ../

      ඇයි බොල යමක් කියවනකොට සාවධානව කියවහංකො...මේ ටික දැක්කෙ නැත?

      / මෙලෙස හිටපු ජනාධිපතිතුමා අලෙවි කල හැකි සියලු සාධක නිෂේධනය වී ගිය සඳ K.G.S. සාධකය නොහොත් කළගුණ සැළකීමේ සාධකය අද පෙරමුණට පැමිණ ඇත./

      Delete
  11. අපි ඉතින් හැමදාම කළගුණ සැළකුවට ඡන්දෙ දෙන අපිට කළගුණ සලකන්න කට්ටියට හරි ඉක්මනට අමතක වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ආය මොනවද මල්ලි ? පහුවදට ඔය ඔක්කොම අමතකයි...:)

      Delete
  12. රවි අපේ ඇසු පෑදුවට කළ ගුණ සලකන්න, ඕං මාත් කිරිහට්ටියක් අරං ගෙදර ගිහිං පවුලේ හැමෝම එක්ක බෙදාගෙන කනවා...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...