Friday, August 18, 2017

523. The Story Of My Marriage - 42 - Mrs. Srinivas is on the war path & who can blame her….

මුම්බායි කොටස් වෙළඳ පලෙහි ගනුදෙනු කරන
අවස්ථාවක් ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
Google Images

සති දෙකකට වගෙ ඉස්සෙල්ල තිබ්බ ක්‍රිකට් කාන්තා ලෝක ශූරතාවයෙ අවසාන තරඟය. මට කොහොම හරි ඒ තරඟය බලන්න ලැබුනෙ ඊයෙ. තරඟය පැවැත්වුනෙ එංගලන්තය සහ ඉන්දියාව අතර. තියුණු තරඟයකින් පස්සෙ එංගලන්ත ක්‍රීඩිකාවො ජයග්‍රහණය කලා.

මට ඇත්තටම කියන්න ඕන කලේ ඒ තරඟය ගැන නම් නෙවෙයි. එංගලන්ත කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නිය වුනේ ආන්‍යා ෂ්‍රබ්සෝල්. ඇය කඩුළු හයක් දවාගෙන තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසටද සම්මානයට පාත්‍රවුනා. 

ඉතිං මේ ආන්‍යා කියන නම ඇහෙද්දි මට නිකම් බොහොම සුපුරුදු ගතියක් වගෙ හිතට දැනුන. ටිකක් වෙලා ගියාමනෙ මතක් වුනේ ආන්‍යා නෙවෙයිනෙ බොලේ.....අනන්‍යා.....අනන්‍යා....

අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය....අප්පේ මට එතුමිය අමතකම වෙලානෙ තිබ්බෙ. කොහෙද අර කොන්ක්‍රීට් බලකායෙ ප්‍රසන්නය එහෙම හිටියට නිකමටවත් මතක් කරන එකක්ය. ඕකට මේ පාර අර බ්ලොග් වසන්තෙ තරඟෙදි මම චන්දෙත් දුන්න. අපරාදෙ…

ටිකක් හෝදිසි කරල බැලින්නම් අන්තිමට අනන්‍යාගෙ කතන්දරේ ලියල තියෙන්නෙ මැයි  එකොළොස්වෙනිද. මාස තුනකටත් එහා. ඉතිං මම කලේ දනිපනි ගාල කතාව ලියන්ට ගත්ත. අන්තිම කොටස ලිව්වෙ මාස තුනකටත් එහා හින්ද අන්තිමටම ලියපු කොටස් පහේ ලින්ක් දාන්නම් එහෙනම් අමතක කාටහරි ආයම මෙමරි කැපෑකුටි එක රිෆ්‍රෙෂ් කරගන්ට උවමනානම් එහෙම...







එහෙනම් ඔන්න ළමයි අද එතැන් සිට..........

ශ්‍රී නිවාස් මහත්මිය සිටි බැංකුවේ චෙන්නයි ශාඛාවට කඩා වැදුනේ කුණාටු දර්ශකයේ ප්‍රථම කාණ්ඩය යටතේ වර්ග කල හැකි චණ්ඩ මාරුතයක් හා සමඟ එක්වරම රික්ටර් මාපාංකයේ 9.8 සටහන්වන බලවත් භූමි කම්පාවක් හටගත් අවස්ථාවක් සිහිපත් කරවමිනි. එවන් අති භයානක ගණයේ ස්වාභාවික විපත් දෙකක් එක්වර සිදුවීම ඉතාම අහම්බයක් බැවින් මේ අවස්ථාව පෞද්ගලිකවම අත්විඳ පළමෝත අත්දැකීමක් ලබා ගැනීමට චෙන්නයි විශ්ව විද්‍යාලයෙහි භූවිද්‍යාව හදාරන සිසුන් සිසුවියන්ට ආරධනා කල නොහැකිවීම මගේ මහත් පසුතැවිල්ලට හේතුවිය.

ඇය කොපමණ වික්ෂිප්තව සහ නොසන්සුන්ව සිටියේද යත් ඇය පත්ව හුන් අසරණ තත්වය නොවන්නට මට සිනහ වළකා ගත හැකි නොවනු නිසැකය. එහෙත් ඇගේ කෑගැසීම අසා අවශේෂ අංශයන්හි සේවයේ නියුතු කිහිප දෙනෙක් මගේ කුටියේ දොර අසල රැස්ව දෑස් හයා බලාසිටින්නට වූහ. එහෙත් මගේ නොපහන් මුහුණ දුටු ඔවුහු එකිනෙකා එතැනින් සෙමෙන් ඉවතට ගියෝය. මම වහා මගේ කුටියෙහි දොර වසා දැමීමි.

ශ්‍රීනිවාස් මහත්මියගේ නොසන්සුන් භාවය කොපමණද යත් ඇය මිනිත්තු දෙකක පමණ කාලයක් මහහඬින් දෙමළ භාෂාවෙන් මොන මොනවාදෝ කියවාගෙන ගියාය. අවසන මම තීරණය කලේ අනන්‍යාට දුරකථන ඇමතුමක් ගෙන රිසීවරය ශ්‍රීනිවාස් මහත්මියට ලබාදී මෙසේ පවසන්නටය. " නෝනා ඔය කියන මොකවත් මට තේරෙන්නෙ නෑ. ඒ හින්ද ඔය කියන ටික මේ ටෙලිෆෝන් එකට කියනවද? එතකොට මට ඊට පස්සෙ දැනගත්තෑකි ඔහේ මොනවද කිව්වෙ කියල? ඊට පස්සෙ මම පුලුවන් විදිහට උත්තරයක් දෙන්නම්. ඔහේ දිගටම දෙමළෙන් නම් කතා කරන්ට බලාපොරොත්තු වෙන්නෙ අපිට මේ සංවාදය කරගෙන යන්න වෙන්නෙ එහෙම තමයි"

මම එසේ පවසන්නට සැරසෙත්ම ඇය තම ඒකපාත්‍ර භාෂණය (Monologue) නතරකොට විසල් කොටගත් දෑසින් යුතුව මදෙස මොහොතක් බලා සිටියාය. "ඔහ්..සමාවෙන්න..ඔහේ දෙමළ දන්නෙ නෑ කියල මට අමතක වුනා" 

"ආ..ඒකට කමක් නෑ මිසිස් ශ්‍රීනිවාස්…" මම මඳ සිනහවක් දෙතොලට නඟා ගනිමින් පැවසුවෙමි.

"හරි මට ඕනෙ ඔහේගෙන් දැනගන්ට මේ වුනේ මොකක්ද කියල. ඒ එක්කම මට වෙච්චි අලාබෙ පියවගන්නෙ කොහොමද කියන එකත් කරුණාකරල කියන්න මට.."

"මැඩම් මෙහෙමයි…" මම දීර්ඝ කරුණු දැක්වීමකට සූදානම්ව උගුර පෑදීමි.

"මට ඔහේ කිව්වෙ බොහොම ඉක්මනට මම අර කොම්පැණි වලට දාපු සල්ලි ..මොකක්ද ඔහේ එහෙම සල්ලි දානවට යස නමකුත් කිව්ව..මට දැන් මතක නෑනෙ..මොකක්ද ඒ ෂෝක් නම?"

"ආයෝජනය.." මම දෙනෙත් පහතට හරවාගත්වනම කෙඳිරීමි. 

"අන්න හරි... අන්න හරි... ආයෝජනය තමයි. ඔහේ මට දහ අතේ දිවුරල පොරොන්දු වුනා මගෙ සල්ලි ඔය මොකක්ද කෙහෙල්මල් කොම්පැණියෙ ආයෝජනය කලාම මාසයක් දෙකක් යද්දි ඒ සල්ලි දෙගුණ වෙනව කියල. දෙගුනෙ කොහොම වෙතත් මම ඒ ආලෝචනය... "

"ආයෝජනය…….." මම සිහින් හඬින් ඇය නිවැරදි කළෙමි.

"හරි හරි මොන කෙහෙල්මලක් හරි. නමෙන් වැඩක් නෑනෙ මනුස්සයො. සල්ලි වලට වෙච්ච් දේනෙ වැදගත්. දැන් බලනව ඒ සල්ලි වලින් සීයට හැත්තෑවක්ම ආගිය අතක් නෑ....අතුරුදහන් වෙලා..අතුරුදහන් වෙලා…" ඇය යටිගිරියෙන් කෑගැසුවාය.

ඇගේ කෑගැසීම අසා මගේ කුටිය වෙත දිවගෙන එන කිහිප දෙනෙකුගේ ඡායාවන් ලාඅළු පැහැති තීන්ත ආලේප කල වීදුරු දොර තුලින් මට දැකගත හැකිවිය. ඔවුහු දොර අසල නතරවූ බවද මට දැකගත හැකිවිය. "දෙයියෝ සක්කි මම මේ ගෑණු මනුස්සයට අඩන්තේට්ටම් කරනවයි කියල හිතයිද මන්ද මේ යක්කු?..එහෙම හිතල පොලීසියටවත් කියයිද? නෑ එහෙම වෙන එකක් නෑ" අසුනින් නැඟිට ගොස් දොර විවර කිරීමට ද එක මොහොතක සිතුනු මුත් මම එසේ නොකළෙමි. "ආය දොර අරින්ට ඕන නෑ. මොනව හරි කියල මේ මනුස්සය ෂේප් කරල දානව. බෙල්ල මිරිකන්ටම වගෙ ආවොත් දුවල ගිහිල්ල දොර ඇරල එළියට පනිනව" එසේ තීරණය කල මම ශ්‍රීනිවාස් මහත්මිය දෙසට හැරී හරි බරි ගැසුණෙමි.

"ඇත්තටම මැඩම් මොකක්ද දන්නවද වුනේ? "

"ඔව් මොකක්ද වුනේ?... මම නම් දන්නෙ මගෙ සල්ලි නැතිවෙච්චි එක විතරයි. ඔහේ දන්නවනම් කියන්නකො ඊට අමතරව මොකක්ද වුනේ කියල" ශ්‍රීනිවාස් මහත්මියගේ මුවඟ රැඳි සෝපාහාසාත්මක සිනහව නොදුටුසේ මම කථා කරගෙන ගියෙමි. 

"මැඩම් ඇත්තටම වුනේ ස්ටොක් මාර්කට් එක ස්ව-නිවැරදිකරණ අවස්ථාවකට පත්වුන එක. ඉංග්‍රීසියෙන් කියන්නෙ Self-correction mode කියල..එහෙම අවස්ථා කාලෙන් කාලෙට ඇතිවෙනව. ඒක බොහොම ස්වාභාවිකයි."

සංකීර්ණ පාරිභාෂික වදන්වල ප්‍රයෝජනය මට කෙමෙන් වැටහෙමින් තිබිණි. එවන් සාමාන්‍ය පොදු ජනයා නිවැරදි අර්ථය නොදන්නා ගැඹුරු වදන් භාවිතය පිළිතුරු නොමැති අසීරු ප්‍රශ්න හමුවේ තම ගෞරවය ආරක්ෂා කොට ගැන්මෙහිලා මහෝපකාරී වනු ඇත.

"විකාර කියවන්න එපා මනුස්සයො..සෙල්ෆ් කරෙක්ෂන් කෙහෙල්මල..මගෙ සල්ලි ලක්ෂ දහයක් ඉවරයි..එච්චරයි මම දන්නෙ.." ඇය යලිත් යටිගිරියෙන් කෑගැසුවාය. එවරනම් මගේ කුඩා කුටියෙහි වීදුරු බිත්ති පවා කම්පනය කරවන්නට ඒ කෑගැසීම සමත් විය.

ඇය මෙලෙස තව දෙතුන් වරක් කෑගැසුවහොත් නිසැකවම මගේ කුටියෙහි වීදුරු බිත්ති මගේ හිසමත කඩා වැටෙනු නියත බව මට හැඟී ගියේය. 

අප කාර්යාල පරිශ්‍රයෙහි පසුපස කොටසේ ආයතන අංශය පවත්වාගෙන යන ලද ගොඩනැඟිල්ලෙහි අලුත්වැඩියා කටයුතු උදෙසා සියලු වීදුරු බිත්ති මේ දිනවල කඩා ඉවත්කරගෙන යන බවද ඒ සමඟම මගේ මතකයට නැඟිනි.

ශ්‍රීනිවාස් මහත්මිය සමඟ මගේ සාකච්ඡාව ඒ ආයතන අංශයට ගෙන ගියහොත් එහි වීදු රු බිත්ති කඩා බිඳ දැමීම කිසිදු වියදමකින් තොරව ඉටුකර ගත හැකි නොවේදැයි මට ඒ සමඟම සිහියට නැඟිනි. "මැඩම් මම කියන්ටද? අපේ මේ සාකච්ඡාව අපි වෙන තැනක කරමුද?"  ශ්‍රීනිවාස් මහත්මියගෙන් එසේ විමසන්නට මට සිතිණි. එසේ විමසුවහොත් ඇය නිසැකවම මෙසේ පිළිතුරුදෙනු ඇත. "වෙන තැනක? වෙන තැනක? මට වෙන කොහෙවත් යන්ට උවමනාවක් නෑ හලෝ.. ඔහේ තමයි මාව මේ අමාරුවෙ දැම්මෙ.මට උත්තර ඕනෙත් ඔහේගෙන්"......."ෂෙහ් අපරාදෙ..කොහොම හරි ආයතන අංශෙට එක්ක ගියානම් මේ අම්මණ්ඩිගෙ මේ කෑගැහිල්ලට අඩුගානෙ බිත්ති දෙකක් වත් බිම දාගන්ට තිබ්බ" මම තොල මැතිරීමි.

"මොකක්ද කිව්වෙ? "

"නෑ........නෑ.....නෑ.............මොකවත් කිව්වෙ නෑ මැඩම්....ඉන්නකො මම පැහැදිලි කරන්නම්..කොටස් වෙළඳ පොල එහෙම තමයි. ඉහළ යනව පහල යනව.. ඒ කොටස් වෙළඳ පොළේ හැටි...එහෙම අවදානමක් ගන්න මැඩම් සූදානම් නැත්නම් අපි ගාව තියෙනව ඊට වඩා අවදානම අඩු ආයෝජන අවස්ථා......" කිසිදු ප්‍රයෝජනයක් නොවන බව සියයට සියයක් ස්ථිර නමුදු මම අවසාන තුරුම්පුවද පාවිච්චි කළෙමි. කම් ඕ ගෝ චිකාගෝ

"නෑ නෑ ඒ අවදානම් රහිත ආයෝජන මොකවත් මට වැඩක් නෑ. මට දැං ඔව්ව අහල ඇතිවෙලයි තියෙන්නෙ. අනික මම තමුන්ට කිව්වෙ ස්ථාවර තැන්පතුවක් දාන්ට කියල. තමුන් ඒක ඇහුවෙ නැතුව මට බලකල මේ කෙහෙල්මල් ආයෝජනයක් කරන්ට කියල. දැන් බලනව ඒකෙං වෙච්ච වැඩේ ඔය ගොල්ලො මගෙ සල්ලි නැතිකලා. ඒ හින්ද මම සිටි බැංකුවෙ මගෙ එකවුන්ට් එක මේ මොහොතෙම වහල දානව. මම හිතං ඉන්නෙ මේ එකවුන්ට් එකේ තියන සල්ලි ඔක්කොම ව්‍යාස්‍ය බෑන්ක් එකේ එකවුන්ට් එකක් ඇරල ඒකට දාන්ට"

එවිටම ඇසුණු දොරට සෙමෙන් තට්ටු කරන හඬ මට අසුනින් නැඟිට ශ්‍රීනිවාස් මහත්මියගේ කෝපාවිෂ්ඨ බැල්ම මඟ හැරීමට අනගි අවස්ථාවක් ලබා දුන්නේය.

"සමාවෙන්න..." එසේ පවසමින් මම දොර විවර කලෙමි. 

මගේ අංශයේ සහායිකාවක් විවිධ රසකැවිලි සහ තේ සහිත රිදී පැහැ බන්දේසියක් රැගෙන පැමිණ එය ශ්නිවාස් මහත්මිය ඉදිරියේ තබා පිටව ගියාය. දොර යලි නොවසාම මම යලි අසුන් ගත්තෙමි. ශ්‍රීනිවාස් මහත්මිය රසකැවිළි බන්දේසිය නොදුටුවාක් මෙන් මදෙස නෙත් යොමුකොටගත් වනම හුන්නාය. ඇගේ දෑස් ලාරත් පැහැයක් ගෙන ඇත්තේ අධික කෝපය හේතුකොටගෙන විය යුතුය. 

"මැඩම් සමාවෙලා මම කියන එක පොඩ්ඩක් අහන්න. අපිට වැරදීමක් උනා තමයි. ඒත් ව්‍යාස්‍ය බැංකුව කියන්නෙ මේ ඊයෙ පෙරේද පටන්ගත්තු බැංකුවක්නෙ. ඒ වගේද සිටි බැංකුව කියන්නෙ මුලු ලෝකෙම...." ශ්‍රීනිවාස් මහත්මිය දකුණත ඔසවා මගේ කථාව නතර කලාය.

"තව එක වචනයක්වත් කියන්න එපා. කරුණාකරල ඔහෙලගෙ තියනවනෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරනකොට පුරවන්න ඕන ලියකියවිලි. දැන්ම.....මේ මොහොතෙම මට ඒ ලියකියවිලි ගෙනත් දෙන්න. මට උවමනා වෙලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනින් ඔහෙලගෙ මහ ලොකු සිටි බැංකුවත් එක්ක මගේ ගණුදෙනු සදහටම ඉවරයක් කරල මෙතනින් පිටවෙන්න."

වෙනත් කලහැකි කිසිවක් නොවීය. මම සහායකයකු ලවා අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගතිමි. තම අත්බෑගය විවරකොට රිදී රාමුවකින් හෙබි කුඩා උපැස් යුවලක් පිටතට ගත් ඇය ඒ පැළඳගෙන යටිතොල සපාගත්වනම ගිණුමක් වසාදැමීමේ අයදුම්පත්‍රය පුරවා මා වෙතට තල්ලු කොට අසුනින් නැඟී සිටියේ අවම වශයෙන් සමුගැනීමකින් හෝ තොරව නික්ම ගියාය. 

ළය හිස්ව යන පරිදි දිගු සුසුමක් හෙලූ මම අසුනෙහි හොඳින් දිග ඇදී දෑතින්ම නළල පිරිමදින්නට වීමි. සියුම් හිස රුජාවක ආරම්භක ලකුණු මට දැනෙන්නට වෙමින් තිබිණි.

එදින සවස සේවය නිමවී පිටව යාමට ප්‍රථම මම ලොබියෙහි වූ පුළුල්තිර රූපවාහිනී යන්ත්‍රයේ කොටස් වෙළඳ පොළෙහි නවතම තත්වය පිළිබඳව C.N.B.C. නාලිකාවෙහි විකාශයවූ වැඩසටහනක් නැරඹීමි. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව එදින කොටස් වෙළඳපොල ගනුදෙනු සිදුවූ වේලාව තුල පමණක් අන්තර්ජාල සමාගම්හි කොටස් වටිනාකම තවත් 5% කින් පහළ වැටී තිබිණි. 

අනුයාත සති දෙක ඇතුළත සිටි බැංකුව හා දීර්ඝ කාලයක් ගණුදෙනු කල එසේ හෙයින්ම අප කෙරෙහි දැඩි විශ්වාසය තබා තම මුදල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකළ සමාගම්වල ආයෝජනය කල ගනුදෙනු කරුවෝ සමස්තයක් වශයෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අලාභ වින්දෝය. ඔවුන් සියල්ලෝම තම ගිණුම් වසා දමා අධික වර්ෂාවකට හෝ යලි සිටි බැංකුවට හොඩ නොවන බවට දහ අතේ දිවුරමින් පිටව ගිය බව වෙසෙසින් පැවසිය යුත්තක් නොවේමය. 

මගේ ගනුදෙනු කරුවන්ගෙන් අපට අහිමි වූයේ ශ්‍රීනිවාස් මහත්මිය හැරෙන්නට තවත් එවැනිම ගණුදෙනු කාරියක් පමණි. බාලාගේ දැඩි බලකිරීම නිසාම මිස නැතහොත් අන්තර්ජාල සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ගණුදෙනු කරුවන් පෙළඹවීමෙහිලා මට කිසිදු උනන්දුවක් නොවීය.

එබැවින් බහුතරයක් ගනුදෙනුකරුවන් මේ සඳහා පොළඹවා ගනු ලැබූයේ බාලා සහ ඔහුගේ විශ්වාසී සහකරුවන් කණ්ඩායම විසිනි. එළෙසම මුම්බායිහී පිහිටි සිටි බැංකුවේ ඉන්දීය මූලස්ථානයේ උසස් නිලධාරීන්හට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වග උත්තර බැඳීමටද සිදුවූයේ ද අංශ ප්‍රධානියාවූ බාලාහටය.

Thursday, August 10, 2017

522. සෙනෙහසක් ගලා ගිය ලකුණු ඇඳි හදවතේ - නොහැඟවූ ආදරය - The Eternal Torment of Unexpressed Love


මේසයක් මත තැබූ කහ සහ රතු පැහැති
අරලිය මල් දෙකක්.....Getty Images

සිතක බැඳි සෙනෙහසක්,
සඟවගෙන ඉන්න බෑ,
අසණියක මතු වෙන්නෙ,
මේකුලක් පිටිපස්සෙ,
ඇඳෙන විදුලිය වාගෙ,

පරණවිතාන මහත්තය විජ්ජුලතා කිව්වෙ මන්දාරම් වෙලාවෙ අහස් කුස එළිය කරන විදුලි දහරාවන්ට. එතුමා කිව්වෙ සීගිරි ළඳුන් අතරින් රන්වන් ළඳුන්ගෙන් විජ්ජුලතා සහ අඳුරුවන් ලඳුන්ගෙන් මේඝලතා සංකේතනය වන බව.

අට වසරෙ අපිට ඉතිහාසය උගන්නපු ජයසේකර මහත්තය කලුලෑල්ල වැහෙන්ට සීගිරි ළඳුන්ගෙ ජීවමාන ප්‍රමාණයෙ සිතුවම් එල්ලලයි ලංකා ඉතිහාසයෙ සීගිරි යුගය පාඩම ඉගැන්නුවෙ. 

පාඩමට ඇහුංකං දෙන අතරෙ පන්තියෙ අනික් පැත්තෙ මට ඉස්සරහ පේළියෙ කෙළවරේම ඉඳගෙන උන්නු ඇය දිහා මම හොරැහින් බැලුව. එහම බලනවට කියන්නෙ කටාක්ෂ නිරීක්ෂණය කියල.

ඇස් කොණින් නුඹ මවෙත හෙලන බැල්මට ලඳුනි, 
මගේ සිත දැවීයයි වියළි තණ බිමක්සේ…

ඒ වෙලාවෙ හැබැයි ඇත්තම කිව්වොත් ඇගේ පූර්ණ අවධානය යොමු වෙලා තිබුනෙ ජයසේකර මහත්තය කෙරෙහි. ඒත් අර කතාවක් තියනවනෙ තමන් දිහාවෙ කවුරුන් හෝ එක එල්ලේ බලා ඉන්නව අපෙන් බහුතරයකට සවනේන්ද්‍රියකින් වගෙ දැනෙනව කියල. ඇයත් මම හිතන්නෙ එහෙමයි. ඉස්සෙල්ලම මම දැක්කෙ ඇගේ වම් කම්මුල ලාරත් පැහැයකට හැරෙනව. ඊට පස්සෙ හෙමීට ඒ ලාරත් පැහැය ගෙල දක්වා පැතිරගියා. 

"සීගිරියෙ මේ වගෙ දැවැන්ත ඉදිකිරීමක් කරන්නට කාශ්‍යප රජතුමාට ...... "

ජයසේකර මහත්තයගෙ කටහඬ ටිකෙන් ටික අඩුවී අවසන නෑසී ගියේය. එසැණින් ඇය සෙමෙන් හිස හරවා මදෙස බැලුවාය..............සෙමෙන් ළය මුළුමනින් පිරීයන පරිදි හුස්මක් ඉහළට ගත් මම මම දෑස් පියාගතිමි.

"අර විජ්ජුලතා කතාව ගැන මොකද ඔයා හිතන්නෙ?"

එදින සවස පාසල් ක්‍රීඩා පිටිය කෙළවර සුවිසල් මාර ගස සෙවණෙහි වූ ගලින් නිමවූ අසුන මත මා අසළ හිඳ අපගේ යහළු යෙහෙළියන් පිටියෙහි ක්‍රීඩා කරන අයුරු මඳ සිනහවකින් විකසිත වූ මුවින් යුතුව නරඹමින් හුන් ඇගෙන් මම විමසීමි.

" පිස්සුනෙ………"

"කාටද? ජයසේකර සර්ට? "

"නෑ..නෑ..මිස්ටර් පරණවිතානට...හිහ්..හිහ්...ඔය ඈත අතීතයෙ සිද්ධ වෙච්චි දේවල් ගැන හරියටම පිළිගත හැකි සාක්ෂි නැත්නම් අර්ථ කථන දෙන්ට යන එක එච්චර සාර්ථක නෑ.."

අපගේ පන්තියේ දක්ෂතම ශිෂ්‍යාව වූ ඇගේ මතයන්ට බොහෝ ගුරුවර ගුරුවරියෝ පවා ගරු කළෝය.

ඒ දශක හතරකුත් තවත් ටිකකට පෙර කලකදීය. කාය ගෙවී ගියේ සක්වළ සිසාරායන්නාවූ අන්තරීක්ෂ කිරණයක වේගයද පරදවමිනි.

රජයේ විශ්‍රාම වැටුප් ගෙවීමේ දිනය යෙදුනු පසුගිය ගුරුදින ඇය අප නිවස අද්දර දෙවට ඔස්සේ සෙමෙන් පියනඟා පැමිණියේ සුදු පැහැති ඔසරියකින් සැරසීය.

"අහ්..අද කවදද හරියටම? පෙබරවාරි නමය නේද? චන්ද්‍රසිරි නැතිවෙලා අනිද්දට අවුරුදු කීයක්ද? පහක්..නෑ..හයක් නේද?" එසේ තොල මතුරමින් මම අඩක් විවරවූ කවුළුව තුලින් ඇය දෙස බලා සිටියෙමි. ඇය ගමන අඩාල නොකරම හිස හරවා කවුළුව දෙස බැළුවාය. ඇගේ දෙතොලග මන්දස්මිතියක් ඇඳී ගියේය. අඩක් විවරවූ කවුළුවේ තිරයට මුවාවී ඇය සුදු පාසල් නිල ඇඳුමින් සැරසී දෙවට ඔස්සේ පැමිණෙන අන්දම දෙස බලා සිටීමට මම එදවස බොහෝසේ ප්‍රියකළෙමි. එබැව් ඇයද හොඳින් දැනසිටියාය.

ඉදිරිපස දොර වසා යතුර කළිසම් සාක්කුවට දමාගත් මම ගේට්ටුව විවර කොට ඒ අසළ ඔසරි පටින් හිස මුවාකොටගත් වනම හුන් ඇය හා එක්වීමි. "යමු……."

"මේ දන්නවද වැඩක්?" ඇය හිස ඔසවා මදෙස බලා විමසුවාය.

"මොකක්ද?" 

"මට ඊයෙ එක පාරටම විජ්ජුලතා කතාව මතක් වුනානෙ.."

"මොකද්ද විජ්ජුලතා කතාව කිව්වෙ?... මට මතක නෑනෙ.." මම දෙබැම රැළිකොටගෙන විමසූයේ සිහින් සිනාවක්ද දෙතොලට නංවා ගනිමිනි.

" බොරු කියන්න එපා අනේ..ඔයාට මතකයි....."

"කොහොමද කියන්නෙ මම බොරු කියනව කියල?"

"මම දන්නව. ඔයා ඔය බොරු කියනකොට ඇස් බැමි රැළි ගහ ගන්නෙ හිතලමයි. ඒ ඇත්තටම මතක නෑ කියල මට පෙන්නන්ට..මම දන්නෙ නැද්ද ඔයා ගැන....."

"මොනවද සුගත් බොන්නෙ?" දම්මි විමසුවාය. "කස ඇට දාපු අයිස් සරුවත්?"

"ඔයාට තවම ඒක මතකයි නේද?"

"එහෙමත් අමතක වෙනවද සුගත්?" තමා විසින් පැවසූයේ අනවශ්‍ය දෙයකැයි ඒ වදන් මුවින් පිටවූ විගස දම්මිගේ සිතට නැඟිනි. ඇය වහා බිම බලාගත්තාය.

"ඔව්...මම තාමත් කැමති කස ඇට දාපු අයිස් සරුවත් වලට..මගෙ ආසාවන් මොකවත්ම වෙනස් වෙලා නෑ දම්මි…" සුගත්ගේ වේදනාබර හඬ ඇගේ දෙසවන් විනිවිද ගියේ පිහි තුඩක් පරිද්දෙනි.

"ඒ පාර මොකද?" ඇය මගේ සුරත ගෙන දෙනෙතට එබුනාය. 

"මට ගොළු හදවත මතක් වුනා."

"ගොළු හදවතේ සුගත්ට මම කැමතියි…" ඈත අතීතයේ දිනක ඇය පැවසූයේ අප දෙදෙන බසයෙන් බැස ගුරුපාර ඔස්සේ නිවෙස් බලා එද්දීය.

"ඈ? එහෙමද? මම හිතුවෙ ඔයා සුගත්ට කැමති නැතිවෙයි කියල...ඒ තියා කරුණාසේන ජයලත්ටත් පස් පඩංගුවෙ බණියි කියලත් මට ආයෙම හිතුන.. "

"හිහ්..හිහ්..එහෙම හිතුනද? එහෙමනම් මහත්මයා ඔබ වැරදියි…"

"හරි මොකක්ද ඔයා සුගත්ට කැමති වෙන්ට හේතුව?"

"සෙනෙහෙවන්ත කොල්ලෙක් උනාම සුගත් වගේ වෙන්ට ඕන. කෙල්ල වෙන අතක් බැලුවත් කොල්ල ඒ කෙල්ල වෙනුවෙන්ම කැපවෙලා ඉන්ට ඕන. සුගත් වගෙ නිතරම බොන්ට නම් ඕන නෑ. ඉඳහිටල කෙල්ල මතක් වෙලා පොඩ්ඩක් බිව්වට වරදකුත් නම් ඉතින් නෑ.."

"මොකක්? මම කිව්වයි කියල හිතා ගන්නව.." මම ඇගේ කණ මිරිකීමට තැත් කලෙමි. ඇය මගෙන් ඉවත්ව සිනාසෙමින් ඉදිරියට දිව ගියේ මහ හඬින් සිනා සෙමිනි.

ඇයටද ඒ සිදුවීම සිහි වන්නට ඇත. සිනහව සඟවා ගැනීමට ඇය ඉවත බලාගත්තාය. 

"යමු යමු ගොළු හදවතයි බීරි පෙණහැල්ලයි ගැන කතා කරමු පස්සෙ. දවල් උනොත් බැංකුවෙ පෝලිම …"

"මට හිතෙනව ගොළු හදවත වගෙ කතාවක් ලියන්න…" ඇය පසුදිනෙක පැවසුවාය.."මොකක් හරි හොඳ නමක් කියන්නකො.."

"ම්ම්ම්..ගොළු හදවත වගෙ කතාවකට සුදුසු නමක් නේද?...හා..හරි..ෂෝක් නමක් මතක් වුනා.."

"මතක් වුනා????  අනේ කියන්නකො"

"ඔයාගෙ ඔය පොතට නම දාමු බීරි පෙණහැල්ල කියල.." මම එසේ පැවසූයේ ඇය අසල හිඳසිටි අසුනින් වහා නැඟිට ඉවතට පනිමිනි.

"යමු..අන්න බස් එකක් නම් එනව…."

මම ඇගේ සුරත ගනිමින් පැවසූයෙමි.

සෙනෙහසක් ගලා ගිය ළකුණු ඇඳි හදවතේ,
ළයපුරා තවම ඇත සුවඳ ඒ සිහිනයේ,
අකුසලය ගෙවා අහවර කරමි මේ බවේ,
ඉපදෙන්ට පතමි නුඹ සමඟ සංසාරයේ,

Who was I to question a love that was whispering as a winnowing wind? Who was I to question a love that was shooting up sprouts as when the spring comes ? Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? Who was I to question a love that would inside me everyday for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

P.S.- ගොළු හදවතේ සංගීතය කියන්නෙ ශ්‍රී ලාංකික චිත්‍රපට සංගීතයේ කඩඉමක්. නිසල රාත්‍රියක අනික් හැමෝම නිදි සුව ලබද්දි හොඳ ස්ටීරියෝ හෙඩ්ෆෝන්ස් සෙට් එකකින් ගොළු හදවතේ තේමා සංගීතය අහන එක තරම් ආශ්වාදයක් ලැබිය හැකි වෙනත් අත්දැකීම් තියෙන්නෙ තව බොහොම ස්වල්පයයි. ඒ අත්දැකීම ලබන්න ඔබත්කැ මතිනම් පල්ලෙහා තියනව ඔන්න...


Friday, August 4, 2017

521. " අපෙ හාමුදුරුවනේ ඔය කරා ඇළ කියන එක...."


හම්බන්තොට පිහිටි මරා (හිජකුපාම-නීලකාස) 

වරාය ගුවනින් දිස්වන අන්දම දැක්වෙන 
සිතුවමක් ඉහත දැක්වේ.

මාගම්පුර වරාය නොහොත් කවුරුත් දන්නා විදිහට හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දුන්න පහුගිය සෙනසුරාද. 

පහුගිය ටිකේම මේ ගැන බොහොම ලොකුවට හාහෝවක් ගියා වැඩිපුරම ෆේස් බුක් එකේ. දැං මේ දවස්වල බයියො වැඩිපුරම වැඩ දාන්නෙ ෆේස්භුක් එකේ. ඇයි ඉතිං කාගෙං තහනමක්ද? බහුතරයක් මේ පස්ස කහ ගන්ට නියපොත්ත නැති එව්වො. අම්ම තාත්ත හම්බකරල දෙන දෙයකිනුයි ජීවිතේ ගැටගහගන්නෙ. 

ඒත් බලන්ට එපාය පේස් භුක් එකට ගියාම. අප්පට සෝරු....ඊට වැඩිය දේශ ප්‍රේමියෙක් නෑ. රටද ජාතියද ආගමද ඒ තුන රැකගන්ට දිවි හිමියෙන් සටන් වදින්නෙ. ආය නෑ රට වෙනුවෙන් මැරෙන එක නිකං මේ කිඹුහුමක් යන ගානට ඒ මහා වීරයො සලකන්නෙ.

මගෙ පළමෝත අත්දැකීමක් (Firsthand experience) කිව්වොත් ඔන්න ටික දවසකට ඉස්සර මගෙ හොඳම යාලුවෙක් කතා කලා......

"අනේ මචං බලපංකො වීරෙ...(ඌ තාම මට කියන්නෙ වීරෙ කියල) කොලුවගෙ නම් ඔලුව නරක් වෙලා ද කොහෙද බං....මම මාර අප්සෙට් එකේ ඉන්නෙ ඌ ගැන"

ඔහොම කිව්ව මගෙ යාලුව.....කොලුව කිව්වෙ උගෙ පුතාට ..එකම පුතා....කෙල්ලො දෙන්න වැඩිමල් ඊලඟට ඔය පුතා....මමත් ජංගිය උස්ස උස්ස දුවන කාලෙ ඉඳල කොලුවව දන්නව.

බන්දුලයගෙ (බන්දුලය කිව්වෙ මගෙ යාළුව) ගෙවල් ගම්පොළට පොඩ්ඩක් මෙහා. ඒ හරියට කියන්නෙ වැලිගල්ල. කාලයක් තිබ්බ මම සතියකට සැරයක් වගෙ එහෙ ගිහිල්ල සෙට් වෙනව. ඒ කාලෙ මට මතකයි ඔය පොඩි එකා ප්ලාස්ටික් පිඟානක් අරගෙන අපි ගාවට ඇවිල්ල සීරුවෙන් හිටගෙන ඉන්නව බයිට් එකෙන් මොනවහරි උගෙ පිඟානට දානකල්. 

බන්දුලය ඔය මොනවහරි ටිකක් දාල ඌව පන්නගන්නව. "යන්න යන්න මෙතන ඉන්න එපා..ආයෙම ආවට දෙන්නෙත් නෑ..ඔච්චර තමයි ඔන්න...." 

කොල්ල කොහෙද ඒ කියන එව්ව අහන්නෙ. ආයම එනව විනාඩි දහයක් යන්ට කලිං..

"මම කිව්ව නේද එක පාරක්... " බන්දුලය ඌට සැර වෙනව..

"අනේ පව්නෙ බං….. ආ එන්න පුතා.." 

මම කොල්ලගෙ පිඟානට කඩල අහුරක් දානව. මට ඔව්ව පුරුදුයි. මයෙ පොඩි නංගිගෙ ලොකු කොල්ලත් ඒ කාලෙ ඔහොම්මමයි. මේ පාර ඒකා පේරාදෙණියට තේරිල. මට යුනිවසිටි යන්ට බැරිවුන එකේ කොල්ල තේරිච්ච එක ම අප්‍රමාණ තන්තෝසයි.

ඉතිං බන්දුලය මට කතා කරල කිව්වෙ මෙහෙමයි. 

"මචං මේක අහපංකො..මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ..අපේ සඳුන් (සඳුන් කිව්වෙ උගෙ පුතණ්ඩිය)…"

"ඉතිං මොකෝ බං සඳුන්ට?..."

"උඹ දන්නවනෙ මම ඕකට මොනතරම් වියදම් කලාද කියල.."

ඔය බන්දුලයගෙ පුතා ඒ ලෙවල් යම්තමට පාස් වුනේ. ඊට පස්සෙ බන්දුලය සෑහෙන වියදමක් කරල කොල්ලව අයි.සී.එම්.ඒ. ද කොහෙද ක්ලාස් යවල විභාගෙ පාස් කෙරෙව්ව. මම ඔය සීන් එක දන්නව. මොකද කොල්ලට සල්ලි හදිස්සි උනහම ඌ මගෙනුත් ලෝන් එහෙම ගහනව. හැබැයි අපරාදෙ කියන්න බෑ හැකි විගස ආපහු දෙනව.

"ඔව්..ඔව්..බං මම දන්නව. කොල්ල දැං අර විභාගෙ එහෙමත් පාස් නේද?"

"පාස් නම් තමයි.. ඒත් බලපංකො බං මූ කිසිම කිසි උනන්දුවක් නෑනෙ කීයක් හරි හම්බ කරගන්ටවත්.."

"ඈ ඒ මොකද?"

"හිටපංකො කියන්න. මම දන්නෙ නෑ උඹ මේ කතාව විස්වාස කරයිද කියලවත්.."

"මොකක්ද? "

"කොල්ල දැං ෆුල් ටයිම් බැහැල වැඩ  මහින්දගෙ අර මොකක්ද පක්සෙට.."

"අර මොන පොට්ටුවක්ද මොකක්ද කියන එකට? "

"ඔව් බං අර මහින්ද ආපහු බලයට ගේන්ට දත මැදගෙන ඉන්න ව්‍යාපාරයක් තියෙන්නෙ..අන්න ඒකට…"

"හුටා ……"

"ඒකනෙ කියන්නෙ...ඒ විතරක් නම් මදැයි..මූ රස්සාවක් කරන්නෙත් නෑ..රස්සාවක් හොයාගන්ට උනන්දුවකුත් නෑ. සම්පූර්ණ දවසෙම කරන්නෙ කාමරේට වෙලා ෆේස් බුක් එකේ මහින්දව ප්‍රමෝට් කරන එක..ඉඳපන්කො මම උඹට උගෙ ඔය පේජ් එකේ ලින්ක් එක එවන්නම්කො."

ඒ කිව්වත් වගේම බන්දුලය මට ඒ ලින්ක් එක එවල තිබ්බ. මම කොල්ලගෙ පේජ් එකට ගිහිල්ල බැලුව. දෙයියෝ සාක්කි. මූ තනිකරම ඉතාම උග්‍ර මහින්ද වාදියෙක් වෙලානෙ. අපෙ හුප්පච්චී කියල මරා අර අත්දෙකත් උස්සගෙන බුරුසුව පුම්බගෙන ඉන්න ෆොටෝ එකකුත් ප්‍රොෆයිල් එකට දාගෙන...හෙහ්..හෙහ්..පිස්සු පීකුදු...

දවසම වැඩේ කාමරේට වෙලා ෆේස් බුක් එකේ කිව්වම මම ඊයෙ පෙරේද ඒත් වත්පොතේම දැක්ක ආතල් පෝස්ට් දෙකක් මතක් වුනා. මොකා මෙව්ව හදනවද මන්ද...හෙහ්,හෙහ්.. 

එකක් මෙහෙමයි.."ඊයෙ හවස හදිස්සියෙම ඩේටා ඉවරවෙලා මම කාමරෙං එළියට බැහැල අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කලා..ෂහ්..ඒ දෙන්න හරි හොඳ දෙන්නෙක්නෙ...."

දෙක මෙහෙමයි.."යකෝ මේක හරි කෙළියක්නෙ..ටිකක් හුළං වදින්ට කියල මිදුලට බැස්ස කියහංකො..අහල පහල එවුං අහනව ඇයි ඩේටා ඉවරද? කියල. හුහ්.. "

ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය බයියො ඔහොම්මයි. හිජකුපාම නීලකාස වනාහී හොර බොරු වංචා කිසි දෙයක් නොකරපු නෙලුම් මලෙන් බිහිවූ සිදුහත් කුමාරයා හා සමාන කෙනෙක් කියලයි ඔය බයියො සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම විස්වාස කරන්නෙ. ඒකට මේ ඔය උගත් කම කියන එකේ කිසිම වැදගත් කමක් නෑ. කැම්පස් ගිහිල්ල උපාධිය ගත්තු බයියයි ඉස්කෝලෙක පැත්ත පලාතක නොගිහිං මුට්ට කරගහන බයියයි අතරෙ එතන කිසිම වෙනසක් නෑ. දෙන්නම එකයි.

අහ්හ්..කොහොමද හිජකුපාම-නීලකාස කිව්වම හෙණ ගතියක් තියනව නේද? අර ෂුද්දගෙ කාලෙ දුන්නු නම්බුනාම වගේ නේ? ඕ.බී.ඊ. එතකොට එම්.බී.ඊ.. එහෙමත් නැත්නම් කේ.සී.බී.ඊ.. වගේ එව්ව..

ආ..තව එකක් කියන්ට ඕන..පහුගිය දවස්වල බයියො බොහොම විස්සෝපෙං කතා කරනව මම දැක්ක ක්‍රා ඇළ ගැන. මෙහෙමයිලු. තායිලන්තෙ හරහ ඔය කියන ඇළ කැපුනම සිංගප්පූරු වරාය පල්ලෙහට වැටිල හම්බන්තොට වරාය (ආ..හම්බන්තොට වරාය නෙමෙයි හැබැයි ඒකෙ නිල නාමය..මහින්ද රාජපක්ෂ හිජකුපාම නීලකාස වරාය) උඩට එනවය. එහෙම තියෙද්දි චීනෙට වරාය බදුදීල ආණ්ඩුව මහ මෝඩ කමක්ය කරගත්තෙ. මෙච්චර වියදමක් කරල හිජකුපාම නිල කාසය මේ වරාය කලේ ටක්කෙටම ඔය ක්‍රා ඇළ හාරන එක ගැන හිතලය අරකය මේකය රටේ නැති එව්ව...

ඒ ඔක්කොම පට්ටපල් බොරු ..හෙහ්..හෙහ්..ඇත්තම කතාව කිව්වොත් ඔය ක්‍රා ඇළක් ගැන හිජකුපාම අඳෝ සංසාරයක් දන්නෙ නෑ. 

ඔය හිජකුපාම එකල්හි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න  කලින් සළකා බැලුවෙ කරුණු කාරණා හතරක් විතරයි. 

1. මේ ප්‍රොජෙක්ට් එකෙං මම සහ මගේ පවුලට තියන වාසි මොනවද?

2. මේකෙං මගේ හීන මානය සමනය කරගන්ට මොනවද කරන්ට පුලුවං? 

3. මගෙ ලොකු කොල්ල නාමෝලා ඊලඟට රජ කරවන්ට මේකෙං ප්‍රයෝජනයක් ගන්ට ඇහැක්ද?

4. මගෙ හෙන්චයියන්ට ඒ කිව්වෙ මගේ සදාදරණීය බයියංට මේකෙං කීය කීය හරි හොයාගන්ට චාන්ස් එකක් අරං දෙන්ට ඇහැක්ද?

අන්න එච්චරයි...රටට භෙණ ගැහුවත් කමක් නෑ...පොඩ්ඩක් ඔය හීනමානෙ ගැන හිතල බලන්ට මම කියන්නෙ බොරුද කියල? නෙලුම් පොකුණ මරා රඟහල, මරා එයාපෝට් එක, මරා වරාය...හතර විලි ලැජ්ජාවෙං දසමයක් හරි ගෑවිලවත් තියන මනුස්සයෙකුට පුලුවන්ද රටේ මිනිස්සුන්ගෙ බදු මුදලින් ගෙවන්ට ගිණි පොළියට ගත්තු ණයෙං හදපු එව්වට කිසි හිරිකිතයක් නැතුව තමංගෙ නම දාගන්ට?

ඔතන දැං ඔය බයියො රෙදි කරට අරගෙන ක්‍රා ඇළේ කතන්දරේ කියන කොට මට මතක් වුනා සෝක් කතාවක්.

මේක මේ අමරිකාවෙ වයිල්ඩ් වෙස්ට් ඩේස් කාලෙ කතාවක්. වයිල්ඩ් වෙස්ට් ඩේස් කියන්නෙ එක්දාස් අටසිය තිහ හතලිහ වගෙ ඉඳල අසූව අනූව වගෙ වෙනකල් කාලෙ. ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ අර සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාව හදල තියෙන්නෙ ඒ කාලෙ පසුබිම් කරගෙන. The good, the bad and the ugly, Fistful of dollars , For a few dollars more....

ඔන්න ඒ කාලෙ එක නගරයකට එනවලු මැරවරයො තුන් හතර දෙනෙක්. මේ ගොල්ල හොඳ වෙඩික්කාරයො. මෙයාල එන්නෙ නගරයෙ බැංකුව මංකොල්ල කන්න. හැබැයි නගරයට ආපු ගමං මේ මිනිස්සු දකිනව නගරයෙ ගෙවල්වල බිත්තිවල වැටවල් වල එතකොට ගස් වල කඳන්වල හැමතැනම වෙඩි පාරවල්. ඒ හැම වෙඩි පාරක්ම වැදිල තියෙන්නෙ සුදු හුණු කූරකින් ඇඳපු රවුමක හරියටම මැද්දෑවෙ.

"ෂෙහ්, පුදුම දක්ෂයෙක් වෙන්ට එපාය මෙහෙම වෙඩි තියන්ට. හැම වෙඩිල්ලක්ම බුල්ස් අයි" මැරවරයො එහෙම කතා වෙලා ඒ ලඟ බංකුවක ඉඳගෙන ඉන්න වයසක මනුස්සයෙක්ගෙන් මෙහෙම අහනව.

"ලොක්කා කවුද මේ තරං දක්ස වෙඩික්කාරය මේ නගරෙ ඉන්න?" 

වයසක මනුස්සය කියනව.."ආ ඔය අර ක්‍රේසි විලීගෙ වැඩනෙ. ඔය මහත්තුරු ඕක ගණංගන්ට එපා. මිනිහ ඔය ඩෝප් වැඩි උනහම කරන්නෙම ඕක තමයි"

මේක අහල මැරවරයින්ට හීං දාඩිය දානව. 

"යකෝ සාක්කි ටවුමෙ පිස්ස ඩෝප් වැඩිඋනහම මෙහෙම වෙඩි තියනවනං අනික් මිනිස්සු ගැන මොන කතාද? යමල්ල යමල්ල යන්ට බැංකු කොල්ල කන්ට ගිහිල්ල නිකං වෙඩි කන්නෙ නැතුව.." 

එන්න එහෙම කතාවෙලා මැරවරො පස්ස නොබල පලා යනව දූවිලි අවුස්සගෙන..ආ..දූවිලි අවුස්සගෙන කිව්වෙ ඒ කාලෙ ගන්ෆයිටර්ස්ල ගමන් බිමන් ගියේ අස්සයො පිටේ. කාර් බාර් තිබ්බෙ නෑ එතකොට... කෝච්චිනම් තිබ්බ.

ඔන්න චුට්ටකිං විලියා එනව බාර් එකෙං එලියට. නකතං වෙන්ට ගහල..

"ආ විලී ෂෙහ් තමුසෙ තව විනාඩි පහකට කලිං ආව නම් මරු. තමුසෙගෙ ෂූටිං දැකල පැහැදිච්චි තුන් හතර දෙනෙක් තමුසෙ ගැන මගෙං ඇහුව...හෙහ්,හෙහ් හෙහ්.."

"අනේ උංට බම්බු ගහගන්ට කියාපං.."

එහෙම කියල විලිය ගන් බෙල්ට් එකේ තිබ්බ පිස්තෝලෙ ඇදල අරගෙන හතර අතටම වෙඩි තියනව. වැටවල්, ගස් , ගෙවල්වල බිත්ති යනාදී ඔක්කෝටම දකින දකින දේට ඔහේ වෙඩි තියාගෙන ගියා... ඊට පස්සෙ පිස්තෝලෙ කටට එහෙම පිඹල ආයම ගන් බෙල්ට් එකේ දාගත්ත.

ඊට පස්සෙ සාක්කුවෙං සුදු හුණු කෑල්ලක් අරගෙන අර වෙඩි පාරවල් ඔක්කොම වටේට රවුමක් අඳිනව. ඊගාවට අර වයසක උන්දැ ගාවට ගිහිල්ල මහ හයියෙං හිනාවෙනව...

හිජකුපාමගෙ බයියො සෙට් එකත් ඔන්න ඔය පිස්සු විලී වගේම තමයි. 

අනික ඔය ක්‍රා ඇළ ගැන හිජකුපාමයා දැනගෙන හිටියනං අනිවා මේ වෙනකොට ඉස්ටේජ් එහෙකදි  මෙහෙම කියල..

"අනේ අපෙ හාමුදුරුවනේ..බලන්නකො මම හදපුව ඔක්කොම මේ ආණ්ඩුව එකින් එක විකුණනව. දැං ඔය හම්බන්තොට වරාය ගැන බලමු. ඕකෙං පාඩුයි පාඩුයි කියල කෑගැහුවට මම ඕක හැදුවෙ අර කරා ඇළ ගැන හිතල...අනාගතයෙ අන්න ඒ ඇළ හැදුවම ඕකෙං හම්බවෙන සල්ලි වලිං අපිට පුලුවනි................"

Tuesday, August 1, 2017

520. නුඹ අසල වැතිර ඉමි…....

ඡායාරූපය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

නුඹ අසල වැතිර ඉමි,
මුදුව නුඹ වැළඳ ගමි, 
නුඹෙ සුසුම් සුව විඳිමි,
දෙනෙත් මගෙ පියාගමි,

කිරි සුවඳ විඳින්නෙමි,
නුඹේ මුවගින් නැඟෙන,
දෙතොල හසරැල් දකිමි, 
සිහිනයෙක නුඹ කිඳෙන, 

රත් නෙළුම් අත දරා, 
පැමිණි මගෙ කුමරුවනි, 
නුඹෙ නළල සිඹින්නෙමි, 
දයාබර මළනුවනි, 

සොයුරු පෙම මා සිරුර, 
විනිවිදියි නිරතුරුව, 
නුඹට රැකවරණ දෙමි, 
ජීවිතේ පුරාවට,


Friday, July 28, 2017

519. විල්බගෙ අලියා, නුඹ කොතැන හිටියම මොකද? සහ වෙනත් කතා…

ගියපාර අර කේරළේට පීනන්ට හදපු අලි නාම්බා ගැන කියල එහෙම මට මතක්වෙච්චි අලි කතාවකුත් කියන්නම්ය කියල හිතුවට ඒ අපේක්සාව ඉස්ට කරගන්ට උනේ නෑ. ඒ හින්ද අද විල්බ ගැන පොඩ්ඩක් විස්තර කරලම කතාව කියන්නං. කියන්ට යන කතාවටත් ඒක වැදගත්. මොකද මේ අලිකතාවෙ විල්බත් ප්‍රධාන චරිතයක්.

ආ..විල්බා කිව්වෙ අර මම කියාපු එයා ෆෝස් නන් කමිෂන්ඩ් ඔෆිසර්... නන් කමිෂන්ඩ් කිව්වම මතක් වෙන්නෙ නන් පේරියල් එස්ටේට් එක. හෝටන් තැන්නෙ ලෝකාන්තෙන් පහළට පැන්නයි කියමු කවුරු හරි. අහසෙ පාවෙලා ගිහිල්ල වැටෙන්නෙ බලංගොඩ බෙලිහුල් ඔය කිට්ටුව තියෙන නන් පේරියල් වත්තට.

විල්බ ඇවිල්ල ජා ඇල. හොඳ භක්තිමත් කතෝලිකය. ඒ වගේමයි කුණුහරප කියන එව්ව කියන්නෙ කටේ තොලේ නොගෑවී. ආය කෙල්ලො ගෑණු ඉන්නවය කියල ගානක් නෑ. ඔහේ ඇදල අරිනව කුණු හරුප. අපි ඉතිං ඒ දවස්වල කණේ සබනුත් තියෙන පොඩි කොල්ලොනෙ. කටවල් ඇරගෙන බලා උන්නෙ විල්බ කුණුහරප වපුරන දිහා. විල්බ උගෙ වයිෆ් ඉස්සරහත් කිසි ගින්නක් නැතුව කුණු හරප කියනව. ඒ යෝදිටත් එව්වයෙ ගානක් නෑ. පුරුදුවෙලා තියන විදිහ වෙන්ටැ මයෙ හිතේ. ඒ වගෙම තමයි මිසිස් විල්බට්ට හොඳට බොන්ටත් පුලුවනි. අපිට ඒ කාලෙ ඉතිං ඕකත් මහ පුදුමයක්.

හරි හරි ඒ සියලු විස්තර පසුවට. දැං එමු විල්බගෙ අලි කතාවට. හෙක්ටෙයාර් දහ පාලොස්දාහක කුඹුරු කරන්ට වතුර දුන්නු මහ ඇලට අපේ ඔෆිස් එකේ ඉඳල තිබ්බෙ මීටර් තුන්සීයක වගෙ දුරක්. ZD කියල අමරිකන් කොම්පැණියක් ඒ ඇල හදපු හින්ද ඒකෙ නිල නාමය වම් ඉවුර ප්‍රධාන ඇල මාර්ගය (L.B.M.C. or Left bank main canal) වෙනුවට අපි කවුරුත් කිව්වෙ ZD ඇල කියල. 

ඕක මට මතක විදිහට අඩුම ගානෙ අඩි පණහක් හැටක් වගෙ ගැඹුරුයි. පළලත් ඇති අඩි දෙසීයක් විතර. පතුල සහ දෙපැත්තම උඩට යනකල්ම කොන්ක්‍රීට් ආස්තරණය (Concrete lined) කරල තියෙන්නෙ ජල හානිය වළක්වා ගන්ට. ජලය ගලා යාමේදී ඝර්ෂණය (Friction) නිසා වෙන වේගය අඩුවීම අවම කරගන්ට කොන්ක්‍රීට් එක ඉතාම සුමටයි සහ සුමුදුයි. මේ පල්ලෙහා තියෙන්නෙ අන්න එහෙම ඇළක පින්තූරයක්. 

කොන්ක්‍රීට් ආස්තරණය කල ඇල මාර්ගයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඉතිං වැඩේ කියන්නෙ මොකෙක් හරි සතෙක් බැරිවෙලාවත් ඕක වැටුනොත් ගොඩ එනව බොරු. වතුර පිරිල තියෙනම් ඔය මොකක් හරි කරල දඟලල ගොඩ එතෑකි. ඒත් කුඹුරු නොකෙරෙන කාලෙට ඇලේ වතුර එවන්නෙ නෑ. ඒ කාලෙ ඉතිං අලියෙක්, මුවෙක්, ගෝනෙක් එහෙම වැටුනොත් සොරිම තමයි. ආය ගොඩ එනව බොරු.

ඉතිං කොහොමත් මාස දෙක තුනකට සැරයක් ඔය මහ ඇළට අලියෙක් වැටෙනවම තමයි. එදාට ඉතිං අහල පහල ගම්වල කොල්ලො කුරුට්ටොන්ට මඟුල් වගෙ තමයි. මෝටර් බයිසිකල් පුෂ් බයිසිකල් වල නැඟල ඇල ඉවුර උඩ ඉඳගෙන හෝන් ගගහ අර අහිංසක සතා එහාට පන්නගෙන යනව. ඊට පස්සෙ මෙහාට පන්නගෙන එනව. අලිය ඉතිං වලිගෙත් උඩ තියාගෙන මෙලෝ සිහියක් නැතුව දුවනව එහාට මෙහාට. පමණක් එවුං ගොඩට එන්ට ෆුල් ට්‍රයි කරල නියපොතු හිටං ගැලවිල ගිහිල්ල ලේ ගලනව.

ඔය අලිංගෙ නියපොතු බොහොම ඉක්මනට වැවෙනව කියල දන්නවද? කැළේ ඉන්න අලින්ට නම් අවුලක් නෑ  ගල් බොරලු උඩිං දවසට කිලෝ මීටර් ගාණක් කෑම හොයාගෙන ඇවිදින හින්ද උංගෙ නියපොතු ස්වභාවිකවම ගෙවෙනව. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ හීලෑ අලි ඇත්තුන්ට. විශේෂයෙන්ම සත්වෝද්‍යාන වල ඉන්න එවුන්ට. උංගෙ නියපොතු ගෙවෙන්න විදිහක් නෑනෙ. ඒ හින්ද එව්ව කාලෙන් කාලෙට කප්පවන්ට වෙනව. ඒකත් හෙණ කෝස් එකක්. පොඩි ඉලෙක්ට්‍රික් කියත් තියනව ඒ වැඩේට. දෙහිවල සත්වෝද්‍යානෙ ඔය වැඩේ කරන්නෙ ප්‍රසම්පාදන (ඒ කිව්වෙ ටෙන්ඩර්) කැඳවල.

හරි හරි ආයම එමු අලි ඇළට වැටෙන එක ගැන කතාවට. කොල්ලො කුරුට්ටො අර අලියට වද දෙන අතරෙ වැඩිහිටියො ඇවිල්ල උංවල එලවල දාල අලියට කන්ට කොල අතු එහෙම ගෙනත් දානව. ඒ අතරෙ පොළොන්නරුවෙ වනජීවී එකට පණිවිඩයක් යවනව. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ වන ජීවි එකෙන් එනව. ඇවිල්ල බොහෝවිට කරන්නෙ මාදුරුඔය මෙහෙයුම් කාර්යාලයට දන්වනව ඇලේ වතුර එවන්ටය කියල. ඔන්න ෆුල් වතුර එකක් ආහම අලි රාජයත් ඒ එක්කම උඩට පාවෙලා එනව. ඉතුරු හරිය කඹ දාල බැකෝ එකක් ගෙනල්ල අලියව ගොඩට ඇදල ගන්නව. ඒ වෙනකොට අලිය හොඳටම හෙම්බත් වෙලා. සමහර එවුන් ඒත් දණිපනි ගාල කැලේ දෙවනත් කරගෙන දුවනව. සමහර සෝමාරි අලි එතනම ඇල බන්ඩ් එකේ වැටිල ඉන්නව දවසක් විතර. එහෙම උනහම වනජීවී එකෙන් උංට බෙහෙත් විදිනව. බොහෝවිට ඔය එක්ස්ටැසි නැත්නම් මෙතෆෙටමයින් වගෙ එව්වයෙ Elephant version එක වෙන්ට ඇති.

එහෙම බෙහෙත් විද්දම ඌ ටිකකින් නැඟිටල යනව. ඒත් සමහර එවුන්ට එහෙමත් යන්ට අමාරුයි. බාගෙට කෙලින් වෙලා ආයම හරහ වැටෙනව. එහෙම අලිය හරහ වැටිල ඉන්නකොට රෑ දෙගොඩ හරියෙ සමහර වෙලාවට උගෙ රංචුවත් එනව ඌව බලන්ට. ඇවිල්ල ඌට නැඟිට්ටවගන්ට රෑ තිස්සෙ ට්‍රයි කරල අසාර්ථක උනහම උදේම හතර දිසාවටම ඇහෙන්ට මහ හයියෙං කුංචනාද පවත්තල යනව. 

ඒ මං හිතන්නෙ මිනිස්සුන්ට වෝනිං එකක් වෙන්නැති. "උඹල බලාගෙනයි අපේ එකාට හිරිහැරයක් කලොත් එහෙම.. අපි අදත් රෑ වෙලා එනව. ඕන වුනොත් හෙටත් එනව...." අන්න එහෙම වෙන්න ඇති. අර අන්තරේ නායක රැවුල් කාරයා කොල්ලො කෙල්ලො ටික ඉස්සෙල්ල යවල උංට පොලීසියෙං මදි නොකියන්ට සබ්බුව වැදුනට පස්සෙ ඇවිල්ල ටී.වී. මයික් ඉස්සරහ වැඩ්ඩ වෙන්නෙ.."අද ගුටි කෑවට අපි හෙටත් එනව"  කියල..අන්න එහෙම වෙන්ට ඇති...හෙහ්,හෙහ්,

දැන් මේ කතාව ඉස්සරහට ගෙනියන්ට තවත් කාරණයක් කියල ඉන්ට ඕන. ඒ දවස්වල අපේ ඔය වැඩිහිටි සහෝදර නිලධාරීන් බොහෝ දෙනෙක් කුඹුරු වැඩ කලා. ඒ කිව්වෙ කුඹුරු හිමි ගොවියො එක්ක පොඩි එකඟතාවයකට ඇවිල්ල වියදම දුන්නම අස්වැන්නෙං සීයට ගානක් ලැබෙනව. පවුල් පන්සල් වෙලා දරුවො තුන් හතර දෙනා ඉන්න උදවියට ඒ අමතර ආදායම ලොකු හයියක්. අපි ඒ කාලෙ ඔය පොඩි එවුන්නෙ. අපි ඔව්ව කලේ නෑ. 

විල්බට් අයිය ආපු ගමන්ම ඔය වැඩේට බැස්ස. "නිකම්ම මේ හද්ද කැලේ ඉන්න එකේ කීයක් හරි සාධාරණව හොයාගත්තට මක් වෙනවද මල්ලි?"  එහෙමයි මනුස්සය අපි දැක්ක කිව්වෙ. ඉතිං විල්බ හවුල් වෙච්චි කුඹුර තිබ්බෙ ඔය මහ ඇළත් එක්කම පාවුල. ඇලත් එක්කම තියෙන හින්ද කවදාවත් වතුර හිඟයක් එන්නෙ නැතිවෙයි කියල ඔය කුඹුරු කෑල්ල විල්බට රෙකමන්ඩ් කලේ අපේ චන්දරේ.

ඉතිං මට මතක විදිහට ඒ අසූපහේ මහේ කුඹුරු කරන කාලෙ. විල්බගෙ කුඹුරත් බොහොම සාරෙට හැදිල තිබ්බ. එක දවසක් සුපුරුදු පරිදි අලියෙක් මහ ඇළට වැටිල කියන ආරංචියට අපිත් ජීප් එකක නැඟල බලන්ට ගියා. ආය මොනවද? අර මම කලින් කියපු සීන් කෝන් එක ඒ විදිහටම රඟ දැක්වෙනව. කොල්ලො අර සතා පස්සෙ එලවගෙන යනව එහාට මෙහාට. ඌ ආත බූත කඩාගෙන දුවනව කෑගහගෙන. වැඩිහිටියො ඇවිල්ල කොල්ලොන්ට බැනල එලවල දානව. 

ඒ කිට්ටුව දවසක රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට සෙට් වුනා. හුළං අත මාරුවෙනකොට එතකොටත් ඇහෙනව අලි කෑගහන සද්දෙ. ඒ අර ඇලේ ඉන්න අලියගෙ රංචුවෙ කට්ටිය ඇවිල්ල. ඇළ වට කරගෙන කෑගහනව. ඒ සද්දෙත් තිබ්බෙ බොහොම දුක් වේදනාවක්. 

"සික් මේ සත්තු කෑ ගහන සද්දෙ අහගෙන ඉන්ටම බෑනෙ..." මම එහෙම කියල පපඩම් කෑල්ලක් අතට ගත්ත. 

"අනේ මන්ද වයිල්ඩ් ලයිෆ් එකෙන් කවදා එයිද කියල  දැනටම මේ යස්සය ඇළට වැටිල දවස් තුනකුත් උනානෙ" විල්බට් එහෙම කිව්ව.

"හැබෑට කවදාවත් වන ජීවී එකෙන් මෙච්චර පරක්කු වෙලා නෑනෙ...මොකද දන්නෙ නෑ"  ඒ චන්දරේ..

එදා අපි කර්තව්‍යය අහවරයක් කරල වැලිපාර පුරහම ආපහු අපේ ක්වාටර්ස් එකට එද්දිත් හුලං අතත් එක්ක අලි කෑගහන සද්දෙ අපේ පස්සෙං ආව.

පහුවදා උදේ වැඩට ගිහිල්ල මම දවල්ට කන්න ක්වාටර්ස් එකට එනකොට කට්ටියම වටවෙලා බර කතාවක්.."මොකෝ බං? මොකක්ද කේස් එක?" මම ගෙට ගොඩවුනේ එහෙම අහගෙන..

"වනජීවී එකෙං ඇවිල්ල අලිය ගොඩ දාන්ටයි යන්නෙ....අපි යන්ට කියල ඉන්නෙ බලන්ට. උඹත් එනවද?

"බෑ බං මට හවස වැදගත් වැඩක් තියනව"

"මොකක්ද බං ඔච්චරම වැදගත් වැඩේ?"

"අර D2 ඇලේ එක ලඟම ඩ්‍රොප්ස් තුනක් එනව. අද ඒ ටික සෙට් අවුට් කරන්ට ඕන. ඔය වැඩේ හරියට කෙරුනෙ නැත්තං හබක්. උඹල දන්නවනෙ ඒ සයිට් එකේ ඉන්න ගුණතිලක බාසා මහ පණ්ඩිතයනෙ"

ඇල මාර්ගයක් නිර්මාණය කරනකොට ඒකෙ පතුල එක නියමිත ආනතියකට තියෙන්න ඕන. ආනතිය වැඩිවුනොත් වතුර ගලන වේගය වැඩිවෙලා පතුලයි දෙපැත්තෙ ඉවුරයි හේදිල යනව. ආනතිය අඩුවුනොත් වෙන්නෙ වතුර ගලන වේගය නියමිත අගයට වඩා අඩුවෙන එක. ඉතිං පිහිටි පොළවෙ මට්ටම එක පාරටම වෙනස් වුනහම මේ නියමිත පතුලෙ ආනතිය පවත්වා ගන්ට හදන්ට වෙනව කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකක්. එතනදි ඇලේ පතුලෙ ලෙවල් එක එකපාරටම අඩුවෙනව. එව්වට කියන්නෙ බැසුම් නිර්මිත නොහොත් ඩ්‍රොප් ස්ට්‍රක්චර්ස් කියල.


ඔය ෆොටෝ එකේ තියෙන්නෙ පොළවෙ බෑවුම
වැඩි හින්ද එක ලඟම හදපු ඩ්‍රොප් නිර්මිත කීපයක්...

සෙට් අවුට් කරනව කියන්නෙ යම් නිර්මිතයක් ඉදිකරන්නට ෆවුන්ඩේෂන් කපන්ට පටන් ගන්ට ඉස්සෙල්ල පොළවෙ නූල් ගහන එකට.

ඉතිං ඔය ඩ්‍රොප් එකේ ඉහළ සහ පහළ මට්ටම් හරියටම තිබ්බෙ නැත්නම් ඇළ මාර්ගයෙන් බලාපොරොත්තුවෙන ප්‍රයෝජනේ ඒ විදිහටම ලබාගන්ට අසීරු වෙනව. සමහර කොන්ත්‍රාත්කාරයො ගාව ඉන්න හෙඩ් බාස්ල අති පණ්ඩිතයො. කාලයක් ඇළවල්වල වැඩම කරල ඒ අය හිතාගෙන ඉන්නෙ තමං ඇළවල් ඉදිකිරීම ගැන සර්වඥ කියල. 

"අනේ මහත්තයො ඕකෙ ලෙවල් හරියට තියන එක මහ ලොකු දෙයක්ද? අපි නොදන්න සුලුස්..මහත්තයට කියන්ට අපි මෙව්ව කරන්ට පටන් ගන්නකොට මහත්තය ඉපදිලාවත් නැතුව ඇති..."

ඒ ඔය වගෙ අති පණ්ඩිත බාස් කෙනෙක් දවසක්දා මගෙ මූණටම කියපු කතාවක්. ඒ ඔය වැවක ස්ලූස් එකක් (ස්ලූස් එක කියන්නෙ හොරොව්ව. හොරොව්ව දන්නවනෙ. වැවෙන් වතුර පිට කරන්නෙ හොරොව්ව ඇරල. පොළොන්නරුවෙ ගිය අය දැකල ඇති අර නටබුන් එහෙම තියන හරිය පහු කරල නගරය පැත්තට යනකොට දකුණු පැත්තෙ පේනව පරාක්‍රම සමුද්‍රයෙ හොරොව්වෙං වතුර පිට වෙනව) හදන්ට ඇවිල්ල ඒ බාස්ගෙන් කලින් ස්ලූස් කරල තියනවද කියල ඇහුවම එහෙමයි කිව්වෙ. මමත් ඉතිං "හා..එහෙමෙයි?" කියල අහල හිනාවෙල නිකං හිටිය.


මේ තියෙන්නෙ පරාක්‍රමේ සොරොව්ව....

ඔය මම ඉපදිල නැති කතාව මා එක්ක ඔහොම කිව්වට මං නැති වෙලාවෙ මනුස්සයගෙ ගෝල බාලයන්ට කියල තියෙන්නෙ වෙන විදිහකට. ඒ වැඩපලේම හිටිය පොඩි එකෙක්. ඌ මගෙ හොඳ යාලුව. ඌ තමයි පස්සෙ දවසක මට ඔය ගැන කිව්වෙ. උං එක්ක බාසා කියල තියෙන්නෙ අපෙ අප්පච්චිගෙ දණිස් ගැන මොකක්ද කතාවක්...හෙහ්,හෙහ්.

ඉතිං අර ඩ්‍රොප්ස් වල වැඩෙත් කරල හවස් කරේ මම ආපහු එනකොට අපේ චමරියෙ සාලෙ කට්ටියම ඒකරාසීවෙලා බර කතාවක්. ඔහොම සබාතොමෝ මුලු දෙන්නෙ මොකක් හරි බොහොම වැදගත් කාරණාවකට.කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගිය එක, කිතුල් උතුව සමූහ ඝාතනය ඒ අපේ කට්ටිය සාලෙ රැස්වෙලා දීර්ඝ වශයෙන් සාකාච්ඡා කරපු සිද්ධීන්. ඉතිං එදත් මම එනකොට කට්ටිය මෙන්න සාලෙ රැස්වෙලා ඉන්නව. 

"ඒයි මොකද බං සීන් එක? අර ඇළේ වැටිච්ච අලිය ගොඩ ගත්තෙ නැද්ද?" මම ගෙට ගොඩ වුනේ එහෙම අහගෙන..

"ගත්ත...ගත්ත...වනජීවී එකෙන් බැකෝ එකක් ගෙනල්ල ළණු දාල අන්න ඒකව ඇලෙං ගොඩට නං ගත්ත" චන්දරේ මට උත්තර දුන්න.

"ඉතිං? දැං මොකද වෙලා තියෙන්නෙ?" තව මොනව හරි සිරා කේස් එකක් වෙලා තියනව කියල මට ඉවෙං වගෙ තේරුණා. "කියාපල්ලකො බං නලවන්නෙ නැතුව.."

"හෙහ්..අලිය ගොඩට ගත්තට බං ඌ දවස් ගානක් ඇලේ ඉඳල හාමත් වෙලා වගේ ඉන්නෙ."

"ඉතිං?"

"ඉතිං ඌ අන්න මහ ඇළ පල්ලෙහා වැටිල ඉන්නව හතර ගාතෙ දාල…"

"ඉතිං? ඒ සතා ඔය දවසක් දෙකක් ඉඳල ඇඟට පණ ආහම යයි යන්ට. උඹල මෙහෙම වටවෙලා සාකච්ඡා කරන්ට තරං දෙයක්ද බං ඒක?" මම කමිසෙ ගලවල මගෙ කාමරේ බෝල කූඩුවෙ එල්ලල ආපහු සාලෙට ආව. 

"හෙහ්...හෙහ්..උඹ ඔහොම කියන්නෙ බං අලිය වැටිල ඉන්නෙ කොහෙද කියල උඹ දන්නෙ නැති හින්දනෙ."

"ඌ කොහෙ හිටියම මොකද බං? ඔය ඉන්න තැනක ඉන්නෙ නැතැයි...." මම එහෙම කියල සාලෙ කෑම මේසෙ උඩ තිබ්බ ෆිල්ටර් එකෙන් වතුර වීදුරුවක් පුරවගෙන එක හුස්මට බොන්ට ගත්ත.

නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා..දීපිකා ප්‍රියදර්ශනී එහෙම කිව්වෙ ඔය මම කියන කාලෙට හුඟක්ම පහුවෙලා. එහෙම නැත්තං ඒ වෙලාවෙ මම ඒ සින්දුව අනිවාර්යයෙන්ම කියන එකත් කියනව. නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා…

මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැළුවම මොකද
සඳ කොතැන දිළුනම මොකද 
නුඹ කොතැන සිටියම මොකද

මල කොතැන පිපුණම මොකද
පිපුණු වග මල දන්නවා
ගඟ කොතැන ගැළුවම මොකද
ගලන වග ගඟ දන්නවා

සඳ කොතැන දිළුනම මොකද
දිලෙන වග සඳ දන්නවා 
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියෙ
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුනොත් තමා

සඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා....

පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

දීපිකාගෙ ඒ ගීයට කැමති අය ඒ ගීතය අහල ඇවිල්ලම අලියගෙ කතාවෙ ඉතුරු හරිය අහන්න. නැත්තං අලියගෙ කතාව අහල ඉවරවෙලාම ගිහිල්ල සිංදුව අහන්න. ඔබගේ කැමැත්තක්...



"යකෝ ඒ අලිය ගිහිල්ල වැටිල ඉන්නෙ විල්බට් අයියගෙ කුඹුරෙ." චන්දරේ පුටුවෙනුත් නැඟිටල කෑගැහුව.

"හුටා..." තව පොඩ්ඩෙං බොන්ට ගත්තු වතුර උගුර මයෙ ඉස්පොල්ලෙ ගිහිල්ල මහ ජංජාලයක් වෙනව. "මොකක්? විල්බගෙ කුඹුරෙ?..දෙයියෝ සාක්කි එහෙනං දැං කුඹුරෙං ගන්ට දෙයක් නැතුව ඇතිනෙ..ඉතිං ඉතිං මොකෝ විල්බට් අයිය කියන්නෙ?" 

"වෙන එක වචනයක්වත් කියන්නෙ නෑ. දැං පැය දෙක තුනක ඉඳල කුණු හබ්බම තමයි කටෙං පිටවෙන්නෙ…"

"ඉතිං කාටද ඔය බණින්නෙ?"

"ඔය කුඹුරෙ වැටිල ඉන්න අලියගෙං පටං ගත්තාම උගෙ සහෝදර සහෝදරියො මව්පියො ආතල මුත්තලගෙ ඉඳල, දළඳා මාළිගාවෙ කරඬුව වඩම්මන රාජා..........." 

(මම ඔය කියන කාලෙ රාජා තමයි කරඬුව අරගෙන ගියේ. ඊට වසර කීපයකට පස්සෙ රාජා මියගියා. දැං අර මාළිගාව අහල පහලම පොඩි කුටියක් හදල සුරක්ෂිත කරල තැන්පත් කරල තියෙන්නෙ...සාමාන්‍යයෙන් අපි අර පුලුං පුරවනව කියන්නෙ... අන්න ඒ රාජා තමයි)

" ………….එතකොට එතනිං ගිහාම පනාමුරේ ඇත් රාජා,එතකොට කණ්ඩුල ඇතා,නාලාගිරි හස්තියා,අයිරාවණ ඇතා......කොටිම්ම බුදු හාමුදුරුවො අර පාරිලෙයිය නම් වනයට වැඩම කරපු වෙලාවෙ ඇප උපස්ථාන කරපු ඇතාට පවා හොඳ හුප්පද කියලයි ඔන්න බණින්නෙ…"

"අඩේ මාර ආතල් එකක්නෙ. මටත් බලන්ට ඕන ඔය සීන් එක. යමල්ල විල්බගෙ කුඹුර දිහාවෙ"

මටත් ආය ඉතිං ඔයිට වැඩි දෙයක් තියනවය? ගෝලය හදල දීපු කහට එකත් බීල චන්දරය එක්කලා මම පාරට බැස්ස.

"යමංකො නියම සීන් එක...හෙහ්,හෙහ්." එහෙම කියල චන්දරය ඉස්සර වුනා.

කුඹුර පැත්තෙ යනව තමයි. මොන සමයංද? ඒ පැත්ත පළාතෙ කිට්ටු කරන්ට බෑ. සෙනඟ එක සීයකට හමාරකට වැඩියි. මමත් වදෙං පොරෙං කිට්ටුවෙලා සීන් එක බැලුව. හස්ති රාජ තෙමේ ඉන්නව කුඹුර මැද්දෑවෙම පත බෑවිල. බලනකොටත් දුකයි. කොල්ලො කුරුට්ටො ගෑණු මිනිස්සු වට වෙලා ඌට සාත්තු සප්පායම් කරනව. කොළ අතු යනාදිය කඩාගෙන ඇවිල්ල ඌට කව්වෝනව. එහෙම කොළ අතු කඩන්ට යන්ට කම්මැලි ගෑණු පිරිමි විල්බට් අයියගෙ කුඹුරෙ යස අගේට පීදී ගෙන එන ගොයම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උදුරල අලියගෙ කටේ ඔබනව. ඌට එව්ව කන්ට සිහියක් පතක් නෑ. ඇස් දෙකත් පියාගෙන ඌ එහෙම්මම පැත්ත වැටිල ඔහේ ඉන්නව.

විඩෙං විඩේ වන ජීවී එකේ කට්ටිය ඇවිල්ල අලිය සුවසේ ඉන්නවද කියල පරීක්සා කරල යනව. වනජීවී එකෙන් එන වෙලාවට මිනිස්සු සුට්ටක් විතර එහා මෙහා වෙලා ඉඩ දීල නිලදාරීන් යනවත් එක්කම අලිය වටේ එක් රොක් වෙනව. එක් රොක් වෙලා උගෙ කටේ විල්බට් අයියගෙ ගොයං ඔබනව. ඒ සීන් එක දැකල මට මැරෙන්ට හිනා.....

එදා රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පළු ගහය යට සෙට් වුනා. වෙනද තුන්කාලක් විතරම ගහන්නෙ විල්බ. අද අර පුරුද්දට වගෙ බෝතලේ ගෙනාවට මිනිහට බොන්ට පිරියක් නෑ. කළ දුටු කල වල ඉහගං අබරෝ කියල කියලත් තියෙන එකේ චන්දරයයි මමයි සට සට ගාල ගසල ඇරිය. අපි දෙන්නට එදා හොඳ ගණං. විල්බ කලේ අලියගෙං පටංගත්තම ඌව නරඹන්ට එන ගෑණු මිනිස්සුං ජාතක කරපු අම්ම අප්පලට හිටං දෙස් දෙවොල් තියන එක. 

"නෑ මල්ලි මම කියන්නෙ බලන්ටකො මේ XX XXXX කොල්ලො ...මුංලා මේකිලා වල් අලි දැකල නැද්ද? මාසෙකට සැරයක් කොහොමත් කොහෙ හරි ගමක ගෙයක් දෙකක් අලි කඩනව. නැත්තං අලි ගහල කවුරු හරි මැරෙනව. එහෙම එකේ දැක්කද හවහ වැළ නොකැඩී මේ XXXXX පුතාල ආපු හැටි ලෑන්ඩ් මාස්ටර්වල පැටවීගෙන අලිය බලන්ට. අම්මගෙ රෙද්දෙ අලිය. එහෙම ඇවිල්ල මගෙ කුඹුරත් විනාස කරල යනව මේ වල් බූරුවො..."

කොහොම හරි හත වගෙ වෙනකොට මිනිස්සු යන්ට ගිහිල්ල. ගිහිල්ල ඒ පැත්ත පොඩ්ඩක් බලල එන්ට කියල යවපු විල්බට් අයියගෙ ගෝලය ඇවිල්ල අපි එක්ක විස්තරේ කිව්ව.

ඒත් පැය බාගයක් ගියේ නෑ ඒ පැත්තෙං ඇහෙන්ට ගත්ත අලිංගෙ සද්දෙ. අර මොකද්ද ඒකට කියන්නෙ? හේසාරවේ ද නෑ නෙ. හරි කුංච නාදෙ අන්න ඒක …

"විල්බට් අයිය මළ කෙලියයි අර අලි වටේ ආයම ඇවිල්ලද කොහෙද නේද?"

"මදැයි අර අලිය බලන්ට එන XXXXX පුතාල මදිවට ඒ පාර XXXX අලිත් ඇවිල්ල මට පේන්නෙ. හපොයි මෙදා පාර නම් ඔය කුඹුරු කෑල්ලෙං එක වී ඇටයක් ගන්න එක බොරු…" විල්බට් අයිය කුණු හරප වැලක් කියල අලිංට බැන්න. 

කොහොම හරි අර අසරණ අලියා තෙමේ දවස් දෙකක්ද කොහෙද විල්බගෙ කුඹුරෙ වැටිල හිටිය. දවල්ට ලෙඩෙක් බලන්ට ඉස්පිරිතාලෙ යනව වගෙ සෙනඟ වැල නොකැඩි ඌව බලන්ට ආව. ඇවිල්ල විල්බගෙ කුඹුර පාගල කරල අසානාසි කරල දැම්ම. රෑ වෙනකොට මිනිස්සු ගෙවල් වලට ගියා. ඊට පස්සෙ ඔන්න අපේ අසරණ අලියගෙ යාලු අලි රංචුවෙ වාරෙ. උං ඇවිල්ල එළිවෙනකල් අලියට සාත්තු සප්පයං කරල යනව. ඒ අතරෙ කුඹුරෙ අර මිනිස්සුංගෙ පයට නොපෑගී බේරිල තියන හරිය වංගෙඩි ගෙනල්ල තැලුව වගෙ විනාස කරල දානව.

"මට පේන්නෙ බං මේ XXX අලියට දැං සනීපයි. ඌට මේකෙ ආතල් එක රහ වැටිල බොරුවට වැටිල ඉන්නවද කොහෙද.."

දෙවෙනි දවසෙ නැත්තං තුන්වෙනි දවසෙ ඔෆිස් එක ඉස්සරහදි හම්බ වෙලා විල්බට් අයිය මා එක්ක බොහොම විස්සෝපෙං කිව්ව. ආ ඒ වෙනකොට වනජීවී එකෙං ටාපොලීන් එකක් ගෙනල්ල අලියට දවල්ට අව්ව හින්ද කූඩාරමක් වගෙ එකකුත් අටවලයි තිබ්බෙ. විල්බ ඒ හින්ද වනජීවි එකේ ලොක්කගෙ අම්මගෙ ඉඳලම උගෙ කුණුහරප කියන ලිස්ට් එකට ඇතුලත් කරගෙන තිබ්බෙ.

කොහොමහරි එදා රෑ අලි රංචුව ඇවිල්ල අපේ අසරණ අලියව නැඟිට්ටවල එක්කගෙන ගිහිල්ල තිබ්බ. ඒත් ඒ වෙනකොට විල්බගෙ කුඹුරෙං ගන්ට දෙයක් නෑ. විල්බ කොහොම හරි අපේ චන්දරයටත් දොස් කියල තිබ්බ මොකද චන්දරය තමයි ඔය ඇළ පහලම තියන කුඹුරට වතුරෙං අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල රෙකමන්ඩඩ්ඩඩ් කරල අයිතිකාරය එක්කත් කතා  කරල දීල තිබ්බෙ. චන්දරයටත් මල පැනල මාසයක් විතර විල්බගෙ මූණ බැලුවෙත් නෑ. පස්සෙ දෙන්න හොඳ වුනා. 

ඊට පස්සෙ උනත් ඔය පොඩි කර්මාන්තයක් කරනකොට අපි කවුරුහරි අහනව "විල්බට් අයියෙ අර ඇලේ වැටිච්චි අලිය හින්ද විල්බට් අයියට මාර වැඩේ නේද වුනේ?" කියල.ඒ ඇති විල්බට. "අනේ මල්ලි මොනවද මේ කියන්නෙ? ඒ XXX අලිය නම් මගෙ පූරුවෙ හතුරෙක්ද කොහෙද.." ඔන්න ඔහොමයි විල්බට් අයිය කතන්දරේ පටන් ගන්නෙ....

පලි - මේ පාරත් කතන්දරේ නම් ටිකක් විතර දිග වැඩිවුනා. ඒත් තව දවසකට අදින එකේ තේරුමක් නෑ කියල හිතල ඔන්න ඔහෙ ලියල දැම්ම...හෙහ්,හෙහ්,

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...