Wednesday, July 5, 2017

516. ඉයන්ගේ පොල් මැල්ලුං කතන්දර සහ ඉක්බිති හතරවන අසරුවා පැමිණියේය…..


ගාළු කොටුපවුරෙහි දර්ශනයක් - Google Images



මේ ඉයන් එක්ක මේ ලෝකෙ දෙයක් කොරන්ට බැරි හැටියක් දෙයියම්පා..එක එක කාලෙට එක එක රැළි ගේනව. ප්‍රියතම සිංදු දාසයක් ගැන එක පාරක් ලියල මේකෙ ආය වෙන වැඩක් කොරන්ට උනේ නෑ. හැමෝම එක්කල සිංදු තෝරන්ට ගත්ත හිටු කියල. ඒ කොහොම උනත් ඒ රැල්ලෙං අවාසියක් උනේ නෑ. අපූරු සිංදු බර ගාණක් අපිට අහන්ට ලැබුන. ඒ වගේම සමහරු නිකම්ම සිංදුව දාන්නෙ නැතුව ඒ ගැන සුට්ටං පසුබිම් කතාවක් වගෙ එහෙකුත් ලියල තිබ්බ. ඒ සමහර කතන්දර හරිම චමත්කාරජනකයි.


ඔන්න මේ ඊයෙ පෙරේදා ආයම ඉයන් අභියෝගයක් කලා පොල් මැල්ලුම් ෂානරයෙ කතාවක් ලියන්ටය හොඳම කතාවට ඉයන් ගානෙ තෑග්ගකුත් දෙනවය කියල. ඉතිං ඔය තරඟයෙ විනිශ්චය බාරවුනේ මට. දැං ඉතිං බාරදුන්නු වැඩේ කොරන්ටත් එපාය. අනික වැඩක් කරනකොට පිළිවෙලක් තියෙන්ට එපාය. ලෙඩා මළත් බඩ සුද්ද වෙන්ට ඕනනෙ. 

ඒ හින්ද මේ පොල් මැල්ලුම් ෂානරයෙ කතන්දර කියන්නෙ මොනවද? එව්වයෙ නිර්ණායක (Criteria) මොනවද කියල යම් අදහසක් ගන්ට එපාය. ඒ හින්ද තරඟෙට ඉදිරිපත් කරපු කතන්දර කියවන්ට ඉස්සරවෙලා මම කලේ මේ අභියෝගය ඉදිරිපත් කරමින්  ඉයන් ලියපු සටහන ආයම බලන එක. ඒ සටහනේ මෙන්න මෙහෙම කියනව ඉයන්...



උපුටාගැනීම 

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත් යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.



ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 


මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ. එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

/උපුටාගැනීම අවසන්



ඉතිං මේ සටහන කියවගෙන යද්දි මට එක පාරටම මතක් උනා දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..මේ විදිහෙ කතාවක් මම කලිං ලිව්වනෙ අවුරුදු තුනකට වගෙ ඉස්සර කියල.


මේ කතාව මම ලිව්වෙ හැබැයි ඔය පොල් මැල්ලුං ෂානරයක් ගැන හිතල නම් නෙවෙයි. මගෙ තුංහිතකවත් එහෙම කල්පනාවක් තිබ්බෙ නෑ. මට ඕන වුනේ එදිනට කලින් එකිනෙකා ඇහැටවත් නොදුටු මිනිසුන් හා ගැහැණුන් පස් ගොල්ලක් දෛවෝපගතව සොබා දහම විසින් නිර්මිත බිහිසුණු ව්‍යසනයකට මුහුණදී එකම තැන එකම ආකාරයට මියයන අන්දම පිළිබඳව සටහනක් තබන්නටයි.

මෙන්න මෙහෙමයි ඒ කතාව....



එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave... 


මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙරැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි. 

මෙලෙස අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි. 

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි. 

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය. 

කොටු පවුර අසල වූ කොන්ක්‍රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය. 

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙස අරමුණකින් තොරව බලා සිටිමිනි. 

"කණිෂ්ක.....'' 

''ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි. 

''අපි මොකද දැන් කරන්නෙ? '' 

''මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි. 

''එහෙම කියල බැහැනෙ අනේ... මේකට අපි මොනව හරි කරන්න එපාය....'' 

''කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා ?'' 

''සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි'' 

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි. 

"තාත්ති අද උදේ මගෙන් ඇහුව අලුත් අවුරුද්ද පටන්ගන්ටත් ඉස්සරවෙලා මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....'' 

'' .................................'' 

''මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,'' 

'' .................................'' 

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....'' 

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි. 

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. .....පෙ.ව.9.25 

**************************************** 

''ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන මහත් ප්‍රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි. 

''ජනවාරි හයට දාගත්ත....බ්‍රහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ... වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.'' 

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි. හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය. වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්‍යාපාරයක් ඇරඹීමටය. 

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්‍යයක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් අනතුරුවය. තමන්ට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්‍රීතියකි. 

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යාබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය. 

''ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? '' 

''පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි. 

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය.

''ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි බරපතල ප්‍රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි. 

''ප්‍රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්‍රශ්න තිබ්බෙ නැතුවය?'' 

''අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය. 

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කීයද පුෂ්පා වෙලාව?.....'' 

''ම්ම්ම්....9.25 යි ...'' තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...'' 

*************************************** 

කළු පැහැති ප්‍රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ක්‍රියාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය. 

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. ''මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ?. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.'' 

විල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය. 

''හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ?'' 

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි. 

''මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන, බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්‍රමයක් නෑ....'' 

''මෙතන බාගයක් තියනව ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ ඝන කඩදාසියකින් හොඳින් එතූ පාර්සලයක් ඉන් පිටතට ගෙන විල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25 

**************************************** 



ක්‍රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි. දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිතද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නාක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එකද කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්‍රමණ ලක්ෂණයන්ගෙනි. (withdrawal symptoms) 


ගාලු පුරවරයෙහි ප්‍රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය. 

''අඩෝ, ****** පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......'' 

ඒ තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි. 

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි." සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි ඉස්සුවොත්......... " මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටුබැම්ම දිගේ ගමන් කල යුතුය. 

කිට්ටා සෙමින් සෙමින් කොටුබැම්මට මුවාවී එදෙසට ලඟාවන්නට විය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකලද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ වී නම් මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි. 

**************************************** 

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.එහෙත් කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව වාසය කල ප්‍රීතිමත්ම මිනිසා විය. 

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.එළෙසම හාමතින් වේලක් හෝ දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් ද නොවීය. 

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය. 

''ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය. 

'' කවුද? '' 

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,'' 

''එහෙමද?....සැන්ඩ්‍රා,,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....'' 

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්‍රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි. 

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්‍රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය. ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සෑම අතින්ම සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ඔහු පෙරදින රාත්‍රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සුරතට ගත් ලොව ප්‍රීතිමත්ම මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය. 

ඒ සමඟම  ඔහු වැතිර සිටි තැනට පියවර දහයකට පමණ නුදුරින් කිසිවෙක් කොටු බැම්මට මුවා වෙමින් හොර බළලකුමෙන් ඔහු පසුකර යනු ඔහුට යම්තමට ඇස්සර වැටුනු නමුදු ඒ කවුද හෝ කුමන හෙයින්  එසේ හැසිරෙන්නේද යන්න පිළිබඳව ඔහුට කිසිදු ගනිච්චියක් නොවීය.

වේලාව යන්න පිළිබඳව හැඟීම් මාත්‍රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි. 

**************************************** 

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්‍රාව අසල කල්ප අසංඛ්‍යය සංඛ්‍යාවක් දැඩි නිද්‍රාවක ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්‍රාවෙන් ඇඟ මැලි කඩා අවදි වූයේ, සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිතය සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය. 

**************************************** 



නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය. 


''කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය. 

''ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? '' 

**************************************** 

''ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. 

**************************************** 

''මුදලාලි අර මූද ගොඩට එනව නේද?......'' 

''මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, විල්බට්...යමං හනිකට මෙතනිං'' 

**************************************** 

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය. 

**************************************** 

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්‍රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්‍රීතියෙන් සිනාසුණේය. 

**************************************** 

සුමාත්‍රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. කලකින් නොදුටු තම ඥාතී හිතවතුන් බැහැදැක සතුටු සාමීචියෙහි යෙදෙනුවස් දෝත පුරා තෑගි බෝග දුර බැහැරක සිට පැමිණෙනා ඥාතියකු/හිතවතකු පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්‍යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය.

මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. 

කිට්ටා ප්‍රාඩෝවෙහි පසුපස අසුන මතවූ ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්‍රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය. 

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්‍රහාරය උදෙසා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය. ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට කඩා වැදුනේය. 

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26, 

***************************************** 


ඉනික්බිති දෙවන රළ පැමිණියේය. 

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding upon it….

46 comments:

  1. රළ උසට ගොඩ බිමට වැදිලා සුනාමියෙන් රට ගිල්ලුවා
    බල එයම ගැන රවී සොහොයුරත් මැල්ලුමක් දී පෙන්නුවා
    මොළ කළම්බන මැල්ලුමක් දෙනු ඉයන් ගොයියත් ඉල්ලුවා
    ගෙල දමන්නට මාලයක් කවි ලිව්වෙ මේ වලවෙට්ටුවා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සුනාමිය ඇවිදිල්ල මුළු රටම වැනසුවා
      රවිය ඒ සිද්දියෙන් මැල්ලුමක් සෑදුවා
      ඉයන් මේ ගොයියාව නැති ලෙඩක පැටලුවා
      මටත් මේ මොට්ටයා කීව වලවෙට්ටුටා

      Delete
  2. මේ වගේ කතාවල් ගොඩක් ඇත්තටම ඇහුව මචං.

    ReplyDelete
  3. ඔන්න ඔය පොල් මැල්ලුම අල්ලල දාල අර සූටි කයිය ගැන ලිව්වනම්.

    ReplyDelete
  4. මෙව්වනම් ඉතින් ඇත්ත කතාද මන්දා.... කොහොම උනත් ඉයන්ගේ පොල් මැල්ලුම් තරඟෙට ඉදිරිපත් වෙන්න බැරි උන එක ගැන දැන් මට දුකක් නෑ.. ඇයි අප්පා මේකට ඉදිරිපත් උනානම් මුන්දෑ තව පෝස්ට් බර ගානක් ලියලා තරඟෙ විනිශ්ය දෙනකම් බලන් ඉන්න උනානම් මම අකලට මහලු වෙනවා.

    ReplyDelete
  5. රවී...

    ඔබතුමාගේ ඔය ඔරිමජිනල් කතාව කියෙව්වා මම සෑහෙන කාලෙකට කලින්. කියෝලා ඌය්යා වෙලා ඒ 'වගේ' කතාවක් ලියන්න සෑහෙන කාලයක් තිස්සේ හිත හිත හිටියා. වැඩේ කියන්නේ මට ඒ ටැලන්ට් එක නැහැනේ.. ඉතින් කාලයක් තිස්සේ චුට්ට චුට්ට හිත හිනා ඉඳල මේ ලඟදි දවසක විනාඩි හතලිස්දෙකකින් ලියලා ඉවර කළා එකක්.

    මේ තියෙන්නේ ඒක.

    ඒක ලියලා ඉවර වෙලා මම ඔබතුමාගේ මේ කතාව හෙව්වා මට ඒ අදහස ආපු එක ගැන ලින්ක් කරන්න. ( කොහෙද ඉතින් මාතෘකාවට අනුව හොයන්නය?) හම්බුනේ නැහැ... කවුද දන්නේ මේ අස්සයෙක්ගේ එකක් දාල ඇතිය කියල. පුදුම වෙන්න දේකුත් නැහැ එක අතකට.

    ඔබේ මේ කතාව ඉතාම විශිෂ්ඨයි. ඒ අහලකින් යන්න පුළුවන් කීප දෙනයි මම මේ අවකාශයේ දැකලා තියෙන්නේ. දුක කියන්නේ ඒ කිසි කෙනෙක් දැන් ලියනවා හොරයි.

    ReplyDelete
  6. රවී. මේක නම් ඒකක්මයි. මේ ශෛලිය ගැන ලියන්න හිතුනේ මේ කථාව කියවලවත්ද කියල හිතුණා. දැන් නන් අන්දුස් කුන්දුස්. හෙහ් හෙහ්. මගේ ඔළුවේ නම් තියෙන්නේ අර දැන් බ්ලොග් එක ඩිලීට් කරල තියෙන බ්ලොග් කාරී මෙහෙම එකක් ලිව්ව කියල. එකේ සෙටිං එක ටවුන් හෝල් එක වගේ මතක. ඒ දැනට අවුරුද්දකට විතර ඉස්සර. උඹ ලියල තියෙන කාළෙත් එක්කල සිංහල බ්ලොග් වල මේ කථා ශෛලිය නිර්මාණය කරල තියෙන්නෙ ඔබ කියල පැහැදිලියි. ඒකනිසා තරඟය විනිශ්චය කරන්න උඹට වඩා සුදුසු කෙනෙක් නැහැ.

    ReplyDelete
  7. කතාව නම් මල් 49 යි...

    ReplyDelete
  8. මේ මැල්ලුම් තරඟෙ දැන් ඉවරත් ඇති. කලින් දැක්කනම් කොහොමහරි ට්‍රයි කරල ලියනව මාත් මැල්ලුමක්.

    ReplyDelete
  9. මෙතුමාගේ කතාව නම් නියමයි....
    මේක සුනාමි කතාවක්නේ.. මගේ පොල් සම්බල් ඡානරයට සම්බන්ධ නැති සුනාමි කතාව මෙතනින් කියවන්න පුලුවන් කැමති අයට...

    https://worldofaru.blogspot.com/2016/12/blog-post_25.html?m=1

    ReplyDelete
  10. මෙතනත් ඔය වගේ මැල්ලුම් වෙච්ච් එකක් ගැන කියනව :D

    https://m.youtube.com/#/watch?v=M3z7yQHO0T8

    ReplyDelete
  11. නියම පොල් මැල්ලුමක් තමයි මේක.
    මට පේන්නෙ මේ මනුස්සය ඉයන්ගෙ තෑගි තුනම අර ලියපු එවුවංට නොදී වංචාත්මකව ඩැහැගන්න මාන බලනව වගේ. හැක්..

    ReplyDelete
  12. //''ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. //

    // මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. //

    කොහොමද බොලේ එහෙම උනේ ?

    මුලින්ම ගලලා නෙමේ හිඳුනේ ..... හිඳිලා තමයි ගැලුවේ....

    ReplyDelete
    Replies
    1. මුලින් පොඩි රැල්ලක් ඇවිත් ඒක බැහැල ගියා. එතකොට ගොඩක් අය මූදට ගියා බෝට්ටු ගැටගහන්න එහෙම. තව අය ගියා ලස්සන බලන්න, බෙල්ලො ඇහිඳින්න එහෙම. ඒක තමයි ගොඩක් අනතුරුදායක උනේ. අපේ රටේ කලින් කවදාවත් සුනාමි ඇවිත් නැති නිසා කවුරුවත් මේ මාරයා ව අඳුරගත්තේ නැහැ.

      සුනාමි රල කියන්නේ තරංග නේ. තරංග වල තියනවා නේ උස් හා පහත් කොටස්. ඒ නිසා තමයි ඔහොම වතුර මට්ටම් උඩ පහළ යන්නේ.

      Delete
  13. මේ කොමෙන්ටුව ටත් උත්තර නොදැම්මොත් ආයෙ හොඳ වැඩක් කරනව. නරක ගෑණි කියන්න එපා.

    පොල් මැල්ලුම් තරඟය නිසා හරි, අපේ නිදාගෙන ඉන්න බ්ලොග් ලෝකෙ ටිකක් අවදි උනොත් ලොකු දෙයක්...!

    ReplyDelete
    Replies
    1. අන්න හරි...

      මෙන්න දොර පොල්ල!

      Delete
    2. මානවික්ස්,

      ඔන්න ඉතිං ඕකනෙ ඔහෙලත් එක්ක බැරි..පොඩ්ඩ බැරිවුනාද දොර පොලු, කොහු ඉදල් අරගෙනනෙ සටනට එන්නෙ..

      සියළුම පිළිතුරු අතපසුවූ ප්‍රතිචාරයන්ට නොවැරදීම පිළිතුරු දෙනු ලැබේ.

      අධික කාර්‍ය බහුලත්වය කරණ කොටගෙන සති අන්තය තෙක් ඉවසා වදාරනු මැනව දයාබර යුවතියනි...:)

      Delete
    3. මටත් මුන්දැට කමෙන්ට් දාන එක එපා වෙලා හිටියේ. ඇයි වදේ දාන ඒවට උත්තර් නෑනෙ. පස්සෙ ඇවිත් බලල යනවා විතරයි.ඒත් කට පියන් ඉන්නම බැරි උනාම කමෙන්ටුවක් කොටනවා.

      Delete
    4. දොර පොලු, කොහු ඉදල් වල පිහිටෙන් තමයි මෙහෙමවත් ඔහෙල එක්ක ඉහ ගහන් ඉන්නෙ :D

      Delete
    5. එමා: අත් දෙකම ඔසවා සහය දෙමි! ( හුහ්)

      Delete
    6. エマちゃん、日本にදොරපොලුありますか

      Delete
    7. ඇනෝ,

      ගෙදර තියනවා යාලුවෙක් ෆුජි නගිනකොට හම්බුණු හැරමිටියක්. ඒක ගන්න හැදුවෙ දොරපොල්ල වෙනුවට.

      Delete
    8. Maanaviks,

      කාම් ඩවුන්..කාම් ඩවුන්..ප්ලීස්...

      මම මේ අද උදේම සකේ පොඩ්ඩක් එහෙම අරගෙන අර ඉයන්ගෙ පොල් මැල්ලුම් තරඟය විනිශ්චය කරනව. ඒක ඉවරවුනාම කමෙන්ට්ස් වලට උත්තර ලියන්නං..

      බී කූල් ඈස් අ කියුකම්බර්..විල් යූ මැඩම්? ඕකේ?..:)

      Delete
    9. මෙතන කමෙන්ට් පුරවනවට සමා වෙන්න ඕන.

      ඔබතුමා වසන්තයේ අග සින්දුවට ආසයි නේද? මේක බලන්නකෝ.

      https://www.youtube.com/watch?v=vuOrObR9PmE&feature=youtu.be

      Delete
  14. මේක කලින් කියවල නැහැ, ඒක නම් මරු ඈ...

    ReplyDelete
  15. විල්බට් එකපාරටම ඇල්බට් උනේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මුහුද ගොඩ ගලන නිසා විල ඇල වෙලා.

      Delete
  16. මේක පොල් මැල්ලුම් නෙවෙයි මචං. නෝ හෙල්ලුං පොල් මැල්ලුං. මොකද හෙලවෙන්නෙ නැතුව සීම්ලස්ලි ජොයින් වෙන්නම උඹ කතාව අමුණලා තියෙනවා. Once again you proved that you deserve that award you won.

    ReplyDelete
  17. මේකනම් මරු අවසානය හොදටම තියෙනවා......කොහොමත් විනිශ්යකරු කරලා ඔබව මේ තරගෙන් අයින් කරපු එකත් ලොකු දෙයක්....

    ReplyDelete
  18. අනිත් කතා හතරත් කියවලා ආයේ මේක කියෙව්වා. ඇපත් නෑ!

    ReplyDelete
  19. කියන්න දෙයක් නෑ, මාරයි , සුනාමිය මතක් කරපු එකත් පට්ට ,මුහුද ගැන ලිපියක් ලියන්න හිටියෙ , දැන් ආයි මතක්වුනෙ

    ReplyDelete
  20. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්ඩ කොටන්ඩ මුවහත අලුත් වෙනව කිව්වලු.

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මල් කියන්නෙ මල් හතක් ගැහුව වගේ...මල්.!!!!!

    ReplyDelete
  23. මැල්ලුම් අනන්න කලින් කතා ලියන්න එපැයි.. වෙලාවට අපි කතා ලියන්නෙත් නෑ මැල්ලුම් කන්නෙත් නෑ.. හෙහ් හෙහ්
    අසරුවෝ 4 දෙනා ඉන්නේ වසිලිස්සා පොතේ නේද?

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ පැත්තා... බෛබලේ ඉන්න අසරුවො පස් දෙනා. ලෝක විනාසෙදි ඒ අය එන්නෙ. හතරවෙනිය තමයි මරණය...

      Delete
    2. පස් දෙනා නෙමෙයි හතර දෙනා...

      Delete
    3. නෑ බං පස්වෙනිය ඉන්නව. ඒ තමයි ‍මේක ලියන එකා. ඌ මරන්නෙ වද දීල ඔවු, වද දීල. හැක්..

      Delete
    4. බයිබලෙත් අස්සයෝ ඉන්නවා ද. මම අදයි දන්නේ. ස්තුති වේවා ඩ්‍රැකීයා!

      Delete
  24. ඉක්බිති පස්වෙනි අසරුවා එනතෙක් අපි බලා සිටිමු.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...