Tuesday, May 29, 2018

585. The Story Of My Marriage - 70 - Nothing Personal Bala But This Is A Question About My Entire Future…

"බාලා මම අර අනිල්කාරයගෙන් ඔයාව බේරගත්ත වෙලාවෙ ඔයා මට පොරොන්දු වුනා මම කියන ඕන දෙයක් කරනවයි කියල…..Krish...I will do anything you ask me any time... that were your exact words"

මම බාලගෙ ඇස් දෙක දිහා බලාගෙන එහෙම කිව්වෙ දත්මිටි කාගෙන. බාලා එහෙම දෙයක් කිව්වද කියල මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ. ඒත් එහෙම කිව්වම පොඩි ගැම්මක් එනවනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. අනික බාල මොකෝ නෑ කියන්නය? මම එකහෙලාම කියා හිටිනවනෙ නෑ කිව්වමයි කියල…

"අනිල්කාරය?" බාලා ඇස් උඩ තියාගෙන මා දිහා බැලුවෙ.

"ඔව්..ඔව්...අර ආවෙ ලොක්කෙක්....අපේ අර ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ක්ලයන්ට්ස්ලගෙ සල්ලි නැති උනාට පස්සෙ මොකද උනේ කියල හොයල බලන්ට....අන්න මිනිහ ගැනයි මම මේ කියන්නෙ"

"හරි හරි ක්‍රිෂ්...මට මතකයි...මට මතකයි..ඒත් ටිකක් සද්දෙ අඩුකරල කතා කරනවද කරුණා කරල. ඔහොම කතාකරනව කාටවත් ඇහුනොත් මටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."

මම හිටියෙ බාලගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ ඉඳගෙන ඉස්සරහට නැමිල මේසෙ උඩ අත් දෙක තියාගෙන. බාලා හිටියෙ මේසෙට වැලමිට ගහගෙන ඇඟිලි දහයම කෙස් අතරෙන් යවල ඔලුව මිරිකගෙන. බාලගෙ කාමරේ දොර වහල අගුලු දාල තිබ්බෙ.

එදා මගේ බෙල්ල දීල අනිල්ගෙන් බාලව බේරගත්තට පස්සෙන්දා ඉඳල මම බාල එක්ක තනියම ඉන්නකොට බාලට සැලකුවෙ මගෙ ඇවැස්ස මස්සිනා කියල හිතාගෙන. බාල ඒකට වැඩි කැමැත්තක් නැතිබව මට මිනිහගෙ ඉරියව් වලින් තේරුනාට ඉතිං මට පාන්ද කියල මම ගණං ගත්තෙ නෑ. බල්ලොත් එක්ක බුදිය ගත්තනං.....කියල ඔය කියමනකුත් තියෙන්නෙ සුද්දංගෙ. 

කොහොම හරි සමහරවිට මේ වෙනකොට බාලට හිතිල ඇති එදා මගේ උදව් අරගන්නෙ නැතුව අනිල්කාරය දෙන දඬුවමක් බාරගත්තනං මීට වඩා දාහෙන් සම්පතයි කියල...හෙහ්..හෙහ්...But It's too late for that Mr. Balakrishnan much..much..much too late....now you have to do exactly as I say...Period....

"හරි හරි දැං මට කියන්න ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ කියල පැහැදිලිව...."

"මම ඔයාට උදව්වක්නෙ මේ කරන්න යන්නෙ බාලා..ඒක තේරෙන්නෙ නැද්ද?"

"උදව්වක්?"

"ඔව්..උදව්වක් තමයි....බාලමනෙ කිව්වෙ අර පහුගිය රැස්වීමෙදි ගායකයො ගෙන්නන්න ඇස්තමේන්තු කරපු ගාණ වැඩිය...එච්චර වියදම් කරන එක අනුමත කරන්ට කොහොමවත්ම බැරිය..අරකද මේකද කියල...හරි එහෙම කිව්වෙ නැද්ද?"

"කිව්ව කිව්ව මම දැන් නෑ කිව්වෙ නෑනෙ. ඉතිං මොකක්ද ඔයා මට කරන්න යන උදව්ව?"

"හරි මේකයි...මම ගායිකාවක් එක්කරගෙන එන්නම් නොමිලේ.."

"නොමිලේ?"

"ඔව් නොමිලේ...බාලට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ..සම්පූර්ණයෙන්ම නොමිලේ…"

"හරි කවුද ඔය කියන ගායිකාව? කියමු බලන්ට මමත් අහල තියනවද කියල බලන්ටත් එක්ක…"

"ඈ වනාහී නැඟී එන අතිදක්ෂ ගායිකා... රා..ධා.....ඔව්....රා..ධා...ස්..වා..මි..නා...ද...න්...ටර ටරාං ටර ටරාං…" මම ඇදල පැදල කිව්ව.

"කවුරු? රාධා ස්වාමිනාදන්?...මම ජීවිතේටම අහල නෑනෙ එහෙම නමක්…"

"හරි හරි...දැනට අහල නැති වෙන්න ඇති. ඒත් මට ෂුවර් අපේ කොන්සට් එකෙන් පස්සෙ රාධා ස්වාමිනාදන් කියන නම තමිල්නාඩු සංගීත ක්ෂේත්‍රයෙ දනන් තුඩ තුඩ රැව් දෙන නමක් වෙනව...Yes, I am dead sure about that....." 

මම එහෙම කියල කාරණාව තවත් තදින් බාලට ඒත්තු ගන්නවන්ටත් එක්ක මිට මොලවල මේසෙට පාරක් ගැහැව්ව. දඩාං.......බාලා බයවෙච්චි පාර පුටුවෙනුත් නැගිට්ටුන.

"ක්‍රිෂ් මේ මේක සෙල්ලමක් නෙවෙයි. අපිට අපේ නම කැතකරගන්න බෑ පිස්සු නටල..Our corporate reputation is at stake here man, please understand...හරි මට කියන්න කවුද ඔය කියන රාධා ස්වාමිනාදන්?"

"මෙහෙමයි…" මම බාල දිහාට නැවිල සීරියස්ව කතා කරන්න ගත්ත. "මේ මම කියන ගායිකාව තවම ප්‍රසිද්ධ වේදිකාවෙ ගායනා කරල නම් නැහැ. ඒත් කර්ණාටක සංගීතය හොඳටම හදාරල සහතික හිටං ගත්තු කෙනෙක්…"

අනන්‍යාගෙ අම්ම සහතික අරගෙන තියනවද නැද්ද කියල මම දන්න එකක් නෑ. ඒත් මේ වෙලාවෙ මට ඕන උනේ කොයිමක් කරල හරි බාලගෙ හිත නමා ගන්ට. එච්චරයි

"කර්ණාටක සංගීතය?" බාලා බෙරිහන් දුන්න…"තමුසෙට පිස්සුද අයිසෙ?"

ඔය බාල ඇවිල්ල හොඳ ආචාරසීලී මනුස්සය. මම මීට කලින් අහල නෑ මනුස්සය කිසිම කෙනෙකුට අඩුම ගානෙ සුලු සේවකයෙකුටවත් තමුසෙ කියල කතා කරනව. ඒකෙන් තේරෙන්නෙ මිනිහ කොච්චර හැඟීම්බර වෙලාද කියන එක. මම හිතන්නෙ කොන්සර්ට් එකට අලුත් ගායිකාවක් මම එක්කරගෙන එන එක බාලට උහුලන්ට බැරිතරම් සන්තෝසයක් වෙන්න ඕන.

"මේක පොප් කොන්සර්ට් එකක්...ස්ටේජ් එකේ ඩාන්සිනුත් තියනව... ඒකට කර්ණාටක සංගීතය කොහොමවත්ම ගැලපෙන්නෙ නෑනෙ මනුස්සයො…"

"බාලා..බාලා..බාලා...හරියට කර්ණාටක සංගීතය නියම ශාස්ත්‍රානුකූලව ඉගෙන ගත්තු කෙනෙකුට පොප් කොන්සර්ට් එකක සිංදු කියනව කියන්නෙ නිකං කොටින්ම කජු කනව වගෙ වැඩක්නෙ. ඔයත් ඉතිං කර්ණාටක සංගීතය ගැන හොඳට දන්නවනෙ. ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කර්ණාටක සංගීතය ගැන"

මම ඒ පොඩි මොත්තයක් දැම්මෙ. බාල දන්න ඉටිගෙඩියක් නෑ කර්ණාටක සංගීතය ගැන. මම හිතන්නෙ මම තරම්වත් දන්නෙ නෑ. හැබැයි මම මේ වෙලාවෙ බාලව මුරුංග අත්තට නග්ගපු විදිහට මිනිහට මට විරුද්ධ වෙන්න විදිහක් නෑ කොහොමවත්ම. මම මිනිහ කරමුලටම අහුවෙන විදිහටයි ගැටේ ගැහුවෙ. එව්වට තමයි ක්‍රම සහ විධි කියල කියන්නෙ.

මම හිතුව වගේම බාලක්‍රිෂ්ණන් මහත්තය බලා ඉද්දි කාම්ඩ් ඩවුන් ඇන්ඩ් කූල්ඩ් ඩවුන් වුනා.

"හරි හරි..දැං ඔය කියන ගායිකාව ...කවුද මේ... කවුද මේ... "

"රාධා…."

"අන්න හරි රාධා...ක්‍රිෂ් ඔය රාධා සිංදු කියනව අහල තියනවද?"

අනන්‍යාලගෙ ගෙදරට ගිය පළවෙනිම දවසෙ ගේ ඇතුලෙන් ඇහුණු වස නපුරු ඇල්සේෂන් දඩෝරියෙකුගෙ හකු පාඩා වලට බෙල්ල අහුවෙච්චි බළල් තඩියෙක්ගෙ විලාපය වගෙ සද්දෙ මතක් වෙලා මගෙ මුලු සරුවාංගෙම රෝම කූප සිරස්ව නැඟී හිටිය.

"අහලමත් තියනවමත් කියල කියන්ටමත් නම් බෑ....."

"මොකක්ද මනුස්සයො ඒ කිව්ව විකාර කතාව? මට කෙලින්ම කියනව... අහල තියනවද නැද්ද? එක වචනෙන් උත්තර දෙනව පිස්සු කියවන්නෙ නැතුව.."

"හ්ම්ම්ම්..අහල තියනව...මට සහතික කරල කිව්වැහැකි බාලා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ...අනික මොනව උනත් අර කවුද මට නම් මතකනම් නෑ...අනික් ප්‍රසිද්ද දෙන්නත් ඉන්නවනෙ.."

"හරිහරනුයි එස්.පි.යි දෙන්න…" බාල කිව්ව..

"අන්න හරි ඒ දෙන්න වැඩේ ගොඩ දායිනෙ අවුලක් උනොත්..අනික අපි ඒ දෙන්නට හොඳට ගෙවනවනෙ. එයාලගෙ රාජකාරිය අවුලක් උනොත් ගොඩ දාන එක. අපි ඕනනම් එයාලත් එක්ක ගහන ඇග්‍රීමන්ට් එකටත් එහෙම වගන්තියක් ඇතුල් කරමු"

"මොන වගන්තියක්ද? බැරිවෙලාවත් මොනව හරි අවුලක් එහෙම උනොත් ගොඩ දාන එක ඒ අයගෙ වගකීම කියල?" බාලා ඇස් උඩ තියාගෙන ඇහුව.. 

ඔන්න කිව්ව කතාවක්...

"නෑ..නෑ..එහෙමම නෙවෙයි...අපි ඒ අදහස එන විදිහට මොකක් හරි වචන ටිකක් ගැට ගහල වගන්තියක් හදමු. බැංකුවක වැඩ කරන අපිටත් බැරිනම් එහෙම දෙයක් කරන්ට වෙන කාටද පුලුවන්..නැද්ද බාලා?…" මම කිව්වා.

මේ නැඟීඑන නවක ගායිකාවගෙ ආතල් එකට බාලගෙ ඒ හැටි කැමැත්තක් තිබුනු පාටක් නම් පේන්ට තිබ්බෙ නෑ. ඒත් මිනිහ අන්තිමට කරන්ට දෙයක් නැති කමටම ඔලු ගෙඩිය ඉහල පහල වනල එකඟ වුනා

"අඩු ගනනෙ මේ රාධාගෙ රූප සෝබාවවත් කොහොමද? ඉටි කිරිස් කෙල්ලෙක්ද? නිකං කවුරු වගේද කියලවත් කියනවකො ..දීපිකා? ප්‍රියංකා?"

බාලා පුටුවෙන් නැඟිටල කාමරේ පිටිපස්සෙ බිත්තියෙ අපේ බැංකු ගොඩනැඟිල්ල එක්කම දිවෙන අතුරු පාරට විවෘත වෙන ජනේලෙ දිහාට යන ගමන් ඇහුව. මට හිතන්නෙ මිනිහට දාපු දාඩියෙ තරමට ඒ.සී. එක මදි වෙලා වෙන්න ඕන. ජනේලෙත් අරින්නද කොහෙද හදන්නෙ. අද උදේම පොඩි වැස්සක් වැටුන හින්ද අවට පරිසරයෙ තිබ්බෙ හොඳ සිසිල් ගතියක්.ඒ හින්ද ජනේලෙ ඇරියොත් හොඳ හීතල හුළං පාරක් කාමරේට හමාගෙන එයි කියල මටත් හිතුන.

"රාධානම් කවුරු වගේද මන්ද...ඒත් එයාගෙ දුවනම් ආය කියල වැඩක් නෑ...දිව්‍යාංගනාවක් වාගෙ ඔන්න කොටින්ම…"

ජනෙලේ අරින්ට අත දික්කරපු බාලා එහෙම්මම ආපහු හැරුන…"මොකක් කිව්ව? දුව? දුවගෙන් වැඩක් තියනවද මනුස්සයො? ස්ටේජ් එකේ සිංදු කියන්නෙ අම්මනෙ. අනික තමුං කොහොමද දුවව දන්නෙ?"

"දුව තමයි මගෙ පෙම්වතිය..She is actually my girl friend" මම ඔලුව පාත්කරගෙන කිව්ව. 

"Whaaat?....." බාලා ආයම බෙරිහන් දුන්න.."තමුසෙ මේ මෙච්චර වෙලා කිව්වෙ තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අම්ම ගැනද?"

"ඔව් බාලා..මම ලොකු අමාරුවක වැටිල ඉන්නෙ..Please help me as I helped you when you were in a difficult situation …"

බාල ජනේලෙ අරින්නෙ නැතුවම ආපහු ඇවිල්ල ඉඳගත්ත. "හරි කියනව මට ඔක්කොම විස්තරේ…"

"මගෙ ගෑණු ළමයගෙ අම්ම මට කැමති නෑ. එයා ඇමරිකාවෙ සිස්කෝ කම්පනි එකේ වැඩකරන එයාල අඳුරන කෙනෙකුට මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බන්දල දෙන්නයි හදන්නෙ. තාත්තව මම කොහොමහරි ටිකක් ෂේප් කරගත්ත. ඒත් මේ අම්ම එක්ක අමාරුයි. හරිම මුරණ්ඩුයි. ඉතිං මොනව හරි සුවිශේෂී දෙයක් කරල අම්මගෙ හිත නම්ම ගන්ට බැරිඋනොත් මට වෙන්නෙ ගෑණු ළමය ගැන තියන බලාපොරොත්තු අත් ඇර ගන්ට. එහෙම උනොත් මට දිවිනහගන්නව ඇරෙන්න වෙන දෙයක් ඉතුරුවෙන්නෙ නෑ"

මගේ ඇස් වලට කඳුළු ආවෙ ඉබේම. කොහොමත් ඔය හැඟීමබර කතාවක් කියවද්දි ඒ වගෙ චිත්‍රපටයක් බලද්දි උනත් මගෙ ඇස් දෙකට ඉක්මනටම කඳුලු එනව. ඒ හින්ද මේ වෙලාවෙ ඇස් වලට කඳුලු ගන්න එක ඒ හැටි අමාරු දෙයක් උනේ නෑ. බාලා බයවෙලා වගෙ මගෙ දිහා බලා හිටිය.

"ඒ කියන්නෙ ඒ කියන්නෙ ක්‍රිෂ්ගෙ ගෑණු ළමය දෙමළද?"

"ඔව්..දෙමළ සහ බ්‍රාහ්මණ වංශික…"

"අයියංගර්?"

"ඔව්..එහෙම තමයි කිව්වෙ…"

(සටහන - අයියංගර් යනු විශේෂයෙන් තමිල්නාඩුවේ සහ සුළු වශයෙන් කර්නාටක ප්‍රාන්තයේ වෙසෙන දමිල බ්‍රාහ්මණ වංශිකයින්ගෙන්ද උසස් යැයි සැලකෙන රාමනුජන් නම් සෘෂිවරයා දෙසූ ධර්මය අනුගමනය කරන්නන් පිරිසකි. ඔවුහු ඔවුන්ටම ආවේණික සුවිශේෂී විවාහ චාරිත්‍ර ද අනුගමනය කරන්නෝය.)


අයියංගර් ගෝත්‍රයේ විවාහ චාරිත්‍ර අනුව සරණ
බන්ධනයට ඇතුලත්වූ මනාල යුවලක්...

"හ්ම්ම් මට දැන් හිතා ගත්තෑකි ක්‍රිෂ් දිල්ලියෙ ඉඳල මොකද චෙන්නයි ආවෙ කියල.." බාලා එහෙම කියල හිනාවුනා.

"ඔව්...ඒකත් එක හේතුවක් තමයි..ඒත් ඊටත් වැඩිය මට ඕන වුනේ තමුං වගෙ රටේ සුපතල මූල්‍ය ආයෝජන කටයුතු පිළිබඳ මහා විශේෂඥයෙක්ගෙ දෙපාමුල ඉඳගෙන සාස්තරේ ඉගෙන ගන්ට.." මම කටකොනකිං හිනාවෙන ගමන් තොල මැතුරුව.

"මොකක්ද කිව්වෙ?" බාලා නළල රැළිකරගෙන ඇහුව.

"මොකවත් නෑ.....මේ බාලා මට කෙලින්ම කියන්න. ඔයා මේ වැඩේ කරනවද නැද්ද?"

"මොකක්ද වැඩේ?"

"ගායක ගායිකාවො තුන්දෙනා තීරණය කරනකොට හරිහරන් සහ එස්.පී. ට අමතරව නැගීඑන නවක ගායිකා රාධා ස්වාමිනාදනුත් ඒ තුන්දෙනාට ඇතුලත් කරන වැඩේ."

"මම කොහොමද ක්‍රිෂ් එහෙම කරන්නෙ? අපේ කමිටුවක් ඉන්නවනෙ ගායක ගායිකාවො කවුද කියල තීරණය කරන්න. එතකොට මම කොහොමද...."

මම අත උස්සල බාලගෙ කතාවට බාධා කලා. "කමිටුවක් තියනව තමයි. ඒත් ඒ කමිටුවෙ ඉන්නෙ ඔක්කොමල බාලා යටතෙ වැඩ කරන අය. ඔයා කිව්වොත් මේ අය තමයි අපි තෝරගන්නෙ කියල ඒ කිසිම කෙනෙක් කටක් හොල්ලන එකක් නෑ. මම දන්නවනෙ ඔය කමිටුවල වැඩ කෙරෙන විදිහ...හෙහ්..හෙහ්...අපි නොදන්න කමිටු..."

"එහෙම උනත් ක්‍රිෂ් මම කොහොමද එක පාරට……."

මම දිග හුස්මක් පාතට හෙලල නැඟිට්ට.

"හරි අවුලක් නෑ. බාලා නිවාඩු පාඩුව කල්පනා කරතීරණයක් ගන්න. මට හදිසි වැඩ වාගයක් තියනව...මගේ ඊ මේල් ඉන් බොක්ස් එකේ පරණ මේල් තියනව හත් අටසීයක් ඩිලීට් කරල දාන්න. ආ... බාලා මට ඒ දවස්වල එව්වෙ ඊ මේල් උදේ හවස අර ඉන්ටර්නෙට් ස්ටොක්ස් කොහොමහරි ක්ලයන්ට්ලගෙ ඇඟේ ගහන්න කියල. අන්න එව්වත් තිහ හතළිහක්ම තියනව මම ඩිලීට් නොකර. හෙට වගෙ වෙනකොට මට ඕනනම් ඒ ඔක්කොම ඩිලීට් කරල දාන්නත් පුලුවනි. මොකද කියන්නෙ? තීරණය ඔබ සතුයි."

බාලා මා දිහා බලා හිටියෙ හරිම අසරණ විලාසයකින්. මට දුකක් වගෙත් හිතුන. ඒත් සොරි ලොක්කා. මට වෙන කරන්න දෙයක් නෑ. ෂා ජහාන් අදිරාජයා මිනිස්සු හත් අට දාහක් මරවල වැඩ අරගෙන අවුරුදු විස්සක්ද විසිපහක්ද තිස්සෙ කෝටි ගානක් වියදම් කරල ටජ්මහලක් හැදෙව්වෙ මොකක් හින්දද? ආදරේ හින්ද. ඉතිං මම මේ වගෙ දෙයක් කලාම මක් වෙනවද? මොකෝ ඔය ගොල්ල කියන්නෙ? 

දොර බාගෙට ඇරල මම එතන නැවතිල ආපහු හැරුන. බාල තාමත් ඒ විදිහටම බලා ඉන්නව.

"මට ඇත්තටම කණගාටුයි බාලා. I am so sorry..this is nothing personal.....ඒත් මේ මගේ ඉදිරි අනාගතය සම්බන්ධ තීරණාත්මක මංසන්ධියක්…This is about my entire future Bala... so please help me…"

මම එහෙම කියල කාමරෙන් එළියට ඇවිල්ල හෙමිහිට දොරවැහුව.

Friday, May 25, 2018

584. The Story Of My Marriage - 69 - "Sit Down And Stay With Me" Ananya Ordered And I Sat Down And Stayed With Her…..

2 States...චිත්‍රපටයෙන්...වමේ සිට..... මංජු, අනන්‍යාගේ පියා,
අනන්‍යාගේ මව, 
අනන්‍යා, ක්‍රිෂ් සහ ක්‍රිෂ්ගේ මව...

"ඔයා දන්නෙ නෑ ක්‍රිෂ් දිල්ලියෙ අප්පගෙ හෙඩ් ඔෆිස් එකේ ලොක්කො බොක්කො ඔක්කොමලම අප්පගෙ ප්‍රසන්ටේෂන් එක ගැන බොහොම පැහැදිල කියලයි ආරංචිය. ආය වෙන මොකවත් ඕන නෑ එයාල දැන් මුලු ඉන්දියාවෙම තියන කලාප කාර්යාල ඔක්කෝටම සර්කියුලර් එකක් යවන්නලු ලැහැත්ති වෙන්නෙ ඒ විදිහෙ ප්‍රසන්ටේෂන් හැමෝම හදන්න ඕනය කියල උපදෙස් දීල...

අනන්‍යා ඇස් ලොකු කරගෙන කියාගෙන ගියේ අත්දෙකෙන් එහෙ මෙහෙ වීසි කර කර...."එහෙම නේද අම්මා?" ඈ අන්තිමට අම්ම දිහාට හැරිල හිනාවෙලා ඇහුව.

අනන්‍යා මෙහෙම රඟපාන්නෙ ඇයි කියල මම දන්නව. ඈ හදන්නෙ මේ කලබල අස්සෙ අපි දෙන්න රත්නා ස්ටෝර්ස් එකට ගිය ගමන ගැන යම්තමට ඔහෙ කියල දාල ෂේප් වෙන්න. ඒත් ස්වාමිනාදන් නෝනා දුවගෙ ගැටවලට අහුවෙන පාටක් නෑ. දුවගෙම අම්මනෙ. ඈ හැඟීම් රහිත මුහුණින් යුතුව ගල් පිළිමයක් වගෙ ඉඳගෙන අපි තුන්දෙනාට කෑම බෙදුවෙ අනන්‍යාගෙ කියවිල්ල කණකටවත් ගත්තෙ නැති ගානට. තුන්දෙනා කිව්වෙ මම අනන්‍යා සහ මංජු. ස්වාමිනාදන් මහත්මයා තවම දිල්ලියෙ.

ඊයෙ හවස අර අනන්‍යා ටෙලිෆෝන් කරල කියපු විදිහට මම මේ ඇවිල්ල ඉන්නෙ එයාලගෙ ගෙදර රාත්‍රී භෝජනයට. අපි හතරදෙනා මුහුණින් මුහුණ බලාගෙන බිම වාඩිවෙලා හිටියෙ අනන්‍යාලගෙ සාලෙ. අනන්‍යාගෙ අම්ම බුම්මාගත් ගමන්ම රසම් කෝප්පයක් හැඳිගාල ඒක මගේ අතට දුන්න. ඒත් වචනයක්වත් කතා නොකර. ඒ වගේම මූණෙ හිනාවක් ගෑවිලාවත් නෑ.

"ඇයි අම්මා..අසනීපයක්වත්ද?" අනන්‍යා බැරිම තැන ඇහුව. 

ඔන්න ස්වාමිනාදන් නෝනා එක පාරටම ඔලුව උස්සල අනන්‍යාගෙ මූණ දිහා එක එල්ලේම බැලුව. 

"ඔයා ඊයෙ හවස මේ ළමයත් එක්ක රත්නා ස්ටෝර්ස් එකට ගියාද?"

ඈ ඇහුවෙ නහයෙ තුඩේ ගෑවෙන තරමට දකුණතේ දබර ඇඟිල්ල මගෙ නහයට කිට්ටු කරල. මම බය වෙච්චි පාර ඔලුව පස්සට ගත්ත සෙනේකින්. 

හ්ම්ම්ම්..මදැයි අනන්‍යාගෙ ටැක්ටික්ස් ඔක්කොම ඔය වතුරෙ ගියේ ගංගානම් ගඟේ ගහගෙන යන දර කොටයක් වගේ. 

"චිත්‍රා ආන්ටිට රටේ නැති වැඩ. එයාට තකහනියක් ඇවිල්ල අම්මට ඔය කේළම කියන්න වෙලාවක් හොයාගන්න එක ලේසි නෑ. ඒකට තව දවස් දෙක තුනක් වත් යයි. ඒකයි මම මේ හෙටම ඩිනර් එක දාගත්තෙ...කොටින්ම කිව්වොත් අර යෝදි ඇවිදිල්ල ගින්න පත්තු කරන්න කලින් වැඩේ ෂේප් කරල දාන්න" Dinner Damage Control Strategy එක ගැන අනන්‍යා මා එක්ක කිව්වෙ අන්න එහෙමයි.

"Hmmm...Pre-emptive strike එකක් වගේ එකක්ද?" මම ඇහුව. 

"අන්න හරි ඒක තමයි හරිම වචනෙ.."

අනන්‍යා ඊයෙ මට කිව්වෙ එහෙමයි. ඒත් බලනකොට චිත්‍රා ආන්ටි කලින්ම ගේම දීල වගේ.....

"ඕ..ෂිට්..චිත්‍රා ආන්ටි පාන්දරම ඇවිල්ල ගිණි තියල ගිහිල්ල වගේ හතර අතටම මට පේන විදිහට.."

අනන්‍යා එහෙම කිව්වෙ ඔලුව උස්සන්නෙවත් නැතුව එයාගෙ පිඟානට දාගත්තු බතුයි පරිප්පුයි කිසි කිසි ගාල අනන ගමන්. මම ඇගේ අතැඟිලි ක්‍රියාත්මක වෙන දිහා බලා හිටිය ඇසිපිය නොහෙලා…

"අක්කා..නරක වචන කියන්න එපා කියල ඔයාම නේද මට අවවාද කරන්නෙ හැම වෙලේම? අනික විශේෂයෙන් වැඩිහිටියො ඉස්සරහ….." මංජු ඇහුව.

"මංජු මේ තමුසෙ සද්ද නැතුව කනවද? මම කතා කරන්නෙ අම්ම එක්ක…" අනන්‍යා ඔලුව උස්සල මංජුව කන්න වගෙ ටික වෙලාවක් බලා ඉඳල කිව්ව. 

"මල්ලි කියන එක හරි. මීට කලින් අපි මේ ගෙදර ඔය වගෙ වචන පාවිච්චි කලේ නෑ. අනික ඔයා මේ කරන දේවල මේ ගෙදර වෙන කවුරුවත් කරලත් නෑ මීට ඉස්සර....."

අනන්‍යාගෙ අම්ම පිඟානෙ තිබ්බ බතුයි වෑංජනයි අනාගෙන අනාගෙන ගියේ මම හිතන්නෙ හිතේ තියන කේන්තියට වෙන්න ඕන. බතුයි, පරිප්පුයි, මුදවපු කිරියි, වම්බටුයි ඇගෙ ඇඟිලි අතරින් මිරිකිල එලියට පනින දිහා මම ඒ පාර බලා හිටියෙ ඇසි පිය නොහෙලා. දෙයියෝ සාක්කි. මේ අම්මයි දුවයි කෑම අනන විදිහට කන්නත් එපා වෙනවනෙ. අද රෑට බඩගින්නෙ තමයි මට ඉන්න වෙන්නෙ මේ ඩිස්කෂන් එක තවදුරටත් මෙහෙමම ඇදිල ගියොත්..

"මොකක්ද අම්මා මම දැන් කරපු වැරදි වැඩේ? ක්‍රිෂ්ට ස්ටීල් ප්ලේට්ස් ඕනය කිව්ව. එයා දන්නෙ නෑනෙ කොහෙද එව්ව ගන්න තියෙන්නෙ කියල. ඉතිං මම එයාව රත්නා එකට එක්කරගෙන ගියා. මොකක්ද ඒකෙ තියන වැරැද්ද?" අනන්‍යා බත් අනන ගමන්ම අම්ම දිහාට ඔලුව හරවල ඇහුව. 

"නෑ..නෑ..එහෙම එක්කගෙන ගිය එකේ කිසිම වැරැද්දක් නෑ.. මම දැන් එහෙම එකක් කීවෙ නෑනෙ. මම කතාකරන්නෙ ඔයා රත්නා එකේදි කරල තියන අපේ තත්වෙට කොහෙත්ම ගැලපෙන්නෙ නැති දෙකයි පණහෙ වැඩේ ගැන.. "

"මොනවද අක්ක කරපු දෙකයි පණහෙ වැඩේ අම්මෙ?" මංජු කන එක එහෙම්මම නතර කරල ඇහුවෙ ඇස් නළලෙ තියාගෙන…

"මංජු මේ...මම දැන් සැරයක් කිව්ව තමුසෙට..යනව කාමරේට ගිහිල්ල පාඩම් කරනව…"

"මම උදේ ඉඳල පාඩම් කරල ඉන්නෙ.."

"මොනවද පාඩම් කලේ.?"

"ෆිසික්ස්….."

"හ්ම්ම්ම්...හරි ගිහිල්ල ආයම ෆිසික්ස් පාඩම් කරනව...බලනව කලින් පාර මිස් වෙච්චි එව්ව එහෙම මොකවත් තියනවද කියල...මොකවත් මිස් වෙලා නැත්නම් මැත්ස් හරි කෙමිස්ට්‍රි හරි පාඩම් කරනව.."

"ඉතිං මම කනවනෙ.."

"හරි පිඟානත් අරගෙන යනවකො.. තමුසෙට නුපුරුදු දෙයක් නෙවෙයිනෙ..වෙනද කතාකලත් එන්නෙ නෑ අපිත් එක්ක ඉඳගෙන කන්න. පිඟානත් අරගෙන යනව පාඩම් කරන්න තියනව කියල.. අදත් යනව... ගිහිල්ල කන පාඩම් කරන ගමන් කනව…"

අනන්‍යා මූණ රකුසු කරගෙන කියවගෙන කියවගෙන ගිය හැටියට මම හිතන්නෙ මංජුවා හොඳටම බය වුනා. මිනිහා කෙසෙල්කොලෙත් එක්ක පිඟානත් උස්සගෙන පස්ස බල බල කාමරේට ගියා...හෙහ්...හෙහ්...

"කොහොම මොකක් කිව්වත් මෙව්ව මහ දෙකයි පණහෙ බාල වැඩ..බාල වැඩ..බාල වැඩ.."

අනන්‍යාගෙ අම්ම කැඩිච්ච් තැටියක් එක තැන වාදනය වෙනව වගෙ බිම බලාගෙන කියවගෙන කියවගෙන ගියා. අනන්‍යාගෙ අම්ම ඒ ටික කියාගෙන ගියේ දෙමළෙන්…ඒ එක්කම ඇතිවීරියෙන් බත් අනන්නත් අමතක කලේ නෑ. 

"අම්ම මේ..ක්‍රිෂ්ට දෙමළ තේරෙන්නෙ නෑ අම්ම දන්නවනෙ..... ඒ හින්ද ඉංග්‍රීසියෙන් කතා කරන්න ප්ලීස්.." අනන්‍යා අම්මට කිව්වා.

අම්ම ගැඹුරු හුස්මක් දෙක අරගෙන ටිකක් වෙලා බිම බලාගෙනම හිටිය. ඊට පස්සෙ ඔලුව උස්සල සන්සුන් ස්වරයකින් කතා කලා.

"අනන්‍යා..ඇයි ඔයා මල්ලිව කාමරේට යැව්වෙ? මොකද එයා ඉන්න තැන ඔයා කරපු වැඩේ ගැන කියනකොට ලැජ්ජයිද? හැබැයි ගෙදරදි එහෙම ලැජ්ජ හිතුනට ඔයාට දෙනෝ දාහක් මිනිස්සු ඉස්සරහ ඒ වගෙ වැඩ කරන්න ලැජ්ජ නැහැ නේද?"

"මම කිසිම දෙකයි පණහෙ වැඩක් කලේ නෑ"

"ඒ කියන්නෙ එතකොට චිත්‍රා ආන්ටි බොරුද මගෙත් එක්ක කිව්වෙ?"

"හරි...හරි..ඉතිං...මම ක්‍රිෂ්ට පොඩි කිස් එකක් දුන්න...එච්චරයි…"

"පොඩි කිස් එකක් දුන්න එච්චරයි...ඒක කියපු ලස්සන.." මිසිස් ස්වාමිනාදන් මගේ දිහා බලල ඒ එක්කම බිම බලාගත්ත. එයාගෙ මූන රතු වෙලා තිබුනෙ ලැජ්ජාවටද කේන්තියටද ඒ දෙකටමද මන්ද...

"අම්මෙ මේ නිකං ලේ රත්කරගන්න ප්‍රෙෂර් වැඩිකරගන්න දෙයක් මෙතන උනේ නෑනෙ..ක්‍රිෂ් කියන්නෙ මගෙ ප්‍රේමවන්තයා. I am going to marry him one day.......අන්න ඒක තේරුම් ගන්න ඔක්කෝටම ඉස්සෙල්ල…"

"ඔයා මගෙ දුව.ඔයත් ඔක්කෝටම ඉස්සෙල්ල අන්න ඒක තේරුම් ගන්න...ඔයා මේ කරන වැඩ වලින් වෙන්නෙ අපිට අහල පහල මිනිස්සුන්ට, නෑදෑ හිතවතුන්ට මූණ දෙන්න බැරිවෙන එක...මම ඔයාව හැදුව.. ඉගැන්නුව...ඔයා වෙනුවෙන් කියන්න බැරි තරම් කැපකිරීම් කලා.ඔයාට ඒවා ගැන වගක්වත් තියනවද? ඔයාට තේරෙනවද මම කියනදේ අනන්‍යා?"

අම්මයි දුවයි මොනව තේරුම් ගත්තද නම් මන්ද. ඒත් මම එක දෙයක් බොහොම පැහැදිලිව තේරුම් ගත්ත. ඒ තමයි දැන් මෙතනින් නැඟිටල යන එක ඥාණගෝචරයි කියල. එහෙම හිතල මම හෙමිහිට නැඟිට්ට. 

"Krish...කොහෙද ඔයා මේ යන්න හදන්නෙ?" අනන්‍යා ඔලුව උස්සල මගෙ මූන බලල ඇහුව. 

"මම මේ..මම..මේ අත් දෙක හෝදන්න කියල යන්න හැදුවෙ…" මම අනන්‍යාට මගෙ බත්, පරිප්පු, මුදවපු කිරි ගෑවිච්චි ඉඳුල් අත පෙන්නල කිව්ව.

"ඉතිං මොකද? මේ ... මගෙ අතත් එහෙම තමයි" ඈ මට ඇගේ සුරත උස්සල පෙන්නුව. "අපි දෙන්නම පස්සෙ අත් හෝදමු.. ඉඳගන්න ආපහු..Stay with me Krish……" අනන්‍යා නියෝගකලා... 

මම හෙමීට ආපහු ඉඳගත්ත.

"අනන්‍යා ඔයාට ඇත්තටම කිසිම තේරුමක් නෑ ඔයා හින්ද මට මූණ දෙන්න වෙන්නෙ මොන වගේ දේවල් වලටද කියල.. ඔයා පොඩි කාලෙත් එහෙමයි..දැනුයි කියලත් කිසිම වෙනසක් නෑ.."

මිසිස් ස්වාමිනාදන් එහෙම කියල පිඟානත් අරගෙන සුරුස් ගාල නැඟිටල සාලෙන් පිටවෙලා කුස්සියට ගියා.

අනන්‍යා ළය හිස්වෙලා යන්න ලොකු සුසුමක් හෙලල මා දිහා බලල හිනාවුනා.

"රසම් එක මරු..හොඳ ගානට ලුණුයි ඇඹුලුයි…" මම ඈ දිහා බලල ඉඟි මැරුව.

Monday, May 21, 2018

583. The Story Of My Marriage - 68 - Blitzkriegs, Battle Tanks, Bruce Lee & Making Myself Irresistible to Mrs. Swaminathan...

"අනන්‍යා මොකද මේ? "

සැර පරුෂ කටහඬක් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. 

"Ohhhh..fuck…Chithra aunty"

අනන්‍යා එහෙම කියල අතට අහුවෙච්චි රොටි තැටියක් අරගෙන මූණ වහගත්ත....

අනන්‍යා රොටි තැටියෙන් මූණ වහගන්නට දැඟලුවට ඒක හරියට අර පැස්බරෙක් වැල්ලෙ ඔලුව හංගගෙන හතුරෙක්ගෙන් බේරෙන්ට හදනව වගෙ තමයි. කිසිම පලක් නෑ. මොකද ඒ වෙනකොටත් චිත්‍රා ආන්ටි නිකං දෙවෙනි ලෝක යුද්දෙදි ප්‍රංශෙ යටත් කරගන්නට දියත් කරපු ජර්මනියෙ "බ්ලිට්ස්ක්‍රීග්" මෙහෙයුමට සහභාගිවන පැන්සර් IV යුද්ද ටැංකියක් වගෙ ආත බූත කඩාගෙන පෝලිමේ ඉන්න සහ ඒ අවට බඩුගන්න මිනිස්සු ගෑණු පෙරලගෙන ඉදිරියට එනව.

දෙවන ලෝක සංග්‍රාමයේදී භාවිතා වුනු ජර්මන් Panzer - IV
වර්ගයේ යුද ටැංකියක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
Google Images

සටහන - බ්ලිට්ස්ක්‍රීග් කියන්නෙ ජරමං බාසාවෙන් "Lightning War" නොහොත් ක්ෂණික මෙහෙයුමක්. ඒකෙදි කෙරෙන්නෙ හෙණ ගහන්නා වගෙ දඩ බඩ ගාල ගේම දීල හතුරා අන්ද මන්ද කරල ජයග්‍රහණය කීරිම. ඒක ජර්මනුන්ගෙ යුද උපක්‍රමයක්.

ඒ බ්ලිට්ස්ක්‍රීග් මෙහෙයුම් වලදි ජර්මානුන් සතුරන් අන්ද මන්ද කරන්නට අධික ශබ්දය පවා පාවිච්චි කරල තියනව. ජර්මන් ජුන්කර්ස් ප්‍රහාරක අහස් යානා Dive Bombing වලට පහළට එද්දි කණ් බිහිරිකරවන තරමෙ අධික ශබ්දයක් නිකුත් කරන විස්ල්ස් එහෙමත් යොදාගත්තලු.

අර බුරුස්ලී දන්නව නේද? අපි ටීනේජර්ස්ල කාලෙ අපේ වීරයෙක් තමයි ඔය බුරුස්ලී. බුරුස්ලීත් ප්‍රතිවාදියට පහර දෙන්ට ඉස්සෙල්ල අර උන්දැ ගාව තිබ්බෙ පොලු කෑලි දෙකකට දංවැලක් හයිකොරල තියන ආවුදයක්...ඒකට කියන්නෙ නන්චාකුව කියල. එන්න ඒ නන්චාකුව එහෙම කරකවල වැඩ දාල මහ හයියෙන් කෑගහනව දැකල තියනව නේද? ඒත් ඔය සතුරගෙ ධෛර්යය බිඳින්ට තමයි එහෙම කරන්නෙ.

අපෙ ගෙදර ඒ කාලෙ හිටිය රෝවර් කියල ඉතාම ගුණ යහපත් බල්ලෙක්. ඔය රෝවා නයෙක් ගහල මලාට පස්සෙ මම උගෙ දම්වැල අරගෙන පරණ ඉදල් මිටකින් කෑලි දෙකකුත් කපල මයි ඕන් නන්චාකුවක් හදාගත්ත. අප්පේ....ඒ වගෙ කතන්දරනම් කීයක් තියනවද කියන්ට...හෙහ්,හෙහ්,

මේ ඊයෙ පෙරෙයිද මම වත් පොතේ දැක්ක පොඩි එකෙක් බොහොම අපූරුවට බෲස්ලී සමාරූපණයක් (Bruce Lee Impersonation) කරනව. මේ පාත තියෙන්නෙ ඒ වීඩියෝ ක්ලිප් එක.



අහ්.. ඔය බ්ලිට්ස්ක්‍රීග් එකට යොදාගත්තු විස්ල්ස් ගැන අපූරු කතාවක් තියනව. ඒකත් කියලම ඉමුකො එහෙනං. අනුරාදපුරේ තියනව ඩී.එස්.ගුණසේකර කියල කම්පනි එකක්. මුලු උතුරු මැද පළාතටම සිගරට් ඒජන්සිය ඒ කාලෙ කලේ ඒ අය. නම් කොහොමද මන්දා. මම මේ කියන්නෙ අසූව දසකයෙ මුල වසර කිහිපය ගැන හොඳද?

ඉතිං 77 අවුරුද්දෙ ජේ.ආර්. මහ මැතිවරණයය (ජේ.ආර්.ගෙම වචන වලින් කියනවනම් මන්ත්‍රී තරඟය) දිනල යූ.එන්.පී. ආණ්ඩුවක් පිහිටෙව්වනෙ. ඒ කරල එතෙක් රජය යටතේ ලංගමෙන් ක්‍රියාත්මක කල පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කරන්නට පෞද්ගලික අංශෙටත් අවසර දුන්න. 

ඒ අනුව අර මම කිව්ව ගුණසේකර සමාගමත් බැස්ස ඔය ප්‍රයිවට් බස් බිස්නස් එකට. අනුරාදපුර - කොළඹ තමයි එයාලගෙ රූට් එක. මුලින්ම මම හිතන්නෙ බස් දහයක් පහළවක් වගෙ ගෙනාව. අර ටාටා දොරදෙකේ දිග බස්. සීට් 60 ක්ද කොහෙද තියෙන්නෙ. සෙනඟ පැටෙව්වැහැකි සීයකට එහා ඇස් පියාගෙන.

ඉතිං කතන්දරේ මේකයි. ඔය මුදලාලිගෙ මල්ලි කෙනෙක්ද පුතෙක්ද කොහෙද ඔය කාලෙ ඉගෙන ගන්ට එංගලන්තෙද කොහෙද ගියාලු. ආපහු එන ගමනෙ ජර්මනියටත් ගියාලු. ඒ කාලෙ Berlin wall was still upright so there was two Germanys of course. ඉතිං මම මේ කියන තැනැත්ත ගියේ බටහිර ජර්මනියට ඔෆ් කෝස්.

ඉතිං ඔය කාලෙ ජර්මනියෙ තිබිල තියනව ඔය දෙවෙනි ලෝක යුද්ද කාලෙ නිෂ්පාදනය කරල පාවිච්චි නොකරපු බඩු බාන්ඩ වෙන්දේසියක්. ඒ වෙන්දේසියෙන් අපේ කතානායකතුමා අරගෙන තියනව අර මම කලින් කියපු විස්ල් පණහක් හැටක්. වැඩකට නෙවෙයි. නිකම් මේ හිතුනට ගන්ට ඇති සිහිවටනයක් විදිහට.

ඉතින් ලංකාවට පෙරලා පැමිනෙනකොට ඔය විස්ල් තොගෙත් අරගෙන ඇවිල්ල. පස්සෙ දවසක මනුස්සයට හිතිල නිකම්ම තියන එකේ මේ විස්ල් එකක් අපේ බස් එකකට හයි කරල බලමු කියල. ඒ පාර සයිලන්සරේ Exhaust එකෙන් ක්‍රියාත්මක වෙන විදිහට ඒ විස්ල් එකක් හයි කරල.  අම්මද බොල. සද්දෙ කියන්නෙ ආය නෑ ගුණසේකර බස් එකක් තලාව දිහා එනකොට අනුරාදපුරේට සද්දෙ ඇහෙනව. ඔන්න කොටිම්ම. (දුහුනන් දැනුම් උදෙසා - තලාව තියෙන්නෙ අනුරාධපුරේට කි.මී. 20 වගෙ දකුණින් A-9 මාර්ගයේ)

පස්සෙ බැරිම තැන මම හිතන්නෙ පොලීසියෙන් ඒ විස්ල් ඔක්කොම ගලවන්න කියල නියම කලා. මම හිතන්නෙ ඒ දවස්වල අනුරාධපුරේ හෝ ඒ අවට වාසය කල කට්ටිය දන්නව මේ කතන්දරේ....

හ්ම්ම්ම්....මදැයි අනන්‍යාගෙ කතාව කියන්ට ඇවිල්ල අන්තිමට කිව්වෙ මේ වෙන වල්පල්.....බෲස් ලීගෙ නැවත ඉපදීමයි, දෙවෙනි ලෝක යුද්දෙයි, ගුණසේකර බසුයි ගැනනෙ. 

සමාවෙන්ට ඕමනයි. අර විමලෙගෙ වාං පතුල් කතා ලියද්දි වගෙ නෙවෙයි මේ අනුන්ගෙ කතා පරිවර්තනය කරද්දි පොඩ්ඩක් සංයමයකින් ඒක කරන්ට ඕන. වාංපතුල් කතානම් ඔහෙ ඕන එකක්. මේක එහෙම බෑනෙ. බගට දන්නවනම් මේ ගැන හැරෙන තැපෑලෙන් ඇවිල්ල මයෙ කුලල මිරිකන්නෙ. ඒ හින්ද ඔන්න මෙතනින් එහාට අනම් මනම් මොකුත් නෑ. පෙරාපු රත්තරං වගෙ තනිකරම අනන්‍යාගෙ කතාව හොඳද?

අනන්‍යා රොටි තැටියෙන් මූණ වහගන්නට දැඟලුවට ඒක හරියට අර පැස්බරෙක් වැල්ලෙ ඔලුව හංගගෙන හතුරෙක්ගෙන් බේරෙන්ට හදනව වගෙ තමයි. කිසිම පලක් නෑ. මොකද ඒ වෙනකොටත් චිත්‍රා ආන්ටි නිකං දෙවෙනි ලෝක යුද්දෙදි ප්‍රංශෙ යටත් කරගන්නට දියත් කරපු ජර්මනියෙ බ්ලිට්ස්ක්‍රීග් මෙහෙයුමට සහභාගිවන පැන්සර් IV යුද්ද ටැංකියක් වගෙ ආත බූත කඩාගෙන පෝලිමේ ඉන්න සහ ඒ අවට බඩුගන්න මිනිස්සු ගෑණු පෙරලගෙන ඉදිරියට එනව.

"චිත්‍රා ආන්ටි….? ඒ කවුද?..." මම ඇහුව.

"චිත්‍රා ආන්ටි අනේ චිත්‍රා ආන්ටි...අපේ ලේන් එකේමයි ඉන්නෙ. අපේ ගෙදරට ගෙවල් හත අටක් වගෙ එහා. එයා අම්ම එක්ක කර්ණාටික් මියුසික් කරනව." අනන්‍යා රොටි තැටියට එහා පැත්තෙ ඉඳල කිව්ව.

"ආ..කර්ණාටික් මියුසික් කිව්වම මතක් වුනේ..මම ගත්තනෙ කර්ණාටික් මියුසික් තියන සී.ඩී. දෙක තුනක්.."

"What ?..... You bought Carnatic Music C.D.s?" 

අනන්‍යා කොච්චර පුදුමයටපත්වුනාද කිව්වොත් මම හිතන්නෙ ලඟ ලඟම එන යුද්ද ටැංකිය ගැනත් අමතක වෙලාද කොහෙද රොටි තැටියත් පාත් කරල ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලා හිටිය.

ඒ මොහොතෙම නාසි යුද්ද ටැංකිය අපි අසළට ලඟාවුනා.

"හරි හරි අපි කර්ණාටික් මියුසික් ගැන පස්සෙ වෙලාවක කතා කරමු." මම අනන්‍යාට එහෙම කියල යුද්ද ටැංකිය දිහාට හැරුන. "හෙලෝ ආන්ටී ඊ..ඊ…" මම ඉතාම හුරතල් විදිහට ඇදල පැදල එහෙම කිව්ව.

යුද්ද ටැංකිය මාව පයිසෙකට ගණංගත්තෙ නෑ. කෙලින්ම ගිහිල්ල නැවතුනෙ අනන්‍යා ඉස්සරහ. 

"අනන්‍යා..කවුද මේ?"

"ආන්ටි මේ ක්‍රිෂ්..මගෙ යාළුවෙක්…"

"හා එහෙමද? ‍යාළුවෙක් ආ? මොන ජාතියෙ යාළුවෙක්ද?" 

චිත්‍රා ආන්ටි ප්‍රශ්ණ කලේ හරියට අනන්‍යාගෙ කිරි අම්ම වගේ.

තව දුරටත් මම මෙතන ඉන්න එක අනන්‍යා තවත් අමාරුවෙ දැමිල්ලක් කියල මට හිතුන. 

"අනන්‍යා මම යන්නම් එහෙනම්...රෑ කෑමට කලින් මේ ගත්තු පිඟං අරගෙන චමරියට යන්ටත් එපාය. අර යක්කු දැනටමත් මේසෙට වාඩිවෙලා ඇති මම එනකල්...එහෙමනම් බායි..සී..යූ.....යන්නං ආන්ටි ඊ..ඊ..ඊ..." 

මම ආයෙම මගෙ අර Irresistible හුරතල් ස්වරයෙන් ඇදල පැදල  කියල එතනින් මාරුවුනා.

අලුත් පිඟංවල දවල්ට උයල ඉතුරුවෙච්ච රත්කරල දාගෙන කාල මම ඇඳේ දිගාවෙලා පත්තරයක් බල බල ඉන්දැද්දි අනන්‍යා මට කතා කලා.

"මොකද තත්වය මැඩම්? බටහිර පෙරමුණ නිසලයිද?" මම ඇහුව.

(Note - "All Quiet on the Western Front"  is a novel by Erich Maria Remarque, a German veteran of World War I. The book describes the German soldiers' extreme physical and mental stress during the war, and the detachment from civilian life felt by many of these soldiers upon returning home from the front. In 1930, the book was adapted as an Academy-Award-winning film of the same name, directed by Lewis Milestone. It was adapted again in 1979 by Delbert Mann, this time as a television film starring Richard Thomas and Ernest Borgnine.)

"නිසලමත් නෑ. අර අම්මණ්ඩි කොහොමත් අපෙ අම්මට කියනව මේ ගැන. අපෙ අම්මයි ඔය චිත්‍රා ආන්ටියි කොහොත් උඩිං හොඳවගෙ පෙන්නං හිටියට ඇතුලෙං අළු යට ගිණි තමයි."

"ඇයි ඒ?"

"එතන තියෙන්නෙ සංගීත අර්බුදයක්. අර ගුරුජී මතකද? සංගීත ගුරුවරයා? අර ඔයාට අපේ ගෙදරදි දවසක් මුණ ගැහුනෙ.."

"ඔව්..ඔව්..මම මුලින්ම හිතාගෙන හිටියෙ ඒ ඔයාගෙ ආතයි කියලනෙ.."

"හිහ්..අන්න හරි ඒ ආතා තමයි. ඒ මියුසික් ආතා අම්මගෙ දක්ෂතා මදියි කියල අම්මව ප්‍රතික්ෂේප කලාට ඔය චිත්‍රා අන්ටිට සංගීතෙ උගන්නන්න බාර ගත්ත. එදා ඉඳල ඔය දෙන්න මොනවයින් හරි පැටලෙන්නමයි බලාගෙන ඉන්නෙ…"

"ඉතිං දැන් ඔය රත්නා එකේ සිද්දවෙච්චි සීන් එක චිත්‍රා ආන්ටි අම්මට කිව්වම මොකක් වෙයිද?"

"එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මම කියන්නම් අම්මට එහෙම දෙයක් උනේ නෑ. ඔය චිත්‍රා ආන්ටි අපිත් එක්ක හිත හොඳ නැති හින්ද බොරුත් එක්ක ගොතල කියනව කියල"

"අම්ම විස්වාස කරයිද?"

"මම අම්මගෙන් අහනව මෙහෙම…. පිස්සුද අම්මෙ? අම්ම හිතනවද රත්නා ස්ටෝර්ස් එක වගෙ දෙනෝ දාහක් ගැවසෙන තැනක ක්‍රිෂ්ව ඉඹින්ට මගෙ ඔලුව හොඳ නැතෙයි කියල.."

"ඉතිං දෙයියනේ ඔයා එහෙම කලානෙ...හෙහ්..හෙහ්.." මම මහ හඬින් සිනාසුනෙමි.

"හරි හරි මම එහෙම කලයි කියල දන්නෙ ඔයයි මායි විතරනෙ...හිහ්.."

"අනන්‍යා මම මේ කල්පනා කලේ මම ඔයාගෙ අප්පා එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ආව විතරයි. මේ සීන් එක හින්ද ඒකත් අප්සෙට් යයිද මන්ද…"

"නෑ..නෑ..ඔයා බයවෙන්න එපා..එහෙම වෙන්නෙ නෑ...අම්ම ඔය විස්තර අප්ප එක්ක කියන්න යන්නෙ නෑ. මට ඒක සහතිකයි…"

"හප්පා..එහෙනම් ඒ ඇති.."

"ක්‍රිෂ් දැන් මංජුයි අප්පයි දෙන්නම ඔයාට කැමතියි. දැං ඔයාට කරන්න තියෙන්නෙ අම්ම කැමති කරව ගන්න එක…"

"කොහොමද ඒක කරන්නෙ?"

"අප්පව ෂේප් කරගන්ට ක්‍රමයක් දෙයියො ක්‍රමයක් පාදල දුන්න වගෙ මට ෂුවර් අම්මව කැමති කරවා ගන්ටත් මොකක් හරි ක්‍රමයක් දෙයියොම පාදල දෙයි.. හ්ම්ම්ම්ම්...එහෙම දෙයියො ක්‍රමයක් පාදල නොදුන්නත් මම දන්නවනෙ මගෙ කුමාරයා මාව ලබාගන්ට මොනවහරි ක්‍රමයක් කල්පනා කරනව කියල. ‍I know Krish you can do it....."

"හරි හරි බටර් ඇති…" 

මම මවාගත් දැඩි ස්වරයකින් එසේ පැවසුවද ඇගේ වදන් ඇසුණු කල මසිත මහත් ප්‍රහර්ෂයකින් පිරී ගියේය.

"ආ..ඔන්න තව පොඩ්ඩෙන් නම් වැදගත්ම එක අමතකම වෙනව..මම මේ ඔයාට කතාකලෙත් මේ පණිවිඩේ කියන්නමයි…"

"මොකක්ද අප්පේ?"

"හෙට රෑ අපේ ගෙදර රෑ කෑමට එන්න කියල ආරාධනා කරන්න….."

"හුටා..ඒ මොකද මේ හදිස්සියෙ?"

"අම්මට මම කිව්වෙනම් අප්පට අර ප්‍රසන්ටේෂන් එක හදාගන්න ඔයා හුඟක් උදව්කරපු හින්ද ඒකට ස්තූති කරන්නෙයි කියල. ඒත් ඇත්තටම මට ඕන වුනේ අපි දෙන්න රත්නා ස්ටෝර්ස් එකට ගිය ගමන ගැන අම්මට කියන්න"

"එතකොට අර ඔයා මාව ඉඹපු සීන් එක ගැනත් අම්මට කියනවද?"

"පිස්සුද මනුස්සයො...ඒක ගැන කියන්නෙ කොහොමද? අපි ඒක ඇර අනික් ටික කියමු. එතකොට චිත්‍රා ආන්ටි අම්මට එක දෙක කරල කිව්වට මට පොඩි ගැලවුමක් තියනවනෙ...හිහ්..හිහ්…"

"ඔයාගෙත් වැඩ මැඩම්. මොකටද ඒ වෙලාවෙ අර සෙනඟ තලේ මාව ඉම්බෙ? ඒකෙන්නෙ මේ ඔක්කොම අලකලංචි…"

"එහෙම කලේද? එහෙම කලේ......" අනන්‍යා ඉක්බිති කථාකලේ ඇසෙන නෑසෙන මට්ටමේ මන්ද ස්වරයකිනි..."සමහර වෙලාවට ක්‍රිෂ් මට ඔයාව ඉඹින්නෙ නැතුව ඉන්නම බැරිවෙනව. ඒ වෙලාවට අහල පහල කවුරු හිටියත් මම ඔයාව ඉඹින එක ඉඹිනව...Because I couldn't help it Krish..Do you know You are some times quite irresistible…………."

අනන්‍යා ඉතා පහත් ස්වරයෙන් පැවසූ එවදන් ඇසූ මගේ හදවත එකවරම නැවතුනාක්මෙන් මට දැනිණි. 

"ඕකේ මිසිස් ස්වාමිනාදන්. If your daughter finds me irresistible I will make you find me irresistible too..that's a promise…" මම තොල මතුරා ගතිමි.

Wednesday, May 16, 2018

582. The Story Of My Marriage - 67 - "Ohhh..Fuck..Chithra Aunty" Said Ananya Trying To Cover Her Face With A Huge Frying Pan....

"ඉතිං ඉතිං ලොක්ක මොකද කියන්නෙ? එයාට  සතුටුයිද දැං?"

මම අනන්‍යාගෙන් එහෙම ඇහුවෙ එයත් එක්ක ඔටෝ (ඔටෝ කියන්නෙ ත්‍රී වීල් වලටමයි) එකට නැඟල ඉඳගත්තු ගමන්මයි.

"ආය මොනවද? He is on cloud nine these days"

"ඇත්තටම?" මම හිනාවෙමින් ඇහුව. 

"ආයෙත් අහල. වෙනද පවුලෙ අපි කට්ටිය එක්ක උනත් සතියකට උපරිම වචන දහයක් නැත්නම් දොළහක් කතා කරන මනුස්සය, මෙන්න මේ පහුගිය සුමානෙ රෑ කෑමට වාඩිවෙච්චි වෙලාවෙ ඉඳල ආය නැඟිටිනකල් කතා කරන්නෙ එයාගෙ ප්‍රසන්ටේෂන් එක ගැන...ආ..මට කියන්නත් බැරිවුනානෙ. අප්ප ඊයෙ උදේ ගියා දිල්ලියට"

"ඈ? අර මොකටද අර?"

"අප්පගෙ ප්‍රසන්ටේෂන් එකේ රෙකෝඩිං එකක් මෙහෙ කට්ටිය යවල දිල්ලි හෙඩ් ඔෆිස් එකට. ඉතිං ඒක බලල දිල්ලියෙ ඉන්න ලොක්කො සෙට් එක අප්පට කතා කරල කියල දිල්ලියට ඇවිල්ල පර්සනලි ඒ ප්‍රසන්ටේෂන් එක කරන්නෙයි කියල. අප්පට කොහොමද දන්නවද සන්තෝසෙ…"

"හෙහ්..මට හිතාගත්තෑකි…"

කතාවෙන් කතාවෙන් ඔය වෙනකොට අපි ගමනාන්තයටත් ඇවිල්ල හිටිය. අපිට එන්ට ඕන කරල තිබ්බෙ ටී නගර්වල තියෙන රත්නා ස්ටෝර්ස් එකට. 

"මේ මට පිඟන් ගන්ට ඕන...කොහෙද හොඳ පිඟන් තියෙන්නෙ?" 

අද මේ පැය බාගෙකට වගෙ ඉස්සරවෙලා  අනන්‍යා මුණගැහුනු ගමන හැටියෙම මම ඇගෙන් ඇහුව.

"මොන පිඟන්ද?"

"අර ඔයාල පාවිච්චි කරන්නෙ ස්ටේන්ලස් ස්ටීල් පිඟන්. එව්ව හොඳයි. එව්වයෙ කල් පැවැත්මත් හොඳයි. හෝදන්නත් ලේසියි. ඒ හැටි බරකුත් නෑ…"

"ඇයි මේ හදිස්සියෙ පිඟන් ගන්න හිතුනෙ?"

"නෑ චමරියෙ  ඉන්න අපි හතරදෙනාට මට හිතුන අලුත් පිඟන් ගත්තනම් හොඳයි කියල. අර රාමනුජම ඉන්නව නේද?"

රාමනුජම් මතකයි නේද? චමරියෙ මගෙ අල්ලපු කාමරේ ඉන්න බුවා.

"ඔව් ඔව් මට මතකයි...ඉතිං රාමනුජම් මොකද?" අනන්‍යා ඇහුව. 

"මොකද තමයි...මම හිතන්නෙ ඒ යකා බත් කන්නෙ අර ඒ කාලෙ රාම කැලේට වෙලා බටනලා පිඹ පිඹ ඉන්න දවස්වල බත් කාපු පිඟානෙද කොහෙද..."

අනන්‍යයි මායි අහ්මදාබාද් වල I.I.M.A. එකේ මගෙ කාමරේ එකට හිටපු අවුරුදු දෙකක විතර කාලය ඇතුලත එයාලගෙ ඔය දෙයියන්ගෙ කතන්දර අනන්‍යා මට කියල දුන්න.

රෑට කාල එහෙම වටේ පිටේ සද්ද බද්ද ටික ටික අඩුවෙලා අන්තිමට නැතිම වෙලා ගියහම අපි හිටපු නේවාසිකාගාරෙ ඉස්සරහ පිටින් දිගටම තිබ්බ කොරිඩෝවෙ ලී කුළුණු අතර දිගට බැඳපු සිහින් ලණුවල තැනින් තැන එල්ලල තිබ්බ චූටි තඹ සීනු සපූත්‍රා කඳුවැටිය පැත්තෙන් හමන සිහින් සුළඟට මිහිරි හඬක් නංවමින් නාදවෙනව අහගෙන අනන්‍යා මගෙ පපුවට ඔලුව තියාගෙන මගේ ළඟින් වැතිරිල ඉන්නව.

මම ඇගේ හිසකෙස් අතරින් මගෙ දකුණතේ ඇඟිලි යවල පිරිමදිනව. එහෙම ඉන්න සමහර දවස්වල ඈ මට ඇගේ ඥාතී හිතමිත්‍රාදීන් අදහන  දෙවිවරු දිව්‍යාංගනාවො ගැන කතා කියල දෙනව.

අර මම කියපු කොරිඩෝවෙ ඇදල තියෙන චුට්ටි සීනු වැල මීට  අවුරුදු තුනකට වගෙ ඉස්සර මෙහෙ ඉගෙන ගත්තු ශිෂ්‍යයෙක් විභාගෙ ඉහලින් සමත්වෙන්න කියල බාරවෙලා එල්ලපු එකක්ලු.

"මොකක්? කවුද බට නලා පිඹ පිඹ කැලේට වෙලා ඉඳගෙන බත් කෑවෙ?"

"ඇයි අර ඔයා මට අහ්මදාබාද් වල මගෙ කාමරේ අපි එකට ඉන්දැද්දි රෑට කාල එහෙම මගෙ ඇඳේ....."

අනන්‍යා පැනපු ගමන් අතින් මගෙ කට වැහුව.

"කෑගහන්ට එපා මනුස්සයො..මොන බූතයක් කියවනවද මන්ද මෙතන මේ දෙනෝ දාහක් මැද්දෑවෙ…"

ඈ කිව්වෙ බයෙන් වගේ වටපිට බලමින්...

"හරි හරි මොකටද ඔය හැටි බය වෙන්නෙ? කාටවත් ඇහුනෙ නෑ ළමයො…"

"ඇහුනෙ නෑ තමයි..අනික අර මොකක්ද කැලේට වෙලා ඉඳගෙන බටනලා පිම්බ කතාව?"

"ඇයි අර රාමද කවුද නෙවෙයිද එහෙම කලේ? අර අයියල මල්ලිල හත් දෙනෙක් එක ගෑණු ළමෙක් එක්ක කසාද බැඳල කැලේ බටනලා පිම්බෙ? ඒ රාම නෙවෙයිද?"

අනන්‍යා හිනා වුනේ බඩ අල්ලගෙන…

"හ්ම්ම් ඔයාට හොඳද එතකොට ඔහොම හිනා වෙන්ට? මේ දෙනෝ දාහක් මැද්දෑවෙ?" මම මූණ පුලුටු කරගෙන ඇහුව. 

"ඔයා කියවන මේ බූතවලට හිනා නොවී පුලුවන්ද අනේ.." අනන්‍යා යන්තමට හිනාව කොන්ට්‍රෝල් කරගත්ත.

"ඔව්ව්..මම ඉතිං බූතනෙ කියවන්නෙ…"

"හිහ්..හිහ්...තරහ ගන්න එපා ඉතිං....හරි හරි..ආයම නිවාඩු වෙලාවක මම ඔයාට කොනක ඉඳල කියල දෙන්නම්කො ඔය දේවකතා ඔක්කොම. ඔයාට ඔක්කොම පැටලිල තියෙන්නෙ. ඔයාගෙ ඔලුව ඇතුලෙ රාමලයි, ක්‍රිෂ්ණාලයි, අර්ජුනලයි ඔක්කොම එකටම එක පොදියට පොරකනවද කොහෙද. ඒකයි ඔය ලෙඩේට හේතුව..හිහ්..හිහ්.."

"හරි හරි ඒ ගැන පස්සෙ මොනව හරි කරමු...දැන් යමු හොඳ කඩේකට මට පිඟන් හතරක් ගන්ට.."

"හරි එහෙනම් යමු රත්නා ස්ටෝර්ස් එකට. එතන තට්ටු හතරක්ම පුරවල තියෙන්නෙ තනිකරම ඔය ජාතියෙ ස්ටේන්ලස් ස්ටීල් බඩු...හට්ටි මුට්ටි, ඇතිලි, පලන්ඟාන්, එතනින් ගිහාම පිට්ටු බම්බු, බුජං…"

"පිස්සුද අනේ? මට මේ ඕන පිඟන් හතරක් විතරයි. මේ ලඟ කඩේකින් ගමු…"

"බෑ..බෑ..රත්නා එකටම යමු..මම හුඟ දවසකින් ටී නගර් පැත්තෙ ගියෙත් නෑ."

අනන්‍යා ඒ එක්කම පාරට පැනල ත්‍රී වීලර් එකක් නැවැත්තුව. ඒ ත්‍රී වීලර් එකේ ඇවිදිල්ල තමයි අපි රත්නා ස්ටෝර්ස් එක ලඟින් ඔය බැහැ ගත්තෙ....

අනන්‍යා කිව්වෙ බොරු එහෙම නෙවෙයි. රත්නා ස්ටෝර්ස් එකේ මම හිතන්නෙ පිඟන්ම තියෙන්න ඇති කෝටි හතරකට වැඩිය. බිත්තිවල එල්ලල, වහලෙ එල්ලල, රාක්කවල තියල, බිම ගොඩ ගහල, කොටින්ම එතන වැඩ කරන කොල්ලො කෙල්ලොත් හට්ටි මුට්ටි ඔලුවෙ නවාගෙන ඔන්න හිටියෙ...හෙහ්,හෙහ්,



චෙන්නයි ටී-නගර්හි පිහිටි රත්න ස්ටෝර්ස් වෙළඳ සළ.

ඒ හැම පිඟානක්ම, තැටියක්ම, තාච්චියක්ම කොච්චර ඔප දාලද කිව්වොත් අනන්‍යාගෙයි මගෙයි ප්‍රතිබිම්බ කෝටි හතරක් එව්වයෙ පිළිබිඹු වුනා. මට මෙහෙම දෙයක් හිතිල පොඩි බයකුත් හිතට ආව. 

බැරිවෙලාවත් එහෙම මහ විසාල සුළි සුළඟක් හමා ඇවිල්ල රත්නා එකේ වහල ගලවල ගියොත් එහෙම ඉර එලිය කෙලිම්ම ඇතුලට වැටිල මේ තියෙන හට්ටි මුට්ටි කෝටි හතර දිලිසෙන්ට අරගෙන අපි දෙන්න හරියට අර මැග්නිෆයිං ග්ලාස් එකකිං ඉර එලිය ඇල්ලුවම කූඹි පිච්චෙනව වගෙ පිච්චිල යයි කියලයි මට හිතුනෙ. මගෙ ඔය ඉමැජිනේෂන් එක කියන එක දන්නව නේද? It's eveready  at a drop of a hat to go to over drive mode in a flash.....

"මෙතන අඩුම ගානෙ පිඟන්ම ඇති කෝටියක් විතර. කොහොමද අනේ හතරක් තෝරගන්නෙ?"

ස්ටේන්ලස් ස්ටීල් ප්ලේට්ස් සෙක්ෂන් එකට කිට්ටු වෙද්දි මම අනන්‍යාගෙ කණට කරල කිව්ව. අනන්‍යා ලඟින් හමපු සමන් පිච්ච සුවඳ මගෙ නාහෙ ඇතුලෙන් ගිහිල්ල මුලු පපුව පුරහම පැතිරුනා. මම හුස්ම උඩට අල්ලගෙනම ආයම අනන්‍යාගෙ කණ දිහාට ඔලුව නැමුව. 

"මේ මෙතන විකාර කරන්න ලෑස්ති වෙන්න එපා දන්නවද?... දෙනව ඔන්න අර තඩි තාච්චියකින් ඔලු ගෙඩිය මුදුනටම" අනන්‍යා කසුකුසුවෙන් මට තර්ජනය කලා.

"හරි හරි....Actually no need to get so violent…Peace on earth…...හරි ඔයා එහෙනං  තෝරල දෙන්නකො සුදුසු මට්ටමේ පිඟං හතරක්….."

අනන්‍යා ඒ ලඟම හිටපු වෙළඳ සේවිකාවට අත්දෙකින් පෙන්නුව අපිට ඕන පිඟන්වල තරම…

"හතරක්…." ඈ එහෙම කියල දකුනු අතේ මහපට ඇඟිල්ල නවල ඉතිරි ඇඟිලි හතර දිගඇරලත් පෙන්නුව වැඩිමනත් වශයෙන්… To be on the safe side I think…..

වෙළඳ සේවිකාව ආපහු එනකල් අපි දෙන්න ඒ කිට්ටුවම බිත්තියක් අයිනෙ ගොඩ ගහල තිබ්බ මහ විසාල කල්දේරං රාසියක් ලඟට වෙලා එව්වට පොඩිවට හේත්තුවකුත් දාගෙන හිටිය. 

"සීරියස්ලි ක්‍රිෂ්.....අප්පට මේ කරපු උදව්වනම් කියල වැඩක් නෑ. හරිම වටිනව. මම හිතන්නෙ අප්පත් ඔයා ගැන ලොකු පැහැදීමකින් දැන් ඉන්නෙ....."

"ඒක වෙන්නත් ඇති. මම කියන්නෙ ඔයාලගෙ අප්ප මා ගැන පොඩි කැමැත්තක් ඇති බොහෝ විට. ඒත් තවමත් හරිෂ්ට ඔයාලගෙ අප්පගෙ තිබ්බ කැමැත්තෙ තරමට නම් නෑ. මට ඒක සහතිකයි…"

"ම්ම්..අපි බලමු...අපි බලමු...අඩු ගානෙ මේක හොඳ ආරම්භයක්නෙ …" ඈ කිවා. 

"ආ..මට කියන්න බැරි වුනානෙ..හැබැයි මම කොහොම හරි හරිෂ්ගෙන් පලිගන්න එකනම් ගත්ත…"

"ඈ? ඒ මොකක්ද ඒ පලිගත්ත කතාව?"

"මම මිනිහ ගෙනාපු විස්කි බෝතලේට වැඩේ දුන්නනෙ…"

"මොකක්ද කිව්වෙ? ආය කියන්න බලන්න.."

"මම කිව්වෙ  හරිෂ් අමරිකාවෙ ඉඳල එද්දි  ගෙනාපු විස්කි බෝතලේ මම බිව්ව කියල…"

"තනියම?..." 

"නෑ ඔයාලගෙ අප්පත් Full සහයෝගය දුන්න...."

මේ වෙලාවෙ වෙලඳ සේවිකාව අපිට හරියන තරමෙ පිඟන් හතරක් ගෙනල්ල අනන්‍යා අතට දුන්න. අනන්‍යා එව්ව ඒ මේ අත කරවල බලල "Looks Ok to me..Thanks " කියල ආපහු වෙළඳ සේවිකාව අතටම දුන්න. ඈ ඒ පිඟන් අරගෙන ඉස්සර වුනා.

"යමු…. කවුන්ටර් එකෙන් මෙව්වට සල්ලි ගෙවමු" අනන්‍යා මා දිහාට හැරිල කිව්ව.

"හරි යමු…"

කවුන්ටරේ ඉස්සරහ දහ දොළොස් දෙනෙක් හිටිය පෝළිමේ. අපි දෙන්න පෝළිමෙ අන්තිමට එකතු වුනා....

"හ්ම්ම්ම්..නරකම නෑ...තමුං මම නොහිටිය සතියට හොඳ අඩව්වක් අල්ලල වගෙ මට පේන්නෙ"  අනන්‍යා මා දිහා බලල රැව්ව…"රෑවෙලා බීල තනියම චමරියට යද්දි මගදි කරදරයක්වත් උනානං..දන්නවනෙ අද කාලෙ හැටි.."

"ඉතිං කවුද චමරියට ගියේ?"

"එහෙනං?"

"මම ඔයාලගෙ ගෙදර අර ඉස්සරහ තියෙන්නෙ අමුත්තන්ගෙ කාමරේ..අන්න ඒකෙ නිදියගත්ත........"

"මොකක්? ඔයා එතකොට අපේ ගෙදර එද්දි රෑට අඳින්ට එව්වත් අරගෙන ආවද?"

"මොන පිස්සුද? මම රෑ නවතින්ට හිතාගෙන ආපු ගමනක්ය?"

"එතකොට මොනවද රෑට ඇන්දෙ?"

"ඔයාලගෙ අප්පගෙ ලුංගියක්…"

"මොකක් කිව්ව?"

ඒ පාරනම් අනන්‍යාගෙ ඇස් දෙකත් ලොකු වුනා. සද්දෙත් ටිකක් වැඩිවුනා. අපි ඉස්සරහ පෝලිමේ හිටපු වයසක ජෝඩුවක් අපි දිහා හැරිල බලල ආපහු ඉස්සරහ බලා ගත්ත.

"ඇයි මොකෝ මේ මෙච්චර පුදුම වෙලා?..ඇත්තම කිව්වොත් රෑට ලුංගිය  අඳින එක හරිම පහසුයි. මට හිතිල තියෙන්නෙ වැඩේ පුරුදු වෙලා දිගටම රෑට ලුංගි අඳින්න"

"ඔයාට නම් පිස්සුම තමයි ක්‍රිෂ්.....ඒත් මම ආසයි ඒ පිස්සුවට....." අනන්‍යා එහෙම කියල ඇහැක් වහල ඉඟි මැරුව.

"ඔයා දන්නවද මම ඒ ඔක්කොම කලේ ඇයි කියල…" මම හෙමිහිට ඇහුව.

"ඇයි?....." අනන්‍යා ඇස් හීන් කරල ඇහුව. 

"I did it for you Ananya…."  I said looking unblinking at her liquid pools of eyes.

අනන්‍යා තත්පර තිහක් විතර එක එල්ලේ මගෙ ඇස් දෙක දිහා බලාහිටිය. ඒත් එක්කම ඇගේ කට කොණකට හීන් හිනාවක් ආව. 

ඊට පස්සෙ අපි හිටගෙන හිටපු තැන හතර වටේ බිත්තිවල එක අඟලක්වත් පේන්නෙ නැතිවෙන්න එල්ලල තිබ්බ මූන බලන කණ්නාඩි වගෙ ඔප දාපු තාච්චි, ෆ්‍රයිං පෑන්ස් සහ පිඟං හත් අටසීයක බොහොම පැහැදිලිව අපේ රූප පිළිබිඹු වෙනවා උනත් ඒ ගැන කිසිම සැළකීමක් නැතුව ඈ පියවර දෙකකින් මට කිට්ටුවෙලා පා ඇඟිලිවලින් ඉස්සිල මගෙ දෙතොල් සෙමෙන්  සිපගත්ත.

තාච්චි, ෆ්‍රයිං පෑන්ස් සහ පිඟන් වලින් මේ සිද්ධිය දැකපු පෝළිමේ සහ ඒ අවට බඩු තෝරමින් හිටපු තමිල්නාඩු සාම්ප්‍රදායික ගෘහිණියන් සහ බ්‍රාහ්මණ වංශික මහතුන් එක හතළිහක් පණහක් විතර එක පාරටම කලින් කතා කරගෙන හිටිය වගේ කටවල් රවුම් කරල "ඕහ්...."  කියල එක සැරේම අපි දෙන්න පැත්තට හැරුන. ගෘහිණියන් සියල්ලන්ම පාහේ කම්මුල් වලට අත් තියාගත්ත.

"අනන්‍යා මොකද මේ? "

සැර පරුෂ කටහඬක් අපි පිටිපස්සෙං ඇහුන. අනන්‍යා මගෙ උරහිසට උඩිං එබිල බැලුව. 

"Ohhhh..fuck…Chithra aunty"

අනන්‍යා එහෙම කියල අතට අහුවෙච්චි රොටි තැටියක් අරගෙන මූණ වහගත්ත....


අනන්‍යා අනපේක්ෂිත ලෙස මා සිපගත්තේ මෙහිදීය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...